සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සර් ගැන ස්මෘතියක්
පල්ලියගුරු සර්ව හමුවෙන්න මම අවසාන වශයෙන් ගියේ මීට මාස තුනකට වගේ ඉහතදි. ඒ කඩවත, බණ්ඩාරවත්ත එතුමගේ නිවසට. ඊට කලින් අවස්ථාවක සර්ව හමුවෙන්නට වුවමනාවක් තිබුණත් ඔහු තරමක අසනීප ස්වභාවයෙන් සිටිය නිසා මට යන්න නොහැකි වුණා. නමුත් මේ ගමන යෙදුනේ, ගුණදාස අමරසේකරයන්ගේ “ගමනක ආවර්ජනා“ නමැති කෘතියට සර්ත් ලිපියක් ලියලා තිබුණ නිසා, සර්ට පොත දීලා එන්නයි. මම යන්න කලින් ඇමතුමක් දුන්න හන්දා, මම එනතුරු මිදුලට වී ඔහු බලාගෙන හිටියා. ඒ වෙනකොට සර්ට ටිකක් ඇවිදින්න අපහසුයි. පුංචි බස්‌තමක් බිම තිය තිය ඉතා හෙමින් මා සිටින දෙසට පැමිණි මේ මහාචාර්යවරයා මාව ආදරයෙන් පිළිගෙන, මගේ අතින් අල්ලගෙන ගිහින් සාලයේ තැනක මාව අසුන් ගැන්නුවා.
හරියට මම ගිහින් පොත්ගුලක වාඩි උනා වගේ. එහෙ බැලුවත් පොත්. මෙහෙ බැලුවත් පොත්. උඩ බැලුවත් පොත්. බිම බැලුවත් පොත්. ‘සර් අලුතෙන් මොකක් නමුත් ලියන්න අරන් වගේ. ඒකයි මේ සාලෙත් පොත්’ කියල මට හිතුණා. එය තේරිලා වගේ, එතුමා මෙහෙම කිව්වා. “මම පරණ වැඩක් අවසන් කළා. ඒවට ගත්ත පොත් තාම හැමතැනම“. මම දැන ගතිමි- මම සැක කළෙමි‘ යි සිතා මම ඔලුව වැනුවා.
අමරසේකරයන්ගේ උපහාර කලාපය ඔහුට පිළිගන්වල ඇදුරුතුමාගේ අලුත් වැඩ ගැන විමසුවා. මේ ටිකේ උගුරෙහි අපහසුතාවක් නිසා ටිකක් විවේක ගන්නවා යැයි කිව්වා. ඔව් එය මට මතකයි. අපේ විශ්වවිද්‍යාලයේ, මාධ්‍ය ඒකකයේ විදුලකර එඩ එකේ වැඩසටහනකට සර්ව සම්බන්ධ කර ගන්නට කලින් දිනක මම ඇමතුමක් ගත් අවස්ථාවකදී ඔහු එය ප්‍රතික්ෂේප කළේ උගුරෙහි අපහසුව ගැන කියලයි.
“ලියන වැඩ හෙමිහිට කරනවා. දැන් විවේකයත් ඕන.”
“හහ්. විවේකය?“ ඇතුළු ගැබෙහි සිටි පල්ලියගුරු මැතිනියගේ මුවින් එය පුනරුච්ඡාරණය උනා කියල මට සැක හිතුණා.
කතාව වෙනතක හැරවීමේ අටියෙනුත්, යමක් නිරාකරණය කරගැනීමේ අටියෙනුත් උපහාර කලාපෙට ඔහු ලියූ ලිපිය ගැන සර් එක්ක ටිකක් කතා කළා. හරි ආසාවෙන් ඔහු ඒවට උත්තර දුන්නෙ. ඉන් පස්සෙ අපි පෙරළුණා සාහිත්‍ය කලාව පැත්තට. වර්තමාන සාහිත්‍ය කලාව වෙතට. පල්ලියගුරු මැතිනිය අවස්ථා කිහිපයකදි ඇතුළු ගැබේ සිට සාලයට එබී අප දෙස බලන බව මම දැක්කා. එයින් ඇඟවුණේ දැන් සර්ට මහන්සි බවත් මා පිටත් විය යුතු බවත් යැයි මට හැඟුණා. මට එතනින් එන්න හිත දුන්නේම නෑ. නමුත් හිත හදාගෙන, සර්ගෙ සෞඛ්‍ය තත්වය ගැනත් හිතල මම යන්න හදන විට ඔහු මට යන්න දුන්නෙ නෑ.
“සුදේශ් අපි පුස්තකාලෙ පැත්තට යං”
“ හුරේ” මම හිතින් සිතා ගත්තා.
නිවෙසට මදක් දුරින්, එළියෙහි සදා තිබුණු විශාල පොත්ගුල දෙසට අපි ගමන් කළා. මම හොරෙන් වගේ පල්ලියගුරු මැතිනිය දිහා බැලුවා. ඇගෙන් ඈතට ඇදෙන තම ස්වාමියා දෙස විමසිල්ලෙන් බලාගෙන හිටිය හැටි මම දැක්කා. ඇයගෙන් සර්ට ලැබෙන්නේ, පුදුම ආරක්ෂාවක් බව මට වැටහුණා. මේ මහ ඇදුරාව බලා ගැනීමට පුදුම ඉවසීමක් තියෙන්නට ඇති. පුදුම කැපකිරීමක් කරන්නට ඇති.
පොත්ගුල ඇතුළෙදි මේ දවස්වල මම කරගෙන යන ශාස්ත්‍රීය වැඩක් පිළිබඳව එතුමන් එක්ක දීර්ඝ සාකච්ඡාවකට වැටුණා. විවේක ලැබෙන ඕනෙම වෙලාවක ඔහුව හමුවෙන්න එන්න යැයි කිව්වා. පුස්තකාලෙ පොත් රාක්කයක් ඉදිරිපිට හෙමින් ඇවිද ගිය එතුමා ලන්ඩන් ඉඳන් එන විට ගෙනා විසල් කෘතියක් සිහිවටනයක් ලෙස දුන්නා. එය ශාස්ත්‍රීය වැඩවලට ප්‍රයෝජනවත් වේ යැයි කිව්වා. “ සුදේශ්, ඔයැයි ඕනම වෙලාවක ඇවිදින් මේ පොත් පරිහරණය කරන්න.” ඔහු කිව්වා. සර් දකුණෙ නිසා ඔයැයි කියල තමයි කියන්නේ. ඒකෙ තියෙන්නෙ හරි අපූරු ළෙන්ගතුකමක්.
“ඔයැයිට මගේ අලුත් නවකතාව ලැබුණේ නෑනේ ද? ඉන්න එයින් එකක් මම දෙන්න.”
එය කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජ්ජුරුවන්ගේ චරිතය අලළා රචනා කළ ඉතිහාස කතාවක්. පල්ලියගුරු සර් ලියපු බොහොමයක් නවකතා ඓතිහාසික නවකතා. මේකත් එවැනිම ඓතිහාසික කතාවක්. ඉතිහාසය හොඳින් හදාරල බොහොම මහන්සිවෙලා තමයි ඔහු මේව ලියන්නෙ. අලුතෙන් ඉතිහාස කතාවක් ලියන්න ගන්න විට ඒ වටා බැඳුණ සමස්ත ඉතිහාසයම කියවනවා කියලයි ඔහු කීවෙ. ඔහුගෙ අලුත් නවකතාව මම ආශාවෙන් අරගත්තා.
දැන් මට තේරුණා මම හිටිය වැඩියි කියලා. ඇදුරුතුමන්ට ගෞරවයෙන් සමු දුන්නා. මම එතනින් එන විටත්, ඔහු ගේට්ටුව දක්වා පසු ගමන් ආවා. එතකොටත් පල්ලියගුරු මැතිනිය ඇගෙන් දුරස්ව ඇදෙන එතුමා දිහා බලන් හිටියා. ඔහු පසුපිස්න ඇය ආවා.
ඉන් පසුව මට සර්ව හමුවෙන්න යන්න වුණේ නෑ. සර් විටින් විට අසනීප වුණු බව දැනගත් නමුත් ඔහුට විවේකය අවශ්‍ය නිසා කරදර කිරීමට ගියෙත් නැහැ. එතුමා ව අපිට නැවත ජීවමානව දකින්න වෙන්නෑ. එහෙත් ඔහුව අපට දකින්න පුළුවන්. ඒ තමයි ඔහු විසින් කරන ලද ශාස්ත්‍රීය මෙහෙවර මගින්. ඔහු ලියූ පොතපත මගින්.
සර් අතින් සිදුවුණු, ශාස්ත්‍ර-කලා මෙහෙවර අතර, ශාස්ත්‍රීය කෘති, විචාර කෘති, ලිපි, පරිවර්තන, ළමා කෘති, නවකතා, කවි, ගුවන් විදුලි රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය, ආදිය විශාල ප්‍රමාණයක් තියෙනවා. සංස්කෘතිය-ජනශ්‍රැතිය-සිනමාව වැනි විෂයක් ක්ෂේත්‍ර පිළිබඳව එතුමා දැක්වූයෙ විශේෂ ඇල්මක්. ඉතිං ඒ සියල්ල ඉතිරි කර එතුමා යන්න ගිහින්.
එතුමා යන දිහා බලාගෙන එදා වගේම පල්ලියගුරු මැතිනිය සිටින සැටි මට සිහි වෙනවා. ඇසෙට නැගෙන කඳුළුත්, ගිළිහෙන සුසුමුත් ඔහුට උපහාරයක් වේවා.
මේ පුංචි සටහන දැම්මේ, පල්ලියගුරු සර්ගෙ අභාවය නිසා ඇතිවුණු ශෝකයෙන් උපන් හැඟීමෙන්. මෙහි ඇත්තේ අතීත ස්මෘතියක් පමණයි. එහෙයින් මෙහි කල්පනා ලොවක් නැත. ඇත්තේ යථා ලොවකි.
සුදේශ් කවීශ්වර (fb) 2024-03-22
මහාචාර්ය චන්ද්‍රයේ පල්ලියගුරු ගැන මට තියෙන්නේ මෙබඳු මතකයක්
ඒ 1982 අවුරුද්ද. අපි කණ්ඩායමක්ම කෑගල්ලෙන් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒ ිද්‍යා පීඨයට. මාසයක් දෙකක් යනකම් අම්බානක රැග් කාලා හිටියේ. ඒ දවස්වල මම කෑගල්ලෙදි යෞවන සම්මාන උළෙලට නාට්‍යයක් කරලා තිබ්බෙ. නම “නැව් තඩාගයේ යක්ෂයා”. රැග් සීසන් එකක් ඉවර උනා විතරයි අපේ කොල්ලන්ට ඕන වුනා කැම්පස් එකේ, ඒකෙ දර්ශනයක් ඕගනයිස් කරන්න. (මැල්කම් මචාඩෝ යි ප්‍රධාන භූමිකාව රඟපෑවෙත්). ඒ දවස්වල කැලණියේ කැම්පස් එකේ තමයි කලා ලොවේ පකීර් ලා හිටියේ. Staff එකෙත් කොල්ලො කෙල්ලො අතරත්. නම් කියන්න ඕනේ නැහැනේ. අපි ඔය හැමෝටම එදා ෂෝ එකට ආරාධනා කළා. කුණු ෆ්රෙශාල ගේ නාට්‍ය බලන්න එනවද ජ්‍යෙෂ්ට උත්තමයෝ ? අනිත් එක science faculty යේ එකෙකුගේ ? “ ගමේ නාට්‍ය කරාට මෙහේ බැහැ. කැම්පස් එකේ නාට්‍යවල ස්ටෑන්ඩ්ඩ් එකක් තියෙනවා. ඒවා ඉස්සරලා ඉගෙනගෙන ඉන්න ඕන මල්ලි” කියලා කැම්පස් ඒකේ නාට්‍ය කරන හැටි උගන්වන්න ආපු භරතමුණිල ත් හිටිය. කොහොම හරි ශෝ එක බලන්න හිටියේ අපේ බැච් එකේ එවුනුයි තව සීනියර්ස්ලා කිහිප දෙනෙකුයි විතරයි. ආචාර්ය මණ්ඩලයෙන් ආරාධනා කරලා හිටපු සියයක් දෙනාගෙන් නිහතමානීව ආරාධනය භාරගෙන නාට්‍ය දර්ශනය බලන්න ඇවිත් හිටියේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විතරයි. එතුමා එදා මගේ අත් දෙක අල්ලගෙන “ පුතා උඹට හොඳ අනාගතයක් තියෙනවා” කියලා සුභ පැතුවා මට මතකයි. පොකුරු පොකුරු තරු එකින් එක නිවී යනවා ඉතින් පල්ලියගුරු සර් ඔබට සුභ ගමන්.
අසෝක හඳගම
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මට මුලින්ම හමුවන්නේ අසූව දශකයේ චිත්‍රපට විචාරක සංගමයේ කටයුතු කල කාලයේ මගේ ගැටවර වියේ.ඒ කාලයේ චිත්‍රපට විචාරකයින් හා ලේඛකයින් අතර වෘත්තීය බවක් මෙන්ම අභිමානයක්,සිනමාව ගැන දැනුමක් හා කැපවීමක් තිබුනා.චිත්‍රපට විචාරක සංගමයද එසේ දේශීය හා විදේශීය පසුබිමක් ඇතිව ක්‍රියාත්මකවු වෘත්තීයමය සංවිධානයක්.
එහි කටයුතු කල චරිත අතර පියල් සෝමරත්න, ගාමිනී විජේතුංග, චන්දන සිල්වා, ඈශ්ලි රත්නවිභූශන, ගාමිනී වේරගම, ගුනසිරි සිල්වා, සුනිල් මිහිදුකුල, අරුණ ගුණරත්න ආදී නම් සිහිවෙනවා.
ඒ අතරින් පියල්, ගාමිනී, චන්දන හා සුනිල් අද ජීවතුන් අතර නෑ.. මහාචාර්ය පල්ලියගුරු ද තම දිවිය නිමා කරලා.ඔහු මෙරට සිනමාව ගැන මුලින් සීරියස්ව ලියු – කියු සිනමා විචාරකයින් අතර කෙනෙක්.
පියල් සෝමරත්න , ගාමිනී විජේතුංග හා චන්දන සිල්වාත් එසේයි..ඔවුන් ලාංකීය සිනමා විචාරය නව මගකට ගෙන යාමට සමත් වු සිනමා ලේඛකයින්, විචාරකයන් හා ජූරි සභිකයින්.
චිත්‍රපට විචාරක සංගමය හා එහි සොදුරුතම මතක අතර මට මහාචාර්ය පල්ලියගුරු මතකයේ සිතුවම් කරන කාරනා තුනක් වෙනවා.. එකක් ඔහුටම ආවේනික වූ ඒ සොදුරු සිනහව..සරල හා නිර්ව්‍යාජ බව, අනෙක ඔහු නොවරදවා රැගෙන එන අර දිග කුඩේ.
චතුර ජයතිලක
පතිරාජගෙ අහස් ගවුව බලන හැම වෙලාවෙම ඒකෙ තියෙන ඉරා අඳුරු පට ගීතය අදටත් කියාගන්න බැරි සාංකාවක් වගේ දේකින් පපුව තෙරපනවා.
ඒ සනත්ගේ හඬ සහ චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ පද රචනා වල හපන්කම. කේමදාසගෙ සත්සර.
අද පල්ලියගුරුත් නික්ම ගිහින්. කේමදාස, පතී සහ,සනත් ඊට පෙර…
මේ දරාගත නොහැකි පාලුවක්.
චූලානන්ද සමරනායක
ඉරා අඳුරු පට පෙරදිග අහසේ
ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිළිසෙන පිනි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
සැඟවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
ගායනය – මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය – මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස