ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් චක්‍රලේඛ පරාජය කිරීමෙන් පසු, වනාන්තර වැනසීමට නීති වෙනස් කිරීමේ කෙටුම්පතේ රහස් එළියට !

Share post:

මිනිසා – නීතියක් මොනවටද ?

නීතිය – මිනිස්සුන්ගෙ යහපතට. ගහකොළවල යහපතට.

මිනිසා – කියන්න තරම් යහපතක් නෑනෙ.

නීතිය – මම ඉන්නෙ පොතේ.

මිනිසා – පොළොවට නොබැස්සොත් යහපතක් කරන්නේ කොහොමද ?

නීතිය – පොළොවට බහින්න වෙලා තියෙන්නෙ දේශපාලකයන්ගේ අතේ එල්ලිලා. එහෙම එකක් තමයි මේකත්…..

වට වංගු ගසමින් දරන ලද සියලු උත්සහයන් අසාර්ථක වූ නිසා අන්තිමේදී ආණ්ඩුව නීති වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ, අනුව ය වන සංරක්ෂණ ආඥා පනතේ වගන්ති වෙනස් කිරීමට අදාළ කෙටුම්පතක් සකස් කර ඇත්තේ. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහගේ සහ වන ජීවි විෂය බාර ඇමති පවිත්‍ර වන්නිආරච්චිගේ සෘජු මැදිහත්වීම මත මෙසේ නීතිය වෙනස් කරන්නේ රටේ වැදගත් වනාන්තර රැසක් වනාන්තරභාවයෙන් ඉවත් කිරීමට ය. එනම් ඒවාගේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට ය. පරිසරවේදීන් සහ පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වාදෙන්නේ මෙය භයානක මෙහෙයුමක ආරම්භයක් බවයි. ඔවුන්ගේ මෙහෙයුම් කොතරම් වේගවත්ද යත්, මේ වනවිටත් වන සංරක්ෂණ නීති තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට අවශ්‍ය කෙටුම්පත පවා සකස් කර අවසන් ය.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (කැළෑ ආඥා පනත) 20 වන වගන්තිය මගින් රක්ෂිත නොවන, අනාගතයේ දී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට යෝජිත වනාන්තර විශාල ප්‍රමාණයක් රජයට අයත් වෙනත් කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබිණි. මේවා රක්ෂිත වනාන්තර අතර සම්බන්ධතාව ඇති කරන, වැව් හා ජලාශවල ජලපෝෂක ලෙස ක්‍රියාත්මක වන, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා සිටින ඉතා ම දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන, අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන හා අලි මංකඩවල් ලෙස ක්‍රියාත්මක වන සුවිශේෂී වනාන්තර පද්ධති වේ. මේ වනාන්තර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කර ඇති පනතේ 20 වැනි වගන්තිය සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණින් මේ කෙටුම්පත සකස් කර තිබේ. එනම් එම වනාන්තර සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගත හැකි වන පරිදි නීතිය වෙනස් කිරීමයි.

වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ 2018 අගෝස්තු 21 දින ය. එම කැබිනට් පත්‍රිකාවෙන් ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාන්තර තුළ තිබෙන ඛණිජ සම්පත් ආරක්ෂා කර ගැනීම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල තවදුරටත් ශක්තිමත් කිරීම යන කරුණු පදනම් කරගෙන පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත. එම අනුමැතිය පදනම් කරගෙන පනත සංශෝධනය සිදු කර ඇති බව පෙන්වූවද, සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අනුමත කැබිනට් පත්‍රිකාවේ සඳහන් අරමුණු සියල්ල උල්ලංඝනය කරමිනි.

සකස් කර ඇති නව පනත් කෙටුම්පතට අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තියෙන් පසුව 20(අ) ලෙස අලු‍තින් වගන්තියක් එක් කිරීමට යෝජිත ය. රජයට අයත් වෙනත් වනාන්තර බහුවිධ කළමනාකරණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකි වන පරිදි අලුතින් වගන්ති එක්කිරීම, එමගින් සිදුකරයි. ඒ අනුව බහුවිධ කළමනාකරණ වනාන්තරයක පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ස්වභාවධර්මය පදනම් කර ගත් සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ හඳුනාගත් සෙසු ක්‍රියාකාරකම් මගින් ආර්ථික ප්‍රතිලාභ අත් කරගැනීමට රාජ්‍ය නොවන අංශ බලගන්වමින් කළමනාකරණය කිරීම පිණිස විෂය බාර ඇමතිවරයාට බලතල ලැබෙන ක්‍රියාවලියක් හඳුන්වා දීම මෙමගින් සිදු කර ඇත. එනම් කැබිනට් අනුමැතියට සම්පූර්ණයෙන් ම පටහැනි ලෙස මේ සංශෝධනය සිදුකිරීමට කටයුතු කරමින් සිටී.

මේ පනත් සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වැනි  පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් ඒ වෙනුවට සිදු කර ඇත්තේ රජයේ වනාන්තර වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ආදායම් ඉපයීම මගින් විනාශ කිරීමේ ක්‍රියාවලියකට පාර හදාගැනීම ය.

මේ පනත් සංශෝධනය සිදුකරන අතරතුර, 2024 මාර්තු 4 දින කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම්, විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරයක් ස්ථාපිත කිරීමට ය. මීට ප්‍රථම දීර්ඝකාලීන බදු පදනම මත වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 72,000ක් උක් වගා කිරීම සඳහා තායිලන්තයේ සුටෙක් ඉංජිනියරින් පුද්ගලික සමාගමට ලබාදීමට 2023 ජුනි 26 දින කැබිනට් අනුමැතිය ලබා ගැනිණි. එසේම අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 104,000ක් ලබාදීමට 2021 අගෝස්තු 30 දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

මේ සියල්ල නිදහසේ සිදුකිරීමට බාධා කළේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වගන්තියයි. එම නිසා ය, මෙසේ කඩිනමින් පනත් සංශෝධනයක් ඉදිරිපත් කොට අදාළ බාධාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ.

මෙවැනි පනත් සංශෝධනයකින් තොරව මේ වනාන්තර ඉඩම් විනාශ කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කෙරිණි. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ 2020 නොවැම්බර් 04 දින 01/2020 චක්‍රලේඛය මගින් රක්ෂිත නොවන රජයේ වනාන්තර ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පත්කර ගැනීමට උත්සාහ ගැනිණි. ඉන්පසු ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ. ඒ. කේ. රණවක විසින් රජයේ ඉඩම් මැන වෙන් කිරීම යන ශීර්ෂය යටතේ 2021 අගෝස්තු 6 දින අංක 02/2021 දරන චක්‍රලේඛය මගින් ඉහත චක්‍රලේඛයෙන් වෙන් කර ගත් රජයේ වනාන්තර, ඉඩම් සංවර්ධන ආඥා පනතේ 8 වැනි වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය සහ විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට මැන වෙන්කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට මැනීම් කර වෙන්කර ගැනීමට උත්සාහ කෙරිණි.

එහෙත් මේ චක්‍රලේඛ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය උල්ලංඝනය කරන බව ඔප්පු කිරීම නිසා අධිකරණය මගින් ඒවා ක්‍රියාත්මක වීම වලක්වා ගත හැකි විය. දැන් අන්තිම පියවර ලෙස නීති වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ ඒ නිසා ය.

අක්කර ලක්ෂ 12ක හෙවත් හෙක්ටයාර ලක්ෂ 5ක මෙවැනි වනාන්තර රක්ෂිත භූමි බේරන තීරණාත්මක අධිකරණ තීන්දුවක් 2022 නොවැම්බර් මාසයේදී අභියාචනාධිකරණය ලබාදුන්නේය.

ඒ, ඉහතින් සඳහන් කරන ලද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් නිදහස් කිරීම සඳහා නිකුත් කරන ලද 1/2020 අත්තනෝමතික චක්‍රලේඛය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක තීන්දුව ලබාදෙමිනි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එය අර්ධ සත්‍යයකි.

පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ අදාළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් අදාළ චක්‍රලේඛය සංශෝධනය කරමින් වනාන්තර භූමි අක්කර ලක්ෂ 12ක් සුරක්ෂිත වන ආකාරයේ තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කර තිබිණි.

දැනට අවශේෂ වනාන්තර යනුවෙන් හඳුන්වනු ලබන රජයේ වෙනත් වනාන්තර ලෙස නම්කර ඇති භූමි පමණක් නොව, වනාන්තරමය වටිනාකමක් සහිත භූමි, ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමි සහ ජලාධාර භූමි ද සුරක්ෂිත වන ආකාරයට නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද වනජීවී සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝග කරන ලදි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය හරහා බරපතළ අවදානමක තිබූ වනාන්තර භූමි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ වෙනත් රජයේ ඉඩම් කළමනාකරණය කරනු ලබන ආයතනවලට අවශ්‍ය පරිදි ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ හරහා නතර කෙරිණි.

අදාළ ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉඩම් කොමසාරිස්වරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබූ 1/2020 චක්‍රලේඛයේ තුන් වැනි වගන්තියට තීන්දුවට පෙර ද අභියාචනාධිකරණයෙන් තහනමක් පනවා තිබිණි.

එසේ තිබියදීත් ස්ථාන ගණනාවක එවැනි කටයුතු සිදුකෙරිණි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. එම ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ බලය….’

වෙනත් රජයේ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට ලබානොදෙන බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙහිදී අභියාචනාධිකරණයට තහවුරු කරන ලදි. ඒ, පෙත්සම් විභාගයේදී ය. 2020 නොවැම්බර් 04 දින වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ එවකට ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර විසින් ය, 01/2020 අංක දරන මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ. එහි 03 වගන්තියේ මෙසේ සඳහන් වේ.

‘මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමත් සමග ම මෙම අවශේෂ කැලෑ ඉඩම් වෙනුවෙන් වඩාත් සුදුසු ප්‍රයෝගික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු‍ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට / පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට / ඉඩම් කොමසාරිස්වරුන් සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.’

මීට පෙර මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ 05/2001 චක්රලේඛයයි. රජයට අයත් සියලු‍ම කැලෑ කළමනාකරණය සහ පාලනය සඳහා 2001 වසරේදී නිකුත් කරන ලද එම චක්‍රලේඛය අහෝසි කිරීම මෙමගින් සිදු විය. 2001 වසරේ චක්‍රලේඛයට අනුව රජයේ කැලෑ ඉඩමක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පවරන්නේ නම්, ඒ සඳහා වන සංරක්ෂණ, පරිසර, වන ජීවි, ඉඩම් ඇතුළු ආයතන ගණනාවකින් විධිමත් අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය විය.

එහෙත් 2020 ජූලි 01 දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද උපදෙස් මත නිකුත් කෙරුණු 01/2020 චක්‍රලේඛයට අනුව එසේ අදාළ ඉඩම් පැවරීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තනි ව කළ හැකි කරුණක් ලෙස දක්වා තිබේ.

‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා ත්‍වත්‍ව. අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින්…… හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙමගින් ඉඩ ලැබේ.’

මෙම චක්‍රලේඛය ඉදිරිපත් කිරීමත් සමග අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක හෙක්ටයාර ලක්ෂ ගණනක වන සංරක්ෂණ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම ඇරඹිණි.

වාණිජ බෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බව පවසමින් ජනතාවට අක්කර 4-5 කොටස් ද, සමාගම්වලට අක්කර 3,000 සිට 5,000 දක්වා කොටස් ද බදු පදනම මත ලබාදෙන ලදි. මේවා අදාළ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට පෙර කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීමක් සිදු නොවූ අතර, එහි භූමියේ වැදගත්කම හෝ ජෛවවිවිධත්වය වැනි සාධක අදාළ වූයේ නැත.

වනාන්තරයක වටිනාකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.

‘මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය.

හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් මෑතකදී ගත්තා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලු‍වම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් තමයි දකින්න පුළුවන්.

ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.

ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.

වෙනත් රජයේ වනාන්තරවලට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අලු‍තින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. 2020 තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.’

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ව තිබූ වන රක්ෂිත භූමි හෙක්ටයාර 134,362. 15ක් (අක්කර 331,874. 51ක්) පසුගිය වසර 02 තුළ විවිධ පෞද්ගලික ව්‍යාපෘති සඳහා ලබාදී තිබෙන්නේ මෙවැනි පසුබිමක ය. කොටස් 03ක් යටතේ මෙම දැවැන්ත රක්ෂිත භූමි නිදහස් කර ඇති බව පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට ඉදිරිපත් වූ වාර්තාවක් මගින් හෙළිදරව් විය.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික ආයතන විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව සාමාන්‍ය ක්‍රියාවලියෙන් නිදහස් කරන ලද ඉඩම් යන වර්ගීකරණය යටතේ 2021 වසරේදී හෙක්ටයාර 240. 44ක් නිදහස් කර තිබේ. එය 2022 වසරේදී හෙක්ටයාර 21. 39කි. මේ අනුව එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 261. 83කි. වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ඵඋත්‍ක්‍/01/2020 ට අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිදහස් කරන ලද ඉඩම් වර්ගීකරණය යටතේ 2021 වසරේදී හෙක්ටයාර 131,624. 40ක් රක්ෂිතභාවයෙන් ඉවත් කර ඇත. 2022 වසරේදී එසේ නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 957. 74කි. මේ අනුව එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 132,582. 15කි.

වාර්ෂික බලපත්‍ර යටතේ විවිධ ක්‍රියාකාරකම් සඳහා නිදහස් කරන ලද ඉඩම් නම් වර්ගීකරණය යටතේ 2021 වසරේදී රක්ෂිත භූමි හෙක්ටයාර 18. 17ක් නිදහස් කර ඇති අතර, එය 2022 වසරේදී හෙක්ටයාර 1,500කි. එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී මෙසේ නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 1,518. 17කි.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ සඳහන් ආකාරයට 2021 වසරේදී මෙසේ නිදහස් කර ඇති සමස්ත රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 131,883. 01ක් වන අතර, 2022 වසරේදී එම සමස්ත ප්‍රමාණය හෙක්ටයාර 2,479. 13කි. එහි එකතුව හෙක්ටයාර 134,362. 15කි. එනම් අක්කර 331,874. 51කි.

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 29.7කි. මේ වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතරින් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9ක ප්‍රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302කි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392ක් නැතහොත් සියයට 17.1ක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර සියයට 0.2ක් නැතහොත් හෙක්ටයාර 15,670ක් පවතී.

සියල්ල අවසානයේ මිනිසා නීතියට මෙසේ පැවසීය.

මිනිසා – උත්සාහ කරන්න, තනියෙන් නැගීසිටින්න.

නීතිය – මිනිස්සු ඔක්කොම මාත් එක්ක ඉන්නවා නම්, මට ඒක කරන්න පුළුවන්.

නීතිය එසේ සෘජු පිළිතුරක් දුන්නේය.

  • ශාලික විමලසේන 

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...