මාඝාත නාට්‍යයයේ පළමු නිෂ්පාදනයේ මංගල දර්ශනය පැවැත්වුණේ 1989 යේ ඔක්තෝබර් මාසයේ. එතකොට මම වයස අවුරුදු විසි හය (26)ක කොල්ලෙක්. එදා ලුම්බිණි රඟහලේ දොරවල් වහන්න හම්බ උනේ නැහැ. ඒ තරම් සෙනඟ. එක දොරටුවක් අසල ආසනයක බොහොම තැන්පත්ව ඉඳගෙන රිචඩ් ඩි සොයිසා නාට්‍යය නරඹන දර්ශනය මට තාම මතකයි. නාට්‍යයයේ පලවෙනි review එක ඊට පහුවෙන සති අන්තයේ The Island පුවත්පතට Crisis belongs to all of us මාතෘකාව යටතේ ලියූ වෙත් ඔහුමයි.
ඒ කාලේ රටේ තිබුනේ භීම සමයක්. මරා දැමුණු තරුණ තරුණියන්ගේ මළ සිරුරු ගංගා ඇළ දොළ වල පාවුනා. පාරේ හන්දිගානේ ටයර් උඩ දැවුණා. මේ නාට්‍යය ගැන ලියූ රිචඩ් නිවසින් පැහැරගෙන ගොස් මරා දැමුණා.
ඒ කාලේ විරෝධාකල්ප කලාවක් බිහි වුණා. මේ භීම සමය ගැන තරුණ කවියෝ කිවිඳියෝ කවි ලිව්වා. ගායක ගායිකාවෝ සින්දු කිව්වා. චිත්‍ර ශිල්පියෝ චිත්‍ර ඇන්දා. අපි වගේම උණ තියෙන නාට්‍යකරුවෝ නාට්‍ය කළා. එහෙම කරපු නාට්‍යයක් තමයි මාඝාත.
ඒ මාඝාත නාට්‍යයයේ පළමු නිෂ්පාදනයේ රඟපාපු රංගන ශිල්පියෙක් තමයි ප්‍රසාද් සූරියආරච්චි. අද එය නැවත නිෂ්පාදනයක් ලෙස කරළියට ගේනවා ඔහු. මුල් නිෂ්පාදනයේ රඟපෑ දෙතුන් දෙනෙක් නව නිෂ්පාදනයේ ද රඟපානවා. අද වේදිකාවේ ශිල්ප දක්වන දක්ෂ තරුණ තරුණියන් රැසක් එක්කරගෙන ප්‍රසාද් මේ හදන්නේ එදා නාට්‍යය අද ප්‍රේක්ෂකාගාරයට ඒ විදිහටම රඟ දක්වලා පෙන්නන්න.
මම අද ප්‍රේක්ෂකයෙක් හැටියට ප්‍රේක්ෂකාගාරයට වෙලා නාට්‍යයය දිහා බලා ඉන්න බලාපොරොත්තුව ඉන්නවා. මට දැනෙන්නේ හරියට මං මගේම අතීතය දිහා බලාගෙන ඉන්න පෙරුම් පුරනවා වගේ. කෙනෙක්ට තමන්ගේම අතීතය දිහා බලාගෙන ඉන්න පුළුවන්නම්. ?