කියවන්නා ඇද බැඳ ගැනීමේ සමත්කමක් හිමි බුද්ධදාස හේවගේගේ ‘ගමන’

Share post:

සාහිත්‍ය කාරියෙහි නිමග්නව සිටින අය හට පොත් එළිදැක්වීම් ආගන්තුක නොවුනද පොත් එලි දැක්වීමේ මංගල්‍යය යනු තරමක අරුමයකි. මේ දිළිඳු කොදෙව්වේ කෘතියක් පල කිරීමම මහා වදයක්ව පවතින වකවානුවක එසේ නිකුත් කරනු ලබනා කෘතියක් මංගල්‍යයක ස්වරූපයෙන් සිදුකිරීම සැබැවින්ම චමත්කාරජනක අත්දැකීමකි. මේ මාර්තු 16 වැනි දින මතුගම අල් බොරාදා සංස්කෘතික මධ්‍යස්ථානයේදී එවැන්නක අත්දැකීම නිඳින්නට රැස්ව සිටි පිරිසට ඉඩ ලැබුණි. නන් පැහැ විදුලි බුබළින් ආලෝකමත්වූ උත්සවයකදී එලිමහනෙහි සඳ පහන් රැයෙහිද අසිරිය මැද එසේ එළි දක්වන ලද්දේ කෙටි කතා පොතකි. එහි නම ගමන ය.

ගමන් යනු බුද්ධදාස හේවගේ නම් නිර්මාණකරුවාගේ පස්වන කෙටි කතා සංග්‍රහයයි. මේ වන විට නවකතා පහක් ඇතුළුව තවත් කෘති ගණනාවක් පල කර ඇති හේවගේ යනු විවිධ කතා සාහිත්‍යය අංශ වල සිය සමත්කම් විදහා පෑ පරිණත නිර්මාණකරුවෙකි. එහෙත් ඒ සියල්ල අතරේ ඔහු වඩාත් පරසිදුව ඇත්තේ ඉතාම වැදගත් කාර්යයක් හේතුවෙනි. ඒ ඔහු විදින් දීර්ඝ කාලයක් සහ වෙසහසක් විඳ සම්පාදනය කරන ලද සිංහල ඉංග්‍රිසි ශබ්ද කෝෂයයි. ඉංග්‍රිසි -සිංහල ශබ්ද කෝෂ ලෙස මලලසේකරයේ පටන් තවත් වැදගත් කෘති ගණනාවක් ඇතද සිංහල- ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ලෙස සැලකිය යුතු කෘතියක් මෙතෙක් සම්පාදනය කර ඇත්තේ හේවගේ විසින් ම පමණි. ඒ සඳහා දැරිය යුතු අධික වෙහෙස මෙන්ම කැපවීමද සම්බන්ධයෙන් ඔහු ඇගයුමට ලක් විය යුතුව තිබේ.
ඔහු සිය නවතම කෙටිකතා සංග්‍රහයට කතා 10 ක් ඇතුලත් කර තිබේ. ඒ සෑම කෙටිකතාවකම දක්නට ලැබෙන පළමු ලක්ෂණය වනුයේ එක් වරම කියවන්නා ඇද බැඳ ගැනීමට ඔහු පල කරනා සමත්කමයි. ඔහු සිය කතා ඉදිරිපත් කිරීමේදී යථාර්තවාදී ශෛලියෙන් බැහැර නොවී ඒ මතම සීමා වෙමින් කතන්දරකරුවෙකුගේ භූමිකාව ඇතැම් කතාවන්හී දක්නට ලැබෙන අනෙක් ලක්ෂණය වනුයේ පාඨකයා එක් දිශාවකට මෙහෙයවමින් යන ඔහු එක් වරම සිය කතාව අවසන් කිරීමේදී පාඨකයා එතෙක් කතාව හරහා අනුමාන කරනා අවසානයෙන් බැහැරව ඔහු තරමක වික්ෂිප්ත බවකට පත් කරනා අවසානයක් කරා එළඹීමය. එහෙයින් ඔහුගේ කතා කියවාගෙන යාම වෙහෙසකර නොවන අතර කෘතිය එක දිගට කියවාගෙන යාමට ඉන් ලැබෙන උත්තේජනයද වැඩි ය.
ඔහුගේ කතාවන්ට විෂය වනුයේ නමසිය හැටේ දශකය සිට වර්තමානය දක්වා විවිධ කාල වකවානු වල ජීවිතයයි. ගෘහ ජීවිතය, නීතිය සහ එහි මුරපල්ලන්ගේ පැවැත්මේ අඳුරු අහුමුළු මෙන්ම මධ්ය ම පාංතික ජීවිතයෙ හි ඇති නෙක ව්‍යාජයන් සමගින් ඔහු මිනිස් පෙමෙහි සංවේදී පාර්ශවයන් ගැන අවධානය යොමු කරයි. ඔහු විසින් රචිත බලල්ලු කෘතියෙහි ඕ හෙන්රිගේ කතා කලාවෙහි සේයාවක් දක්නට ලැබෙන්නේ බලලුන් සහ මීයන් අතරෙහි දෝලනය වන මධ්‍යම පාංතික ජීවිතයේ හරසුන් පැවැත්ම මෙන්ම සමාජ සහ පුද්ගල ආකල්පද කේන්ද්‍ර කරගනිමිනි. චෙකෝෆියානු, මෝපසානු කෙටි කතාවෙහි ලක්ෂණ බහුලව දක්නට ලැබෙනා හේවගේ ගේ කෙටි කතාව වැඩිම විශ්වාසය තබන්නේ එමගින් ඉදිරිපත් කෙරෙනා කතන්දරයෙහි ආකර්ශණීය බව කෙරෙහිය.

එහෙත් මේ කතන්දරයක් කීම කෙරෙහි තබනා බර නිසාම කතාවෙහි සීමාවන්ද ඒ සමගම සළකුණු වෙයි. කතාකරුවා පාඨකයාගේ පරිකල්පනය කෙරෙහි විශ්වාසය නොතබා ඔහුට සියල්ල පවසන භූමිකාවට අවතීර්ණ වීමත් සමගම කතාව සරල රේඛීය මාවතක සිර වෙයි. ඒ අතරම සියල්ලම පැවසීමට යත්න දැරීම හරහා විටෙක ඔහු සිය කෙටි කතාව නතර කිරීමට සුදුසු අවස්ථාව අමතක කර කතාකරුවාගේ භූමිකාවෙහි අතරමං වන සෙයක් දක්නට ලැබෙයි. එවිට සිදුවනුයේ කතාව කියවන්නා හට සියුම්ව දැනී යා යුතු දේවල් යළි පවසන්නට යාමෙන් පාඨකයාට කතාවෙන් බාධා පැමිණවීමයි. බලල්ලු කතාවෙහි අවසානය එවැන්නකි. එහිදී මත පල කරන්නෙකු ලෙස කතාකරුවගේ මැදිහත්වීම නොවුනා නම් කතාවෙහි අවසානය වඩා බලවත් කරන්නට ඉඩ තිබිණි.
නිලධාරි නමින් වන කතාව ලංකාවේ අධ්‍යාපන අංශයෙහි ඇති අර්බුදයේ එක් පාර්ශවයක් විමසීමට තැත් කරන්නකි. අධ්‍යාපනයෙහි දක්නට ලැබෙනා බරපතලම ගැටළුවක් වන පරිපාලන නිලධර භූමිකාවෙහි සෝදාපාලුව තුළ අසරණ වන නවක ගුරුවරියක් පිලිබඳව කියවෙන කතාව හේවගේ ගුරුවරයෙක් ලෙස මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධව ගත කළ කාලයෙහි ලද අත්දැකීම් ප්‍රතිනිර්මාණයක් බව පැහැදිලිය. අසංවේදී නිලධර භූමිකාවද ඒ තුළ වන නෙක හරස් සම්බන්ධතා මෙන්ම වැඩවසම් ආකල්පද කැටි කරගන්නා කතාව අපේ වර්තමාන අධ්‍යාපනයේ බරපතල ඛේදයෙහි එක් මූලයක් සාකච්ඡාවට ගනියි.

රටෙහි සෞඛ්‍ය ඇමතිවරයා බන්ධනාගාර රෝහල්ගත කරමින් සහ සහ තවත් බලධාරීන් ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින් දිවෙන පිලිකුල් සහගත අනාවරණයන් මැද රටෙහි සාමාන්යන ජනයාගේ ජීවිත සමග කෙරී ඇති තිරශ්චීන සෙල්ලමක් දෙස රටක් බලා සිටිනා කාලයක කුඩ්ඩා නමින් හේවගේ ඉදිරිපත් කරන කෙටි කතාව නිදහස් සෞඛ්‍ය නමින් පවත්නා සේවාවෙහි ඇති ගැඹුරු ඉරිතැලුම් ගැන පාඨක අවධානය කැඳවයි. පොලිසියේ ඇති නිලධරවාදයේ පිලිකුල් සහගත සිත්තම කැටි කරගන්නා රාළහාමිලා කතාව සමස්ත පොලිසියේම ඉහල සහ පහල අතර නිරතුරුවම හටගන්නා මී බළල් සෙල්ලම ගැන සංවේදී වෙයි.

කෙසේ වෙතත් මේ සෑම කතාවක දීම කතාකරුවා සිය කතන්දර කීමේ භූමිකාවෙන් මදක් බැහැරව යමින් අවස්ථා සිදුවීම් හරහා පාඨක පරිකල්පනය කෙරේ වැඩි ඉඩක් වෙන් කළේ නම් මේ සියළුම කතා මීට වඩා සාර්ථක ලෙස ගොඩ නගන්නට ඔහුට ඉඩ ලැබෙනු ඇත. කෙටි කතාව යනු කතන්දරයක් පැවසීම යන්නට වඩා කතාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරු අත්හදා බැලීම් පිණිස බහුලව ක්‍රියාකාරී වන පසුබිමක එසේම වඩා දියුණු පාඨක සමාජයක් ක්‍රමයෙන් වර්ධනය වන වකවානුවක හේවගේ හට සිය කතාවන් යථාර්තවාදී රීතිය තුළ වන සීමා පුළුල් කිරීමේ ප්‍රයත්නයක් බවට පත් කරගත හැකි වුනි නම් මීට වඩා ප්‍රබල මැදිහත්වීමකට ඔහුට ඉඩ සැලුසෙනු ඇත.

හේවගේගේ කෙටිකතා සමුච්ඡය එදින පිලිගන්වන ලද්දේ ඔහුගේ බිරිඳ සහ දියණියටය. එසේම පොත් එළිදැක්වීම සඳහා තෝරා ගන්නා ලද දිනයද දියණියගේම උපන් දිනය වීමද විශේෂය. නිර්මාණකරුවෙකුට ඇති වැදගත්ම සම්පත් වනුයේ තම නිර්මාණාවලියයි. ඉදින් එහි එක් අස්වැන්නක් තම දියණියට පිලිගන්වන මොහොත යනු නිර්මාණකරුවාට මෙන්ම ඊටත් වඩා හෙට දවසේදී වැදගත් වනු ඇත්තේ ඔහුගේ දියණියටය. ජාතික ධනය යටිමඩි ගසා තම දරුවන්ගේ අනාගත ලෝකය සුඛිත මුදිත කර රටෙහි පුරවැසියන්ගේ ජීවිත අන්ධකාරයට දක්කන දේශපාලුවන්ට වඩා හේවගේ ගේ ආදර්ශය එහි සිටි සියල්ලටම පසක් අත්දැකීමක් වු බවද සැක නැති.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...