ආදරවන්ත ගුරු තරුවේත් ධෛර්යවන්ත ගැටවර යෞවන නෞකාවේත් කතාව “පොඩි එකා”

Share post:

යෞවනය වසන්ත සමයක් බව පිළිගත් අදහසකි. නමුත් එම වසන්තයේම සැඟවී විෂ උල්පත්, මර උගුල්, තියුණු කටු තුඩු පවතින්නට ඉඩ ඇත. නිසි කලට, නිසි මග පෙන්වීමක් නොලදහොත් වසන්තය ම වුව යෞවනයට අපල උපද්‍රව ගෙනෙන්නට ඇති ඉඩ කඩ වැඩි ය.

මං මුලා වූ ළමා වියක, යොවුන් වියක යා යුතු හසරක් නොදැන එකෙල මෙකෙල වෙමින් සිටි කොලු ගැටයකුට වාසනාවට අපූරු ගුරු තරුවක් හමු වූයේය. ඉදින් ඒ යෞවන දිවි ගමන නිසි මග සොයා ගෙන අන්ධකාරයෙන් ආලෝකය වෙතට ආ වග කියනුම කවරේද? නමුත් ඒ ගමන එතරම්ම සුවපහසු වූවක් නම් නොවේ.

චන්දිමාල් ජයකොඩි සොයුරාගේ “පොඩි එකා” ගෙනෙනුයේ ඒ ආදරවන්ත ගුරු තරුවේත් ධෛර්යවන්ත ගැටවර යෞවන නෞකාවේත් කතාවයි. එය හුදෙක් භූමිකා දෙකක කතාවක් පමණක් නොවේ.

ඈත වන්නි වන පෙතේ කුඩා තක්සලාවකින් ඇරඹ එකී පාසලට ද, ගම්මානයට ද, ඉන් නොනැවතී මේ වන විට ලක්දිව සතර දිසාවට ද නවෝදයක අරුණලු උදා කළ සාමූහික කැපවීමේ, වැය වීමේ, දිරි දීමේ සත්‍ය කතා පුවතක් “පොඩි එකා”ට පසුබිම් වී ඇත. කරපිංචා පරපුර යැයි ඔවුන් විරුදාවලී ලබන්නේ කරපිංචා අලෙවි කරමින් පාසලේ පුස්තකාලය ගොඩනගන්නට ලබා දුන් දායකත්වය හේතුවෙනි.

කෘතියෙහි එන චන්ද්‍රලාල් හෙවත් පොඩි එකා කම්කරුවෙකු ලෙස අවසන් කරන්නට තිබූ දිවි ගමන අනපේක්ෂිත ලෙස වෙනස් වන්නේ පාසලට පැමිණෙන නවක ගුරු තරුණයාගේ මැදිහත්වීමෙනි. පොඩි එකා සතු කුසලතා දියුණු කර ගැනීමේ ඉඩකඩ ඔහුටම ලබා දීමටත්, ඔහු විසින් අතැර දමා තිබූ අධ්‍යාපනය යළි දිනා ගන්නට අවස්ථාව සැලසීමටත් මෙම ගුරුවරයා දියත් කරන්නේ සූක්ෂම සැලසුමකි. මුලින් නොදැනුවත්වම ඒ සැලැස්මේ පංගුකාරයකු වන පොඩි එකා අන්තුරුව සිය ජීවන රුවල හසුරුවා ගන්නේ මනා දැනුවත්භාවයකිනි.

එදාටත් වඩා සංකීර්ණ වූ වර්තමානයේ බරපතළ සමාජ, ආර්ථික , දේශපාලන බල අරගලවල ගොදුරක් වූ නව යෞවනයට අද කොතෙක් නම් ගුරු තරු පායා ආ යුතු ද? නමුත් සිදු වී ඇත්තේ තරු ලකුණු ගිලිහුණු අන්ධකාර සමාජයක අත පත ගාමින් පාර සොයා ගත යුතු මට්ටමට ඔවුන් අසරණ වීම නොවේද?
සමහරවිට ඔබ ඒ ගුරු තරුව වීමට සියලු සුදුසුකම් සපුරා ඇතුවා විය හැකිය. එසේත් නොවේ නම් තරු ලකුණක් අවැසි යෞවනයේ ඔබ සිටිනවා විය හැකිය. “පොඩි එකා” කියවන්න යැයි ඔබට ඇරයුම් කරමි. මනුෂ්‍යත්වය, ආදරය, සහජීවනය හමුවේ අප කිසිවකු පරාද වීමට ඉඩක් නැත. දළඹුවන්ට සමනලුන් ලෙස ලොව තුළ සැරිසරන්නට දිරිය, සවිය, රැකවරණය සහිත සමාජයක් ගොඩ නගන්නට කැප වෙමු.

තරුරසී ප්‍රනාන්දු

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...