අජිත් ගෙ කවි ලෝකෙට අලුත් වාගේම අජිත් හිතන විදියත් ලංකාවට අලුත්

Share post:

ඊයෙ රෑ මම කියෝපු අජිත් තිලකසේන සහෘදයගේ කවිය අද උදේ මගේ හිතේ හොල්මන් කරනවා. ඉතින් මේක ලිව්වෙ නැත්තං නිවනක් නෑ.
මුලින්ම කවිය කියවලා ඉඳිමුද ? . ඒත් අජිත්ගේ සමරූපකරණය කරපු අකුරු නම් මට දාන්න බෑ. මොකද මම වොයිස් ටයිපින් නෙ. අජිත්ට සාධාරණයක් වෙන්න මම කවියෙ පොටෝ එකක් යට දානවා. සම්මත අකුරින් ලිවීම පිළිබඳව කාගේ හරි හිත රිදෙනවා නම් මම සමාව ඉල්ලනවා .

මම දැක්කා

හදිසියේ මම දැක්කා
ආදරය සංවේගය ගෙනෙනකොට
ඔබ නිහඬව මා අබියස
අවුල් ජාලය මැදින්
රාත්‍රිය බලන්න අපි මිදුලට බැස්සා
ඔබේ දොරකඩින්

හදිසියේ මම දැක්කා
හඳ නැති රැයේ එළිමහනේ
හිත තනිවෙන්න ගත්තු මොහොතේ
ඔබ සමග

එසැනින් කෙටූ විදුලියෙන්
මම දැක්කා හාත්පස
ඔබේ ඇස් ඇරී තියෙනවා වෙනතක
අන්ධකාරය දැඩි වුනා ඉන්පස්සේ
පෙරටත් වඩා
ඔබේ ඇසිපිය අතරින් එබුණේ එදා
ආදරේ යයි ගන්න
මම මුග්ධ උනේ කොහොමද ?
ඔබ උණුසුම හැරියා
ඉතින්
කොහොම සිප ගන්නද මම
පිනි පටලයකටත් වැඩියෙන්
සීතල තොල්.

අජිත් තිලකසේන
මොනතරම් අවුලක්ද
කාව්‍ය සංග්‍රහයෙන්

මම අජිත් ගේ මුලින්ම කියවපු කාව්‍ය සංග්‍රහය තමා මාරියාව 2008. ඒ කවි වල සමහර කොටස් මට තාම මතකයි. මම කවියට රාගාන්විතව ආශාක්ත වුනේ අජිත්ගෙන්. ලංකාවේ විචාර සාහිත්‍යයේ අජිත් ගැන එච්චර කියවෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඔහු අළුත් පාරක් කපාගෙන කවි ලියපු කෙනෙක්. ඔහුගේ විශේෂත්වය තමයි අපේ සංස්කෘතිය තුළ ඉඳගන්නෙ නැතිව ඊට පිටින් ඉඳන් ආගන්තුකව නිර්මාණකරණයේ යෙදීම. ඔහුගේ රට , ඔහුගේ ප්‍රේමය , ඔහුගේ ලිංගිකත්වය , ඔහුගේ ආගම අපිට වෙනස්. ඒවා පවතින්නේ අපේ අර්ථයෙන් නෙමෙයි. ඔහුගේ අකුරු පවා අපේ නෙමේ. එහෙම ඉන්න තරම් ඔහුට කායික හා මානසික ශක්තියක් තියන බව පෙනෙනවා. ඔහුගේ මාරියාව පුරාම තිබුණේ මහල්ලෙක් විඳින තරුණ බව කියලා අසම්පූර්ණව කිව්වොත් “මොනතරම් අවුලක්ද ” කියන කවි පොතේ තියෙන්නේ ඔහු මහල්ලෙක් විදියට මහලු විය විඳින විදිහ. ඒ විඳීම ඇතුලේ තියන අවුල් සහගත බව, රිදෙන බව, කැළඹීම සහ පොරොත්තු කඩවුණු ස්වභාවය ඉතා ඉහළ මාත්‍රාවකින් තියනවා. මේ පොතට එන කොට අජිත්ගේ ප්‍රේමවන්තිය සෙවනැල්ලකට මාරුවෙලා. මේ පොත කවි එකතුවකට වඩා ආඛ්‍යාන කාව්‍යයක් වගේ මට දැනෙන්නෙ. මේ කවි විඳින්න සීයට සීයක හිතේ එකඟතාවයක් අවධානයක් , මූඩ් එකක් වාගේම විශාල විවෘත භාවයකුත් අවශ්‍ය වෙනවා. මේ කවි වල අමුතුම හැඩයකට එකලස් කරලා තියන වචන , වැකි ගලවල විඳින්න බැහැ. ඒව නිර්මාණය කරන සමස්ථාර්තය තමයි විඳගත යුතු.

අජිත් ගෙ කවි ලෝකෙට අලුත් වාගේම අජිත් හිතන විදියත් ලංකාවට අලුත්.

ජයන්ත කහටපිටිය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...