ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ බව තහවුරු කරමින් නඩු තීන්දු ගණනාවක් දීලා තියෙනවා. නමුත් අපි දිගටම දකින්නෙ තවදුරටත් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය. මෙහෙම ගිහින් මොනවා වෙයිද ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරලා තියෙන මූලික අයිතිවාසිකම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනකොට තමයි ගැටළු එන්නෙ. විශේෂයෙන්ම විධායකයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සහ ප්‍රවර්ධනය කරන්න බැඳීලා හිටියට ප්‍රායෝගිකව ඒක වෙන්නෙ නෑ. එක පැත්තකින් සමහර අයට මේ ගැන විධිමත් දැනුමක් නෑ. අවබෝධයක් නෑ. ඒ වගේම ඉතාම පටු ආකාරයට තමයි ඒ අය මේ මූලික අයිතිවාසිකම් ගැන හිතන්නෙ.
එතැනදී තමයි අධිකරණයේ මැදිහත්වීම අවශ්‍ය වෙන්නෙ. ඒ වුණාට අපි ප්‍රායෝගිකව දන්නවා, හැමදේකටම අධිකරණයට යන එක කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒ විතරක් නෙමෙයි ඒක වියදම් සහගත කාරණයක්. ඒ නිසා තමයි, පුනරුත්ථාපන රෙගුලාසි සම්බන්ධයෙන් නඩු තීන්දුවෙදි ශ්‍රේෂ්ඨාධිකරණයම කියන්නෙ අධිකරණ විමර්ශනයක් තිබුණට හැමවෙලාවෙම අධිකරණයට යන එක වියදම් සහගතයි සහ ප්‍රායෝගික නැහැ කියලා.
එතැනදි තමයි අපි දකින්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන දර්ශීය තත්ත්වයයි, ප්‍රායෝගිකව පොළොවෙදි ඒක ක්‍රියාත්මක වෙන ආකාරයයි අතර යම් ආකාරයක පරතරයක් තියෙනවා කියලා. මේ පරතරය අවම කරන්න අපි එකතු වෙලා වැඩ කරන්න ඕනෙ.
විධායකය නියෝජනය කරන දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අයිතිවාසිකම් ප්‍රවර්ධනය වෙනුවට අවවර්ධනය කරමින් ඉන්න තත්ත්වයක් තියෙන්නෙ. ඒ වගේම ආර්ථික පීඩා අතර ජනතාවත් නිහඬ වෙමින් ඉන්නෙ. මේක භයානක තත්ත්වයක් …?
ඔව්. ඇත්තටම. එතැනදි තමයි අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාශීලීත්වය අතිශය වැදගත් වෙන්නෙ. ඒ විදිහට අධිකරණය ක්‍රියාශීලී වෙනකොට තමයි පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නෙ. හැබැයි අපි පිළිගන්න ඕනෙ, ඒකෙ ප්‍රායෝගික සීමා තියෙනවා කියලා. ඒ තත්ත්වය තුළ ජනතාව තමන්ගෙ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න එක විතරක් නෙමෙයි, ඒ වෙනුවෙන් හඬක් නගන එක වැදගත් වෙනවා.
එතැනදි තමයි, අවධාරණය කරන්න ඕනෙ, මේ රටේ සමහර පාර්ශ්ව ඉන්නවා, ඒ අයට හැකියාව තියෙනවා f ම්ගැන හඬක් නගන්න, මතයක් හදන්න. එක පැත්තකින් වෘත්තීයවේදීන්. අනෙක් පැත්තෙන් වාණිජ අංශය. මේ වගේ අංශ මීට වඩා ජනතාවගේ අයිතිවාසිකම් ගැන ක්‍රියාකාරී වෙන්න ඕනෙ කියන එක තමයි මම හිතන්නෙ. ඒ ක්‍රියාකාරිත්වය මගින් එක පැත්තකින් ජනතාවට තමන් වෙනුවෙන් හඬක් නගන්න ශක්තියක් ලැබෙනවා. අනෙක් පැත්තෙන් අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයට බලපෑමක් වෙනවා, ඒ අයට දෙපාරක් හිතන්න සිදුවෙනවා.
තමන් වෙනුවෙන් පෙනීඉන්න කියන එක ජනතාවගේ ඔළුවට දාන්න, ඒ ශක්තිය දෙන්න මොනවද පොදුවේ කරන්න පුළුවන්…?
මගේ ප්‍රධාන අදහස තමයි, පාසල් මට්ටමෙන් අයිතිවාසිකම් ගැන තියෙන අවබෝධය වැඩිකරන්න, ඒ ගැන කියලාදෙන්න ඕනෙ. ඊළඟට තරුණ පරපුර තුළ මේ ගැන දැනුම සහ අවබෝධය වඩාත් පුළුල් කරන්න ඕනෙ. අනෙක් පැත්තෙන් එදිනෙදා ජීවිතයට මේ අයිතිවාසිකම් කොයිතරම් දුරට වැදගත්ද කියන එක ගැනත් මේ රටේ පුරවැසියන් දැනුවත් වෙන්න ඕනෙ.
මූලික අයිතිවාසිකම් කියන්නෙ අපි කතාකරන සෛද්ධාන්තික ලොකු න්‍යායයන් නෙමෙයි. තමන්ගෙ ප්‍රායෝගික ජීවිතය පහසු කරගන්න කොහොමද මේවා වැදගත් වෙන්නෙ කියන එකයි දැනගන්න ඕනෙ. උදාහරණයක් විදිහට පොලිසියත් එක්ක ගනුදෙනු කරන කොට, දරුවෙක්ව පාසලකට ඇතුළත් කරන්න හදන කොට එදිනෙදා ජීවිතයෙදි මේ අයිතිවාසිකම් වැදගත් වෙනවා. මං හිතන්නෙ දැනුම වර්ධනය කරන එක සහ ඇයි මේ අයිතිවාසිකම් වැදගත් කියන පණිවුඩය යවන එක කරන්න ඕනෙ.
කොයිතරම් කිව්වත් බහුතර ජනතාවගේ ඔළුව ඇතුළේ මතයක් විදිහටම මුල් බැහැලා තියෙන එක තමයි, ඉහළ අධිකරණවල කටයුතු ඉතා වියදම් සහගතයි කියන එක. ඒක ඇත්තක්. මේ තත්ත්වයට යම් සහනයක් දෙන්න මැදිහත් වෙන්න පුළුවන් කොහොමද ?
එකක් තමයි, නීතිඥ ප්‍රජාවගේ මැදිහත්වීම්. දැනටමත් අපි දන්නවා, නීතිඥ ප්‍රජාව නීති ආධාර දෙන එක සහ සාපේක්ෂව අඩු ගාස්තුවලට පෙනීඉන්න එක යම් ආකාරයකට සිදු කරනවා. ඒක ප්‍රමාණවත් නෑ, විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවලට මීට වඩා විධිමත් නීති ආධාර ක්‍රමයක් අවශ්‍ය වෙනවා.
අනෙක් පැත්ත තමයි, ශ්‍රේෂ්ඨාධිකරණයටත් නඩු දහස් ගාණක් අහන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නෙ විනිශ්චයකාරවරුන් සීමිත පිරිසයි, ඒ ගොල්ලොන්ට විභාග කරන්න තියෙන්නෙ මූලික අයිතිවාසිකම් නඩු විතරක් නෙමෙයි. එතැනදි වැදගත් වෙනවා, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න විකල්ප ක්‍රමවේද හොයන එක. දැනටමත් අපි දන්නවා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ඔම්බුඩ්ස්මන්වරයා වගේ විකල්ප ආයතන තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කරන එක, ඒගොල්ලොන්ගෙ මේ සම්බන්ධ දැනුම වර්ධනය කරන එකත් කඩිනමින් කළ යුතු වැඩක්. එහෙම නැතුව අපි අධිකරණ ක්‍රියාවලිය මත විතරක් රඳාපවතින්න ගියොත් මම හිතන්නෙ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක ගැටළු සහගත වෙනවා.
අපි එහෙම කිව්වට මානව හිමිකම් කොමිසම, තොරතුරු කොමිසම වගේ මේ විකල්ප ආයතනවලට අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබාදෙන්නෙ නෑ. ඒ හරහා අදාළ ක්‍රියාවලියට බලපෑම් කරනවා…?
හැම රජයේ ආයතනයකම මේ ප්‍රශ්නය තියෙනවා. උදාහරණයක් විදිහ ඔබ කියපු ආයතන දෙක ගත්තොත් ප්‍රමාණවත් කාර්යමණ්ඩලය දෙන්නෙ නෑ විතරක් නෙමෙයි, නිවැරදි සහ ප්‍රමාණන්‍ත් දැනුමක් තියෙන කාර්ය මණ්ඩලය නොදීමත් බරපතළ ගැටවළුක්.
එතකොට බහුතරය හිතනවා, මේ වගේ ප්‍රශ්න තියෙන, මෙච්චර රස්තියාදු වෙන තැනකට ගිහින් වැඩක් තියෙනවද කියලා …?
ඇත්තටම අපි පිළිගන්න ඕනෙ, එහෙම ගැටළුවක් තියෙනවා කියලා. මේවට නීතියේ පිහිට පතන එක සාධාරණ ද කියලා බහුතරය අහන ඔය ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නීතියේ තියෙන වියදම සහ ප්‍රමාදය ඒකට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා.
ප්‍රායෝගිකව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, ශක්තිමත් ආයාතනය තමයි අධිකරණය. හැබැයි මේ ඔක්කොම අතර අපි මේ රටේ සංස්කෘතියක් ඇති කරන්න ඕනෙ, මූලික අයිතිවාසිකම්වලට ගරු කරන. අධිකරණ ක්‍රියාදාමය මත විතරක් රඳාපවතින්නෙ නැති සංස්කෘතියක් අපට මෙතැනදි අවශ්‍යයි.
අපි දන්නවා, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත්වීම කියන කාරණය සම්බන්ධයෙන් ගත්තොත් ඉන්දියාවේ අධිකරණය සාපේක්ෂව අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. කොහොමද එහෙම වෙලා තියෙන්නෙ…?
මූලිකව ම ඉන්දියාවෙ ඉතාමත් ක්‍රියාකාරී අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙ බහුලව භාවිතා වෙන ක්‍රමයක් තමයි, විධිමත් නඩු පැවරීමකින් තොරව ලිපිලේඛන මත පදනම්ව, ඒවා බාර අරගෙන මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කිරීම. අපේ රටෙත් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයේ රීතිවල තියෙනවා මේ තත්ත්වය. අග්‍රවිනිශ්චයකාරවරයට පෙත්සමක් යවලා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නඩුකරයක් ආරම්භ කරන්න පුළුවන්. පහුගිය දශකය විතර ගත්තොත් ප්‍රායෝගිකව එහෙම නඩු පැවරෙනවා ඉතාමත් අඩුයි. ඒ කියන්නෙ තනි ලිපියකින් මූලික අයිතිවාසිකම් නඩුවක් ආරම්භ කිරීමේ ප්‍රවණතාව නැති තරම්. ඒ සංස්කෘතිය අපි වර්ධනය කරන්න ඕනෙ.
දශකයකට එහා මෑත ඉතිහාසය ගත්තොත් මේ වෙනකොට යම් ආකාරයකට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් සහ ක්‍රියාකාරීයි. ඒත් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් එහෙමමයි. මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නෙ, කොහොමද මේක වෙනස් කරන්න පුළුවන් …?
එහෙම දැනුවත් වුණාට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දු දුන්නට තවමත් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ඒ ආකාරයටම සිදුවීම බරපතළ කාරණයක්. මං කලින් කිව්ව විදිහටම වෘත්තීයවේදීන් විදිහට නීතිඥ ප්‍රජාවට වගකීමක් තියෙනවා, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න. අපි දැක්කා පහුගිය කාලෙ ඒ හැකියාව පෙන්නුම් කළා. අවශ්‍ය වෙලාවට පවතින රජයට එරෙහිව වුණත්, ජනතාවගේ පැත්තෙ හිටගෙන කටයුතු කරන්න හැකියාව, ඒ හයිය නීතිඥ ප්‍රජාවට තියෙන්න ඕනෙ. මං ඒකෙන් අදහස් කරන්නෙ හැමදේටම විරුද්ධ වෙන්න ඕනෙ කියන එක නෙමෙයි. ජනතාවගේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වෙන අවස්ථාවලදි විශේෂයෙන්ම ඉස්සරහට එන්න ඕනෙ.
ඒ වගේම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධිකරණයටත් විශාල වගකීමක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා අයිතිවාසිකම් සුරක්ෂිත වන සංස්කෘතියක් ගොඩනගන එක තමයි විසඳූම.
- ශාලික විමලසේන