සරසවි පොත්හලේ දී හමුවූ ලෝක පූජිත ලේඛකයා ?

Share post:

සතියේ සෑම අඟහරුවාදා හෝ බදාදා දින උදය වරුවේ පොතපත මිලදී ගැනීම මගේ සිරිතකි. එහිලා එහි ප්‍රමුඛතම ස්ථාන වනුයේ මහනුවර සරසවි ප්‍රධාන ශාඛාව හෝ KCC ආයතනයේ පිහිටා තිබෙන අනු ශාඛාව යි. එපරිදි ඊයේ දින එනම්, 2024 මාර්තු මස 13 වැනි බදාදා දින සුපුරුදු පරිදි පොතපත මිලගැනීම පිණිස මා මහනුවර සරසවි ප්‍රධාන ශාඛාව වෙත ගියේ ය . සාමාන්‍යයෙන් බදාදා දිනයක්හි සරසවි පොත්හල තරමක් කාර්යබහුල වන්නේ ය . ඒ කොළඹ ප්‍රධාන සරසවි පොත්සලේ සිට අලුත් පොතපත ඔවුනට ලැබෙන්නේ බදාදා දිනය. එබැවින් එහි කළමණාකරු ජගත් සමරසිංහ මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩලය එදින උදය වරුවේ අතිශයින්ම කාර්යබහුල වන්නේ ය.

මම මගේ ඉංග්‍රීසි පොපතපත තිබෙන තෙවැනි මහලට ගොස් ඇමෙරිකානු නොබෙල් සම්මානලාභී ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ විලියම් ෆොක්නර් ( William Faulkner ) විසින් රචිත REQUIEM FOR A NUN නැමති පොත ( මෙය නාට්‍යයකි ) හා තවත් ඇමෙරිකානු ජාතික ප්‍රකට
කවකතාකාරිණියක් වූ හාපර් ලී ( Happer Lee ) විසින් රචිත GO SET A WATCHMAN නැමති නවකතාව තෝරා ගත්තේ ය. ඉක්බිතිව මා දෙවැනි මහලට පැමිණියේ සිංහල ශාස්ත්‍රීය පොතපත මිලදී ගැනීම පිණිස ය.

එදින පාරිභෝගිකයන් එතරම්ම සංඛ්‍යාවක් සරසවියේ නොවීය,. එනමුත් කොළඹින් පැමිණි පොතපත පරික්ෂා කිරීම ඇතුළුව අනෙකුත් වැඩ
රාජකාරියෙහි සැමදෙනාම නියැලී සිටියහ . ඒ අතර එහි කළමණාකර ජගතා මහතා “ජේසුස් වහන්සේ සහ බුදුදහම” – 2001 නැමති සරසවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සිංහල පරිවර්තන පොතේ පිටපත් දෙකක් තම සේවකයන් දෙදෙනකු සමගින් පොත් රාක්ක පිරමින් සොයනු පෙනුණි. එය සුපුරුදු දෙයකි . එනමුත් මෙම පොතේ පිටපත් දෙකක් සොයනුයේ පැමිණ සිටි විදේශිකයකු වෙනුවෙනි.

ඔහු අවුරුදු පෙනුමෙන් අවුරුදු හැටපහක් හෝ හැත්තෑවක් පමණ වයසැති තරමක් හැඩිදැඩි විදේශිකයකු විය. මා දෙස කීපවරක් බැලූ ඔහු මුවඟින් සිනහවක් පා මට සංග්‍රහ කළේ ය . මම ද පෙරළා මුවඟින් සිනහවක් පා ඔහුට සංග්‍රහය කලෙමි. කළමණාකාර ජගත් මහතා පොත් දෙක ඔහුට දී ඔහුත් සමගින් කතාබහ කරන්නට වූයේ ය . ඉනිදු නොනැවතුණු ඔහු විදේශිකයා සමගින් පෙල්ෆි ඡායාරූපයක් ද ගත්තේ ය. මෙම විදේශීය ජාතිකයා කවරකුද ?
මට නම් මොහු, අප නිතර දෙවේලේ පාර-තොටේ දී දකින සාමාන්‍ය සංචාරකයකු සේය. මොහු අත් රහිත ඉරි සහිත බැනියමක් ඇඳ කොට කලිසමකින් සැරසී සිටියේ ය. ඉන්දියානු මෝස්තර සහිත රෙදි බෑගයක් කරේ ලා ගෙනය .

හොල්ගර් කර්ස්ටන් ( Holger Kersten )

මා පොතපත තෝරාගෙන ඉවරවී කවුන්ටරය අසළට පැමිණයේ බිල ගෙවීමට ය. එතැනදී කළමණාකරු ජගත් මහතා විසින් මොහුව මට හදුන්වාදෙන ලදි . මේ ජර්මානු ජාතික ලෝප්‍රකට ලේඛකයකු වූ හොල්ගර් කර්ස්ටන් ( Holger Kersten ) ය.

මොහු විශිෂ්ට පර්යේෂකයකු හා අභිත ලේඛකයෙකි. එසේම මොහු වතිකානුව ප්‍රමුඛ කිතුණු ලෝකයේ කැළඹීමටත් සමස්ත ශාස්ත්‍රීය ලෝකයම තමාවෙත අවධානය යොමු කරවා ගැනීමටත් වෙසෙසින්ම සමත් වූයේ ය . ඒ මොහු විසින් රචිත මහත් ආන්දෝලනාත්මක පොත් දෙකක් නිසා ය.

ඒ පොත් දෙක කුමක්ද ?

JESUS LIVED IN INDIA
His Unknown Life Before
and After the Crucifixion
Holger Kersten – 1994

THE ORIGINAL JESUS
The Buddhist Sources of Christianity
Elmar R. Gruber & Holger Kersten
1995


සිංහල පරිවර්තනය කෙබඳුද ?

ජේසුතමන් දඹදිව විසූ වගයි
පරි : භද්‍රජි මහින්ද ජයතිලක – 2000
( සරසවි ප්‍රකාශකයෝ )

ජේසුස් වහන්සේ හා බුදුදහම
පරි : කේ. ඒ. එන් ජයතිලක
( සරසවි ප්‍රකාශකයෝ )

ජේසුතුමන් තම ජීවිතයේ වැඩි කාලයක් දඹදිව විසූ බවත් ක්‍රිතුදහම බොහෝ සෙයින් පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබූ බවත් පුරාවිද්‍යාත්මක සාධක සහිතව JESUS LIVED IN INDIA පොතෙන් ලේඛකයා විසින් ඔප්පුකර පෙන්වා දී ඇත්තේ ය .

මෙම පර්යේෂණ පොත රචනා කරනු පිණිස හෙතෙම ඊශ්‍රායලය, මැද පෙරදිග, ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාවේ යන රටවල්වල සංචාරය කරමින් බොහෝ කාලයක් පර්යේෂණ පවත්වා ඇත්තේ ය .

ක්‍රිතුදහමේ මූලාරම්භය පිළිබඳව විවරණය කරන ORIGINAL JESUS පොතෙන් බුදුදහම හා ක්‍රිතුදහම අතර පවත්නා සමානකම් පිළිබඳව අගනා ශාස්ත්‍රීය විවරණයක් ලේඛකයන් විසින් කර ඇත්තේ ය .

මෙම මහත් ආන්දෝලනාත්මක පොත් දෙකම ප්‍රකාශයට පත්වූයේ 1994 – 1995 යන වර්ෂවලදී ය. එදා මෙම පොත් දෙක වෙනුවෙන් වතිකානුව ප්‍රමුඛ කිතුනු ලෝකයේ මහත් සේ කෝපාවිෂ්ට වී ලේඛකයාට විරුද්ධ පහරපිට පහර දෙන්නට වූවේ ය. පොත් දෙකේ පිටපත් මාසයකින් පමණ ලොවපුරා අලෙවි ගියේ උණුකැවුම් මෙනි. එපමණක්ද නොව පොත් දෙකකම ලෝප්‍රමුඛ පොත් දර්ශකවල ( NEWYORK BEST SELLER / SUNDAY TIMES BEST SELLER ) අලෙවි වාර්තා පිට වාර්තා තැබුවේ ය . එපමණක්ද නොව ලොව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ( විශේෂයෙන්ම TIME – NEWSWEEK , DISCOVERY, BOOK WORLD වැනි ජාත්‍යන්තර සඟරාවල )
මෙම පොත් දෙක පිළිබඳව විවිධ විචාර පළවූ බව මට හොදට මතකය . මෙරට මෙම පොත් දෙක පිළිබඳව ශාස්ත්‍රීය අතිරේකවල ලිපි කීපයක්ම පළවූ බව ද පෙනේ. එම ලිපිවලින් එකක් හෝ දෙකක් මගේ පුවත්පත් ලිපි එකතුවේ ද සුරක්ෂිතව ඇත්තේ ය .
මගේ පෞද්ගලික පුස්තකාලයේ වෙනත් ආගම් හා දර්ශනය පිළිබඳව පොතපත සහිත අංශයේ මෙම පොත් දෙක සුවිශේෂී තැනක තැම්පත්ව ඇත්තේ ය .

ජර්මනියේ ෆ්යිබර්ග් විශ්ව විද්‍යාලයෙන් දේවධර්මය ( Theology ) හා ශික්ෂණ ශාස්ත්‍රය ( Pedagogics ) යනාදී විෂයයන් පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධරයකු වූ හොල්ගර් කර්ස්ටන් යුරෝපීය ආගම් ඉතිහාස පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වන්නේ ය . ඔහු විසින් ලොව විවිධ ආගම්වල ඉතිහාසය පිළිබඳවත් විවිධ ආගම්වල දර්ශන පිළිබදව පොත් කීපයක්ම රචනා කර ඇත්තේ ය . ඔහුගේ පොත් අතර ලොව ඉමහත් කැළඹිල්ලකට හා මහත් ආන්දෝලනයකට තුඩුදුන් පොත් දෙක වූයේ JESUS LIVED IN INDIA හා ORIGINAL JESUS ය . මෙම පොත් දෙකෙහි පිටපත් මිලියන ගණනාවක් ලොවපුරා එදා මෙදාතුර අලෙවි වී ඇති අතර විදේශීය භාෂා තිස්හයකට ( 36 ) පමණ පරිවර්තනය වී ඇත්තේ ය .

හොල්ගර් කර්ස්ටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවකාරී ලේඛකයෙකි. ඔහු තම මතය වෙනුවෙන් යුරෝපයි මහා බලගතු කිතුණු සමාජය හමුවේ වුවද නොබියව හා නොසැලී පෙනී සිටියේ ය. එසේම ඔවුන් සමගින් මතවාදීව හැප්පුණේ ය. එය මට සිහිපත් කරනුයේ ඉන්දිය හා බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂ්ඩි ( Salman Rushdie ) විසින් රචිත THE SATANIC VERSES – 1981 නවකතාව හා බංගලාදේශ ලේඛිකා තස්ලීමා නස්රිනා ( Taslima Nasrin ) විසින් රචිත LAJJA – 1993 නවකතාව වෙනුවෙන් ඔවුන් ඉස්ලාම් ලෝකයෙන් ලද මරණ තර්ජන හා අභියෝගයි. මෙම ලේඛකයා එසේ මරණීය තර්ජන නොලද නමුදු ඔහු කිතුණු ලෝකය හමුවේ මුහුණදෙන ලද අභියෝග සුලුපුටු නොවූ බව නම් ඉතිහාසගත කරුණු කාරණාවලට අනුව පෙනේ.

ඒ අනපේක්ෂිත සොඳුරු හමුවීම

අපගේ හමුව විනාඩි පහ-හයකට සීමාවිය. ඊටත් ව්‍යාපාරික ස්ථානයක් වූ එතැන ශාස්ත්‍රීය සංවාදයක් සදහා ද උචිත නොවීය. ඔහු තම නම්පත ( A Visiting Card ) මට දී කියා සිටියේ ඔබවහ්සේට හැකි ඕනෑම වේලාවක පොතපත පිළිබඳව විචාර සටහනක් මවෙත එවන ලෙස යි . විචාර සටහනක් කෙසේ වුවද එම පොත් දෙක පිළිබඳව බෞද්ධ භික්ෂුවක් වශයෙන් මගේ කියවීම මතුයම් දිනෙක මම ඔහු හමුවේ තබමි.
අපි සතුටු සිතින් සමුගත්තෙමු !!

( ස්තූතිය – ජගත් සමරසිංහ මහතා )

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...