සදාචාරය සහ දුරාචාරය පිළිබඳ අලුත් ශිෂ්ටාචාරමය සිතීමක් වෙත යොමුවීමට අපට බල කර ‘ද්‍රෝහී’

Share post:

මානවකේන්ද්‍රවාදය සහ සොබාදම්කේන්ද්‍රවාදය පිළිබඳ කතිකාවට ඉතිහාසයක් පැවතියද එය සිංහල පාඨක සමාජයේ අවධානයට ලක්වූයේ මෑතකදිය. මේ සඳහා ලෝක ප්‍රකට කෘති කිහිපයක සිංහල පරිවර්තන හේතුවූ බව රහසක් නොවේ. යුවාල් නොආ හරාරිගේ Sapiens (සේපියන්ස්/සේපියන්ස්ලා), ජෝන් ග්‍රේගේ Straw dogs (පිදුරු බල්ලෝ සහ රුගර් බ්‍රෙග්මාන්ගේ Humankind (මනුසත්වග) ඒ අතරින් ප්‍රමුඛ වේ. මිනිසා මූලික කොට ගත් ශිෂ්ටාචාරමය ජයග්‍රහණ පිළිබඳ නැවත සිතා බැලීමක් වෙතට ලෝකය යොමු කිරීමට මෙම කෘති සමත් විය. ශාස්ත්‍රීය ලෝකයේ සිදුවන මෙම කතිකාව ප්‍රබන්ධ අවකාශයට ගෙන ඒමට ගත් ප්‍රයත්නයක් ලෙස කැත්ලීන් ජයවර්ධනගේ ‘ද්‍රෝහී’ නවකතාව හැඳින්විය හැකිය.

නීතිඥවරයකුගේ පරිකල්පිත චරිතාපදානයක් ඔස්සේ මෙහි කතාපුවත ගලා යයි. ක්‍රිෂ්ණ නම් වන ඔහු සහ ඔහුගේ ස්ත්‍රී පුරුෂ සබඳතා මත එය ගොඩ නැංවෙයි. මෙම ස්ත්‍රීන් අතර ගෘහණියක්, ලිංගික ශ්‍රමිකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ඇයගේ දියණිය ද වෙති. පිරිමින් අතර සමාජයේ ඉහළ තලය නියෝජනය කරන්නන් සිටී. මෙම සබඳතා හරහා ශිෂ්ටාචාරමය අර්බුදයේ විවිධ මානයන් ස්පර්ශ කිරීම කතුවරියගේ අරමුණ වී ඇත. නවකතාවේ ප්‍රධාන චරිත මානවකේන්ද්‍රවාදය බරපතළ ලෙස විවේචනය කරන්නෝ වෙති. මේ අනුව කතුවරිය විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව සැබැවින්ම දායක වී ඇත්තේ පෘථිවි තලයේ පැවැත්මටද නැතහොත් විනාශයටද , එසේම නීතිය , දේශපාලනය, පුද්ගල සබඳතා, ලිංගිකත්වය යනාදියෙහි වර්තමානයේ පවත්නේ ඇත්තෙන්ම ශිෂ්ටාචාරමය ස්වභාවයක්ද යන ප්‍රශ්න පාඨකයා ඉදිරියේ තබයි. එමෙන්ම මෙකී ක්ෂෙත්‍රවල මතුපිටින් නඩත්තු කරන ශිෂ්ටත්වයට යටින් පවත්නා අශිෂ්ටත්වයත් එහි කැකෑරෙන ප්‍රතිවිරෝධතාත් ඇයගේ අවධානයට ලක් වෙයි. කතාපුවත මුල සිට අගටම ගලායන්නේ මෙම විරුද්ධාභාසී ස්වභාවය සංවාදයට ගනිමිනි.

ද්‍රෝහී නවකතාව සදාචාරය සහ දුරාචාරය පිළිබඳ අලුත් ශිෂ්ටාචාරමය සිතීමක් වෙත යොමුවීමට අපට බල කරයි.. එය වත්මන් සදාචාරයේ නිර්ණායක ප්‍රශ්න කරයි. මේ අනුව ලිංගික ශ්‍රමිකයකු විකුණන්නේ තමන්ගේ ශරීරයයි. එය ඇයගේ / ඔහුගේ පෞද්ගලික දේපළකි. එහෙත් දේශපාලකයා විකුණනන්නේ පොදු දේපළය. එසේ නම්, සදාචාරය සහ දුරාචාරය අර්ථකථනය කරන්නේ කෙසේද ? තමන්ට තවදුරටත් ජීවත්වීමට කැමැත්තක් නොමැති නම් සියදිවි නසා ගැනීමට අයිතියක් නැත්තේ ඇයි ? එහෙත් එවිට නීතියද සදාචාරයද අවි ඔසවා ගනී. එමෙන්ම විකාරරූපී අනීතික ස්වභාවයක් පවතින විට නීතිය හැදෑරීමේ විකාරරූපීත්වයද වැරදිකාර මිනිසුන් එවැනිම වැරදිකරුවන් විසින් විනිශ්චය කරනු ලැබීමද වත්මන් ශිෂ්ටත්වයේ ලක්ෂණ වෙති. කැත්ලීන් මෙම ශිෂ්ටාචාරමය කතිකාව ආගමික දෘෂ්ටිවාද, පඨිත සහ චර්යාවන් දක්වා ව්‍යාප්ත කරයි. මෙහිදී ඇය ආගමික පඨිතවල පවත්නා ප්‍රතිවිරෝධතා වෙතද ශික්ෂාපද එලෙසම අනුගමනය කිරීමේ ගැටලු වෙතද අවධානය යොමු කරයි.එක් චරිතයක් මෙසේ පවසයි ” පන්සල්වලින් ඇර අපාය දකින්න වෙන විදිහක් නෑ.” මෙය අතිශයින් තියුණු හැඟවුම් අර්ථයක් දනවන ප්‍රකාශයකි. තවද, මෙම ශිෂ්ටාචාරමය කතිකාව තුළ විවාහය , මූලික අයිතිවාසිකම් , සත්ව හිංසනය, පාරිසරික ගැටලු, දෙවියන් , සොබාදහම , නිර්ආගමිකත්වය, මරණය ක්‍රියාකරන ආකාරයේ ශිෂ්ටත්වය හෝ අශිෂ්ටත්වය විනිවිදීමට කතුවරිය අපට ආරාධනා කරයි. ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය අතර පවත්නා මෙම පටලැවිල්ල නිසා බොහෝදුරට අපට අප අහිමි වෙමින් තිබේ. අපට අප දකින්නට හැකිවන්නේ අනෙකෙකු හරහාය. එහෙයින් සියල්ලන් සියල්ල දැන සිටියත් වෙනසක් සිදු නොවේ. මෙය සැබැවින්ම වත්මන් සමාජ දේශපාලනය ද තමා මෙන්ම අනෙකාද තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය කතිකාවකි.

කතුවරිය මෙම කතාපුවත ඉදිරිපත් කිරීමේදී අන්තර්පඨිතමය ආඛ්‍යාන රටාවක් වෙත නැඹුරු වෙයි. එහෙයින් ලෝක ප්‍රබන්ධ සාහිත්‍යයේද දාර්ශනික සහ ආගමික චින්තාවන්ගේද උපුටන, ප්‍රකාශ සහ අදහස් අපට මෙහිදී මුණගැසෙයි. ශිෂ්ටත්වයේ ව්‍යාජය හඳුනා ගැනීමට එමගින් මහඟු සහායක් ලැබෙයි. එහෙත් ඇතැම් විට සමාජ දේශපාලනික විග්‍රහයන්ගේ පවත්නා අමු ස්වභාවය කැත්ලීන්ගේ ප්‍රබන්ධාත්මක ප්‍රවාදයට බාධාවක් වේ. මේ නිසා පාඨකයාගේ පරිකල්පනාත්මක කියවීමට ඇති ඉඩ ඇහිරී යයි. මෙය මෑතකාලීන සිංහල නවකතා ගණනාවක දක්නට ලැබෙන තත්ත්වයකි.
අප ද්‍රෝහී වන්නේ කවරෙකුටද කුමකටද? පරිසරයටද, අනෙකුත් ජීවීන්ටද, ජීවිතයටද, ආදරයටද, විවාහයටද සමීපතමයන්ටද ලිංගිකත්වයටද, මරණයටද නැතහොත් තමාටමද?ද්‍රෝහී බව මේ ශිෂ්ටත්වයේ අවියෝජනීය අංගයක්ද? සෘජු පිළිතුරු නොමැති මේ ප්‍රශ්න සමඟ පොරබදන්න ප්‍රබන්ධමය අවකාශයක් සැපයීම වෙනුවෙන් කැත්ලීන් ජයවර්ධනට අපගේ ස්තූතිය .

උදිත අලහකෝන්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...