සිය නාමකාය ඉතිරි කර භෞතිකකායෙන් නික්මයන රම්‍යා…

Share post:

රම්‍යා ඇන්ටී සිය භෞතිකකාය හැර ගිය බව, සැලවීමත් සමඟ මගේ මතකය සොයිසාපුර ගෙවුණු ජීවිතය කරා දිව ගියේ ඇසිල්ලකින්. එකල සොයිසාරාම විහාරස්ථානයේ දහම්පාසලේ ශිෂයන් වූ අප කලා උලෙළක් සංවිධානය කරනවිට නැතුවම බැරි චරිතයක් වූයේ ආර්.ආර් සමරකෝන් අංකල් ය. ඒ අය අතර, සයිමන් නවගත්තේගම අංකල්, සුගතපාල ද සිල්වා අංකල්, නිශ්ශංක දිද්දෙණිය අංකල්, හා අතුල අයියා හෙවත් චන්ද්‍රගුප්ත තේනුවර අයියා නැතිවම බැරි චරිත විය.

නාට්‍ය පිටපත් රචනා තරඟයේ පිටපත් තේරීම බාර වූයේ ආර්.ආර්. සමරකෝන් අංකල්ටය. නිවේදන කටයුතු සඳහා සොයුරු සොයුරියන් පුහුණු කිරීම හා ඊට අවශ්‍ය දැනුම්වත් කිරීම සිදු කළේ රම්‍යා ඇන්ටීය. හඬ සහ වචන උච්චාරණය පිළිබඳ අප දැනුම්වත් කළ එතුමිය. අපට සංග්‍රාහ කිරීමටද අමතක නොකළාය. ඇය ඉතාම කාර්‍ය බහුල ස්ත්‍රියක වූ අතර අප වෙනුවෙන් ඇය කාලය යෙද වූයේ ඇයට දිනයේ කප්පරක් කටයුතු මැද හුෂ්මක් ගැනීමට ලැබුණු ඇසිල්ලේය.
එකල ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ඇය වෙනමම අනන්‍යතාවක් සලකුණු කළ අතර, මට මේ දැනුත් ඇගේ හඬ සිහිනයෙන් මෙන් ඇසේ….රාජකාරී කප්පරක් ඔළුවේ රඳවාගෙන ඉතාම වෙහෙසකර ජීවිතයක් ගෙවූ ඇය යම් නිදහසක් භුක්ති වින්දා නම් අවසන් කාලයේ විය යුතුය. මේ කප්පරක් රාජකාරී හිසින් දරා මඟ දිගේ ඇවිද යන ඇයට සිනහව අමතකව තිබිණි. එනිසා එකල බොහො දෙනා ඇය ආඩම්බරකාරී ස්ත්‍රියක ලෙස සැලකුවාය. එහෙත් ඇයට සමීප වූ අප ඇය කරුණාවන්ත ස්ත්‍රියක බව දැනසිටියා…

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය කොළඹ ජාතික රෝහලේ රැඳි සිටියදී අද (08) උදෑසන මෙලොව හැරගියාය. අභාවප්‍රාප්ත වන විට ඇය 73 වන වියෙහි පසුවූවාය.

ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය, වේදිකා, ටෙලි නාට්‍යය, මෙන්ම සිනමාවේද සිය රංගන ප්‍රතිභාව මොනවට ප්‍රකට කළාය.
ඇයගේ ස්වාමි පුරුෂයා වූ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් (2010 මිය ගියේය) විසින් අධ්‍යක්ෂණය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතයට පණ පොවමින් ඇය ජනාදරයට පාත්‍ර වූවාය.

ඔවුන් දෙපලට බුද්ධිකා මුදිතානි නම් දියණියක සිටියාය. බුද්ධිකා නංගී කුඩා වියේදීම කැලණි පාලමේ “සුරංගනී” ලෙස රගපෑවාය. ඈ මේවනවිට ඇඳුම් නිර්මාණකරණයේ නිරතව සිටින්නීය.

කෑගල්ල කොටියාකුඹුරේදී සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලක පස්වැන්නා ලෙස මෙලොව එළිය දුටු රම්‍යා වනිගසේකර ගේ පියා වතු අධිකාරීවරයෙකු විය. මව ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි. පාසල් රැසකට ඇතුළත් වූ ඇය අවසානයේ රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය.

1974 හෙවායෝ වේදිකා නාට්‍යයෙහි පසුබිම් ගායිකාවක් ලෙස වේදිකාවට බට ඇය 1976 දී රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්තයා‘ සුළු චරිතයක් රඟපෑ අතර එය ඇගේ මුල්ම රංගනය වූවාය. ඉන්පසුව අංගාරා ගඟ ගලා බසී නාට්‍යයෙහි කේමදාසයන්ගේ පසුබිම් ගීත ගායනා කිරීමට ඇයට අවස්ථාව හිමි විය . ඇය එම නාට්‍යයේ ද ඇතැම් අහඹු අවස්ථාවල රඟපෑවාය.

නාට්‍යයේ 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මන රංජන වැඩ වර්ජන “ගුණවතී” චරිතයට පණ පොවමින් වේදිකාවේ සිය අනන්‍යතාව ප්‍රකට කළාය. ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි ගැබිණියක් වූ නිසා කැලණි පාලමේ “මැටිල්ඩා” චරිතය සඳහා නිෂ්පාදක (එවක සැමියා නොව) ආර්.ආර්. සමරකෝන් විසින් ඇයට එම අවස්ථාව ලබාදුන්නාය. ඉන් අනතුරුව ඇය සමරකෝන්ගේ අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) සහ රජ කතාව (1991) යන නාට්‍යවලට රංගනයෙන් දායක වූවාය. පසුව
සඳ කිඳුරි , මුහුදු පුත්තු , මා හේනේ රීරි යකා , ලියතඹරා , සිරි සඟබෝ සහ හිරු නැති ලොව යන නිරමාණ සඳහාද ඇය දායක විය.
1981 සිට ඇය 2006 විශ්‍රාම යන තෙක් ගුවන්විදුලි සංස්ථාවේ නිත්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඈ ගුවන්විදුලි A-ශ්‍රේණියේ නූර්ති ගායිකාවක් ද වූවාය.

කන්දේ ගෙදර , පළිඟු මැණිකේ , මැණික් නදිය ගලා බසි , දෙනුවර මැණිකේ , පබා , අලුත් ගෙදර සහ යෙස් බොස් ආදී ටෙලිනාට්‍ය ගණනාව චරිත නිරූපනයෙන් රසික හදවත්වල මුද්‍රා තැබූ

සිය බරසාර ස්ත්‍රී හඬ පෞරුෂය තුළින් මෙරට එක් යුගයක් නියෝජනය කළාය. කිසිදා අමතක නොවන මතකයක් ඉතිරි කර නික්ම යන ඇයට
ඇය පැතූ අයුරින්ම වේවායි! ප්‍රාර්ථනා කරමි.

රසික කොටුදුරගේ

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...