“අපට සිටින ප්‍රේම කාව්‍යකරණයෙහි අති නූතන කවියකු ලෙස සෞම්‍ය හඳුන්වා දිය හැකියි”

Share post:

කවියෙහි ආත්මය හඳුනාගත් නිර්මාණකරුවකු ලෙස සෞම්‍ය සඳරුවන් ලියනගේ හඳුන්වාදීමට මා කැමැත්තෙමි.
කවියාගේ ආත්මය කවි බසට නැගීමට මෙහිදී කවියා සමත්වීම වෙසෙස් වෙයි,

ප්‍රේමය පිළිබඳව චෛතසිකයේ නග්න හැඟීම් ප්‍රේමාතුර කවියකු බවටත් දැමුණු ශාන්තුවරයකු බවටත් පත් කළ හැක්කේ ජීවන පරිඥානයෙනි.
ඔමාර් කයියාම්, රූමි,කලිල් ජිබ්‍රාන් වැනි කවීන් වාස්තවික කවිය ආලිංගනයට ලක් කළ සාහිත්‍ය නිර්මාණකරුවන් වෙයි.

සෞම්‍ය අපට සිටින ප්‍රේම කාව්‍යකරණයෙහි අති නූතන කවියකු ලෙස හඳුන්වා දිය හැක.
කාලිදාසගේ මේඝ දූතය පෙරදිග කවියේ ආධ්‍යාත්මිකත්වය මොනවට ඉඟි කරන්නේ යම් සේද,
පෙරදිග ඥාන මාර්ගය ඇසුරෙහි වැඩෙන කවියා සිය ආධ්‍යාත්මය කවි බසට නගයි.

“සංසාරයම නිවන
ඇසිල්ලක සිසිලසේ කිඳෙමි
සකලවිධ සන්තාප අතැ’ර
මොහොතක් පෙමින් වෙළෙමි…
රුදු කටුක සියවසක
වේදනා කප්පරක්
ඒ ඇසිල්ලෙහි නුඹට කියමි
….”නිවීමෙහි දැවීම ම නිවීම ය.
දැවීමක නිවීමද දැවීමය;
නිවීමය – දැවීමය කියා වෙනසක් නොවන
මේ මොහොත කල්පයක නිමාවය…”
(01 වැනි කවියෙන්)

ප්‍රේමයේ විප්‍රයෝගය විරහව කවියා සිය ආත්මය බවට පත් කර ගන්නේ චෛතසිකය තුළ ධාරණාවන් පරිපාකයකට පත්වන්නට ඉඩ හරිමිනි.

“නිසල සේයාරූ ඇත
බොහෝ අය ජීවත් වන
අහඹු සැමරුම් අතරින්
සිනහා කටහඬ රැව් දෙන”
(02 වැනි කවියෙන්)

කවියා මතක රූපවත් ලෝකය තුළ සැමරුම් ලෙසින් ස්මරණයට නගන්නේ කටහඬ වීම අපූර්වත්වයයි. චිත්ත රූප මවන කවි මගක පිළිපන්
සිත්තරෙකි.

තවත් කවෙක ප්‍රේමය අර්ථ දක්වන්නේ,

“නිති දවන තනිකමක
ගිනියමට
ළං ළං ව
දැවී හළු වී ඉන් ම නිවීමය”
(03 වැනි කවියෙන්)

තවත් කවක,

“අතීතෙක බර දරන සුසුමක
කුණාටුවකින් ඇවිළෙමි”
(05 වැනි කවියෙන්)
යයි තවරයි.

ප්‍රේමය රුදු තනිකම කවියාගේ බලාපොරොත්තුවේ සහන් එළියක්ම බව අපට දල්වයි.

“නොවැරදි නුඹ දිනෙක
එතැ’යි අතැඟිලි ගණින
කල්පයක ඇසිල්ලකි
මේ විසල් තනිකම ද…..”
(10 වැනි කවියෙන්)

පෙමාතුර හැඟුම් මිනිසකු කවියකු බවට පත්කරන්නේ කෙලෙසදැයි කවියා සෞම්‍යවත්ව අපට ඉඟි කරයි.

“බොහෝ හිස්තැන් අතර
ඇතැම්විට යම් දිනෙක
අප දේ යළි කොහේ හෝ හමුවේවි
සමහර විට නොවේවි”
(19 වෙනි කවියෙන්)

කෘතිය පුරා සෙවනැල්ල සේ ඇදී යන ප්‍රේමාන්විත මතකය ඉන්ද්‍රජාලික චිත්‍රයක් අප මනසේ මවයි.

“ආගිය තැනක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරණි මතක අරණක
දැන දැන අතරමං වෙමි”
(20 වැනි කවියෙන්)

ජීවිතය වූ කලී අපූර්ව වූ සාදයකි.
තිත්ත යුෂ පැණි පවා ඉහිරවන මධු සාද තෙපුල් අතර කවියා සිය අව්‍යාජත්වයට විවෘත වෙයි.

“සාදයක මී විතක
ජීවිතය ඉහිරවා
ජෝති හා මිල්ටන් ද
නැවත කැඳවිය යුතුය”
(26 වැනි කවියෙන්)

ජීවිතය යළි යළි ස්මරණය කරන පෙම්වතුන් ආදරය තුළ බහාලන ජීවිතය තුළම විටක සිරව කෝෂයක් නිර්මාණය කර ගනී.

“ගැඹුරු දෙඇසක රැඳුණු
විසල් අහසක කොනක
මුදු සිනිදු මදහසක සිරගතව
කිසි දිනක හෙළි නොකළ
ආදරය දැනෙන තැන් තිබිය හැක”
(29 වැනි කවියෙන්)

සුහුඹුලෙන් පියාපත් ලබන අප වර්ණවත් සමණලයෙකුව සිරිපා ගමනට පිළිපන් බව පසක් වන කවෙකි මේ,

“බොහෝ මායිම් පිරුණු
අතීතය වළදැමෙන
උස්ව නැගි මහ පවුරු
ඉරි තැලී මහ හඬින් ඇද වැටෙන
යම් දිනෙක
කොහේ හෝ යම් තැනක
අපට අප යළිදු මුණගැසෙනු ඇත”
(30 වැනි කවියෙන්)

පවුරු පදනම් විරහිත සාර්ව කෙම්බිමක පහස සොයන කවියා

“ජීවිතය කියන්නේ
ඉතා කෙටි කවියක්ය
බොහෝ සැමරුම් පිරුණු
මහා දිග මොහොතක්ය
කෙලෙස කිකලෙක කොතන
නතර වී යා යුතුද
කියා කිසිවකු නොදත්
දුර ඈත ගමනක්ය”
(32 වැනි කවියෙන්)

කවියාගේ ආත්මය තුළ නැවත නැවත පුනරුච්චාරණය වෙමින් අපට හඟවන මිනිස් කටහඬ මගහැරයා නොහැකි ආස්ථානයක් ලෙස
හඳුනාගත හැකි වෙයි.

“නුඹේ ඒ කටහඬ
බොහෝ දුර
අතීතෙක සිට ඇසෙන
දුර ගෙවා මෙහි පැමිණ
හදවතේ සියුම් තැන් පිරිමදින
මහ දුරක් මා සමග ඇවිද යන”
(35 වැනි කවියෙන්)

කවියකුගේ හදවත විවර කර බැලිය හැකි කවි මඟක ආත්මය සෞම්‍ය සතු වෙයි.

“වචන ඇහිරුණු කවක
අතරමැද වුව සබඳ
ඇතැම් හිස්තැන් තිබේ
කිසිවකුට හෙළි නොවුන”
(37 වැනි කවියෙන්)

ඒ හදවත තුළ සඟවා ගත් තුහීන හැඟීම් තවත් කවියක අකුරු කරනු ඇත.
නමුදු එතෙක්,

“වදන් තවරා හැඩට
රිදුම් විකුණූ පසුව
ඉතින් කවියනි හොඳට
නින්ද යනවද රෑට ?”
සෞම්‍ය සඳරුවන් ලියනගේ ඔබෙන් අසා ඇත.(18 වැනි කවියෙන්)

ෂර්ලි සමරසිංහ

2024 03 08.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...