ග්ලැඩියේටර්ස් සිට මාර්වල්ස් දක්වා

Share post:

ලංකා ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් වල නම් යළිත් වෙනස් වෙලා.
මේ අනුව “ගෝල් ටයිටන්ස්” (Galle Titans) කණ්ඩායම නව කළමනාකාරීත්වයක් සමග “ගෝල් මාර්වල්ස්” ලෙස වෙනස් වීමට නියමිතයි.

මීට අමතරව තවත් කණ්ඩායමක නමක් ද වෙනස් වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මේ සිදුවීම් එක්ක අනාගතයේ දී ලංකා ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් වලට දා හැකි නම් අවසන් වීමේ අවදානමක් පවතින බවට මිතුරෙක් ලියලා තිබුණා.
හාස්‍යය මුසු වූ ඒ කතාවේ සත්‍යතාවයක් නැතුවාම නොවෙයි.

LPL තරගාවලියේ “ගාල්ල” නගරය නියෝජනය කරන කණ්ඩායම මෙතරම් අස්ථාවර වීමේ වගකීම නම් සම්පූර්ණයෙන්ම භාරගත යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.

LPL ආරම්භයේ දී එයට පැමිණි ස්ථාවරම හිමිකරුවා හිටියේ ගෝල් කණ්ඩායමට.
ඒ පකිස්තාන ප්‍රීමියර් ලීගයේ ද කණ්ඩායමක් හිමි නදීම් ඕමාර් නම් පකිස්තාන ව්‍යාපාරිකයෙක්.

LPL දෙවන අදියරේ දී, සිදු වූ මූල්‍ය පාඩු නිසා සෙසු සියලු හිමිකරුවන් කණ්ඩායම් හැර දා ගියත් නදීම් ඕමාර් එසේ කළේ නැහැ.

ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් භාවිතා කළේ මුදල් ඉපැයීමටම නොවෙයි.

ඔහුගේ ප්‍රධාන කණ්ඩායම තිබුණේ පකිස්තාන ප්‍රීමියර් ලීගයේ. ඒ ක්වෙටා ග්ලැඩියේටර්ස් (Quetta Galdiators) කණ්ඩායම.
ඒ කණ්ඩායමට ක්‍රීඩකයන් ගෙන ඒමට සිදු කරන පෙර පුහුණු තරගාවලියක් ලෙස ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම භාවිතා කළා.

එහි පුහුණුකරුවන් ලෙස කටයුතු කළේත් ක්වෙටා කණ්ඩායමේ කාර්ය මණ්ඩලයමයි.
මෙය දෙපාර්ශවයටම ජයග්‍රාහී ගණුදෙනුවක් වුණා.

පාඩු ලැබූවත් හැර නොයන, ස්ථාවර හිමිකරුවෙක් ලංකා ප්‍රීමියර් ලීගයට ලැබුණා.

සිය ප්‍රධාන කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායමක් නදීම් ඕමාර් ට ලැබුණා.
මේ ගණුදෙනුව බිඳ දැමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.

මෙරට විපක්ෂයේ ප්‍රබලතම තනතුරක් දරනා දේශපාලකයෙකුගේ ඥාතියෙක් සිටියා.
ඔහු ඥාතීත්වයෙන් මේ දේශපාලන නායකයාගේ මස්සිනා වුණා.

ඔහු මිලියනපතියෙක්. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයටත් සම්බන්ධයි.
සිය ඥාතියා (මස්සිනා) නායකත්වය දරන පක්ෂයෙන් අනාගතයේ දී ගාල්ලෙන් ඡන්දය ඉල්ලීමට ඔහුට අදහසක් තිබුණා.

මේ සදහාත්, ව්‍යාපාර උදෙසාත් ඔහුට LPL කණ්ඩායමක් අවශ්‍ය වුණා.
එහිදී ඔහුට අවශ්‍ය වුණේ ‘ගාල්ල’ කණ්ඩායම.

ඒ වනවිටත් හිමිකරුවන් හැර ගිය කණ්ඩායම් කිහිපයක් තිබුණත්, ඔහුට අවශ්‍ය වුණේ ස්ථිර හිමිකරුවෙක් සිටිනා ගාල්ල කණ්ඩායමමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල දී ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

අවසානයේ මේ ව්‍යාපාරිකයා සිය දේශපාලන ඥාතියාගේ පිහිට ඉල්ලුවා.

දේශපාලකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම පුටුවකට කතා කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුටු රැකෙන්නේ සබඳතා ඔස්සේ ය යන්න බොරුවක් නොවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම පුටු වලට, අනාගතයේ රාජ්‍යයේ නායකයා විය හැකි මේ දේශපාලන නායකයා තරහා කරගැනීමේ උවමනාවක් තිබුණේ නැහැ.
අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් නදීම් ඕමාර්, ගෝල් කණ්ඩායමෙන් එලවා දැමූවා.

ගෝල් කණ්ඩායම අදාල ව්‍යාපාරිකයාට ලබා දුන්නා.

අවසානයේ ලංකා ප්‍රීමියර් ලීගයට සිටි එකම ස්ථාවර හිමිකරුවාත් අහිමි වුණා.

නව හිමිකාරීත්වයට ලංකා ප්‍රිමීයර් ලීගයෙන් අපේක්ෂා කළ ලාභය ඉපැයීමට හෝ දේශපාලනික වාසිය අත්කර ගැනීමට නොහැකි වුණා.
එමෙන්ම හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇති වූ ගැටුමේදී, අදාල දේශපාලන නායකයා ගත්තේ ඇමති රොෂාන් ගේ පැත්ත.
ඔහු පාර්ලිමේන්තුවේ දී දැඩිව ක්‍රිකට් පරිපාලනය විවේචනය කළා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එම දේශපාලකයා සමග විරසක වීමට හේතුවක් වුණා.

එම නිසා ඔවුන් ගාල්ල කණ්ඩායමෙන්, දේශපාලකයාගේ මස්සිනා එලවා දැමීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අදාල ව්‍යාපාරිකයාත්, තමන් පාඩු ලැබූ ක්‍රිකට් ලීග් ව්‍යාපාරයෙන් ඉවත් වී තිබෙනවා.
‘ගෝල් ටයිටන්ස්’, ‘ගෝල් මාර්වල්ස්’ වෙන්නෙ එහෙමයි.

වාරයෙන් වාරයට කණ්ඩායම් වල නම් සහ හිමිකරුවන් වෙනස් වන මෙවන් විහිලු සහගත ලීගයක් ලොව තවත් නැහැ.
එයට හේතුවක් තිබෙනවා.

ලංකා ප්‍රීමියර් ලීගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හුදෙක් මුදල් ඉපැයීමේ ව්‍යාපාරයක්ම පමණයි.
එවැනි ලීගයකින් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ගත හැකි අවම හෝ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ උණන්දුවක් හෝ උවමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැහැ.

ඉන්දීය ප්‍රීමියර් ලීගයත් ව්‍යාපාරයක්.

එහිත් තරග පාවාදීම් සිදුවෙනවා. එහිත් කළු සල්ලි සුදු කෙරෙනවා. එහිත් අල්ලස් – දූෂණ පවතිනවා.

නමුත් ඉන්දීය ප්‍රීමියර් ලීගයෙන් ලබා ගත හැකි ප්‍රයෝජනය ඉන්දියාව ලබා ගන්නවා.

ඉන්දීය ප්‍රීමියර් ලීගය ඔස්සේ ක්‍රීඩාව දුෂ්කර ප්‍රදේශ වලට ව්‍යාප්ත වී තිබෙනවා.

බොහෝ යොවුන් ක්‍රීඩකයන් ආර්ථික වශයෙන් සවිමත් කෙරෙනවා.

ඔවුන්ට අවස්තාවන් ලැබෙනවා.

ඒ ඔස්සේ උපයන මහා මුදල් සම්භාරයෙන් ඔවුන් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවම මිලට ගෙන තිබෙනවා.

ගෝලීය ක්‍රිකට් අධිරාජ්‍යය ඉන්දියාව වටේ කේන්ද්‍ර ගත කර තිබෙනවා.

ඒ සියල්ල ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් දැඩිව නිරීක්ෂණය කරනවා.

නමුත් මෙරට ක්‍රිකට් ආයතනයට, ලංකා ප්‍රිමියර් ලීගය මුදල් ගැරීමේ ඉල්ලමක් සහ මිතුරන්ට සංග්‍රහ කිරීමේ අවස්තාවක් පමණයි.

යම් කිසිදිනෙක ඉංග්‍රීසි ශබ්දකෝෂයේ වචන අවසන් වනතුරුම LPL කණ්ඩායම් නම් වෙනස් වීමට හේතුව එයයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb) 2024. 03. 07

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...