“මේක නවකතාවක් නෙමේ නවකතා ලියන්න උගන්වන ඉස්කෝලයක්..”

Share post:

අමරකීර්තිගෙ කැළලිකාරයෝ ඇතුළු තවත් සහෘදයන් ගණනාවකගෙ නවකතා හා කෙටිකතා පොත් රැසක් මගේ මේසෙ උඩට වෙලා දැන් සෑහෙන කාලයක්.
ඉඩක් ලැබුණ වෙලාවල්වල ටිකෙන් ටික කියවල කැළලිකාරයෝ නං අද අවසන් කරගත්ත. කියවල ඉවර වුණ ගමන්ම යමක් ලියන්න කල්පනා කළේ කාරණා දෙකක් නිසා. එකක් තමා අතපසු වීම. අනික හිතට ආපු අදහස් ටික අමතක වීම.

කැළලිකාරයෝ ගැන මගේ හිතේ ගොනු වුණේ මේ වගේ සිතුවිලි ටිකක්….
කැළලිකාරයො කතාවෙ එන රැඩිකල් චිත්‍ර ගුරුවරයා වන සුරංජනගේ මුවට අමරෙ මෙහෙම වචන ටිකක් නංවනව.. “මේක තොල් දෙකක් නෙමේ කිස් කරන්න උගන්වන ඉස්කෝලයක්..”

සුරංජන මේ වචන ටික කියන්නෙ බොහොම පෙරුම්පුරල පෙරුම්පුරල දීපිකාගෙ දෙතොල සිපගත්තු වෙලාවෙ.
කැළලිකාරයෝ කියවල ඉවර වුණහම මගෙ හිතේ ලියවුණෙත් ඒ වගේම අදහසක්. ඒක වචන වලට නැඟුවොත් මෙහෙම කියන්න පුළුවන්..
“මේක නවකතාවක් නෙමේ නවකතා ලියන්න උගන්වන ඉස්කෝලයක්..”

මම මේ අදහස පළ කරන්නෙ නවකතාවෙ වස්තුවිෂය හෝ තේමාව ගැන පමණක් සලකලා නෙවෙයි. ඇත්තම කියනවා නම් කැළලිකාරයො කතාවෙ එන කතන්දරය ඉක්මවා ගිය ප්‍රබන්ධමය ගුණාංග විසින් මගේ හිත පැහැරගනු ලැබීමේ ප්‍රතිඵලයක් හැටියටයි මම මේ සටහන ලියන්න පෙළඹුණේ.
අනිත් හැම නවකතාවකම වගේ කැළලිකාරයො කතාවෙත් කතන්දරයක් තියෙනව. ඒ කතන්දරේ තමයි පාඨකයව අල්ලලා බැඳ තබාගන්න වරපට. පාඨකයා මන්දෝත්සාහි වෙනව හරිහමන් විදිහට කතන්දරයක් අහුවෙන්නෙ නැති වුණහම.

මොන රටාවෙන් ලිව්වත් නවකතාවකට ප්‍රබන්ධමය ගුණයක් එක් කරන්න නවකතාකාරයො මහන්සි වෙන්නෙ ඒකයි.
දීපිකා, සමින්ද, ගිමිහානි, දයාවංශ, ආදිත්‍ය වගේ ප්‍රබල චරිත සමූහයක් හවුල් කරගෙන අමරෙත් අපූරුවට ඒ වැඩේ කරනව.

හැබැයි කැළලිකාරයො කියවද්දි නිරායාසයෙන්ම මගෙ හිත ඇදිල ගියෙ කතාව ලියල තියෙන විදිහට. ඒක එක්තරා විදිහක සාමුහික වැඩක් වගෙයි. හරියට නාට්‍යයක් වේදිකාගත කරන අධ්‍යක්ෂවරයෙක් වගේ කතාකාරයා ප්‍රබන්ධකරණයේ යෙදෙන්නෙ කණ්ඩායම්වාදී හැඟීමකින්.

මෙන්න ඒකට එක නිදසුනක්. 290 පිටුවෙ ආදිත්ති හා නිර්මලා නමින් එන 33 වන පරිච්ඡේදය ඇරඹෙන්නෙ මෙහෙමයි.. “මේ කතාවෙ තීරණාත්මක අවස්ථා කිහිපයක් හදිසියේ ඇති වුණේ අපි කතාව කියවගෙන ආ පිළිවෙළට බාධා කරමින්. කතාවකට සිදුවීමක් එන විට එය කරදරයක් කියන්නෙ ඇයි? ගලාගෙන යන්න දෙමු. ජීවිතේ එහෙමනෙ. එකම දේ එක මත එක එක වර වාක්‍ය ගොඩක් දරාගන්න පොත් පිටුවකට බැරි එක.”

කතන්දර කලාව ගොඩනැගෙන්නෙත් සාමුහික වැඩක් හැටියටනෙ. සවස් කාලවල ගෙවල් වලට ගිහින් කතන්දර කියන වෘත්තීය කතන්දරකාරයන් ඉස්සර දකුණු පළාතේ හිටපු බව වික්‍රමසිංහ සූරීන් කියනව. ඒ උදවියට බතින් බුලතින් සංග්‍රහ කරල සුළු දීමනාවකුත් දුන්නලු ඒ කාලෙ.
කතා කීමේ කලාවෙ මූලාරම්භයත් එක්ක මොකක්දෝ නෑකමක් කැළලිකාරයෝ නවකතාවෙත් තියෙනව කියල මට හිතුණෙ වික්‍රමසිංහ සූරීන්ගෙ ඒ ප්‍රකාශයත් එක්ක.

හැම මිනිහෙක්ගෙ නැත්නම් ගැහැනියෙක්ගෙම ජීවිතවල සැඟවුණ කතාවක් තියෙනව කියන එකයි කැළලිකාරයෝ මගින් අමරෙ හඟවන්නෙ.
විහඟ කියන යෞවනයා තමා මේ කැළලි සිතුවමට නගන සිත්තරා. කැළලි සිතුවමට නැඟීම විහඟගෙ විෂය කියලයි ලේඛකයා සඳහන් කරන්නෙ. වරෙක විහඟ ඔහුගේ සිතුවම් මගින් සමාජය මුලා කරනවා. ඒ වගේම විවිධ බලවේග විසින් විහඟගේ හැකියාවෙන් අයුතු ප්‍රයෝජන ගනු ලබන ආකාරයත් අපට දකින්න ලැබෙනවා.

කතාව යටින් හීන් හුයක් වගේ විහඟගෙ කැළැල් විෂයත් ගලා යෑමට සැලැස්වීම මගින් නවකතාවට නව සංකේතාර්ථයක් එක් කිරීමට කතුවරයා සමත් වෙනවා.

ලේඛකයෙකුට තම පාඨකයාව අභ්‍යාසයකට කැඳවීමේ හැකියාවක් තිබිය යුතුයි. කැළලිකාරයෝ මගින් ලියනගේ අමරකීර්ති ඒ කාර්යය මනාව ඉටු කරන බවක් දකින්න ලැබෙනව.

විෂයපථ ගණනාවක් හමු වෙනව මේ කතාව ඇතුළෙ. කතාව ගොඩනැගෙන්නෙ සිතුවම් කලාවේ සිට කාය හා මනෝ විද්‍යා, දර්ශනය වැනි ඉසව් කරා දිවෙන පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරමින්.

නිදසුන් වශයෙන් ගත්තොත් දීපිකාගෙ හදවතයි-සිරුරයි දෙකම දිනාගත්ත මහාචාර්ය ආදිත්‍යගේ දෙසුම් ඔස්සේ ලේඛකයාගේ ඥාන ගවේෂණයේ දිග පළල මැණගන්න පුංළුවන්.
“ඔය වගේ විද්‍යාඥනයො මනුෂ්‍ය ස්වභාවය සත්ත්වමය එකක් කියද්දි සමාජීය විද්‍යා පැත්තෙන් කියවුණේ මනුෂ්‍ය ස්වභාවය කියල ස්වභාවික එකක් නෑ. හියුමන් බීන්ස් ආ අ ප්‍රඩක්ට් ඔෆ් කල්චර් කියල..”

මෙවන් විවාදාත්මක මතිමතාන්තර රැසක් විටින් විට සාකච්ඡාමය ස්වරූපයෙන් මතු කෙරෙනව. පාඨකයා සහෘදයන්ට පමණක් නොව ලේඛක සගයන්ටත් මෙවන් ඥාන විභාග මගින් අමරකීර්ති අවධාරණය කරනුයේ සතතාභ්‍යාසයේ වැදගත්කමයි.

කැළලිකාරයෝ නවකතාවේ එන ඇතැම් පරිච්ඡේද කතාවෙන් පිටතට ගත්තොත් කෙටිකතා හැටියටත් වෙනම රස විඳින්න පුළුවන්.

ටෝනි සහ පෙම් තිළිණ නම් 9වන පරිච්ඡේදය හා උද්‍යානයක නම් 29වන පරිච්ඡේදය ඊට කදිම නිදසුන්. නවකතාවේ මා වඩාත්ම ආසා කරන පරිච්ඡේදයත් දිපිකාගේ හා මහාචාර්ය ආදිත්‍යගේ සුන්දර ප්‍රේම වෘත්තාන්තයට මුල පිරෙන එම උද්‍යාන සවාරිය.

පරිසර සුන්දරත්වයට ස්ත්‍රී සුන්දරත්වය මුසු කරමින් ලේඛකයා මවන්නේ චිත්තාකර්ෂනීය රූප සටහනක්.

“පුංචි කඳු බෑවුමක වූ මිවන පැලයක් ගලවන්නට නැවතුණ ඇය දෙස ඔහු ඈත සිට බලා සිටියේ මනුෂ්‍ය ශරීරයක විලාසයෙන් පහළ වූ කවියක් නරඹන්නාක් සේ. සුන්දර ගැහැනියකගේ රූ සිරි වඩා හොඳට පෙනෙන්නේ මඳ දුර රූපයකට නොවේදැයි ඔහුට සිතුණා.

කවර කෝණයකින් බැලුවත් ලාවණ්‍යයෙන් යුත් හැඩ තල ස්ත්‍රී ශරීරයෙහි පිහිටන ආකාරය මනුෂ්‍ය ස්වභාවය ගැන විද්‍යාත්මක ඉගැන්විම් කිසිවකට හසු කරගත නොහැකි සමස්තක්….”

මෙවන් බස් හරඹ මෙන්ම නැවුම් උපමා රූපකත් කැළලිකාරයෝ නවකතාවේ අඩුවක් නැහැ. ලියනගේ අමරකීර්ති සිය මනරම් ලේඛන රටාවත්, විෂයඥානය මතු නොව ප්‍රබන්ධ සූරත්වයත් කදිමට මුසු කරමින් ලියූ අපූරු නවකතාවක් ලෙස මම කැළලිකාරයෝ හඳුන්වන්න කැමති ඒ නිසයි.

කමල් පෙරේරා

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...