ජීවිතය යනු කඳු මෙන්ම පල්ලම්වලද සීතල මෙන්ම උණුසුමේද යුද්ධයේ මෙන්ම සාමයේද සන්සුන්බවේ මෙන්ම ප්‍රචණ්ඩත්වයේද සංකලනයකි. අපේක්ෂිත මෙන්ම අනපේක්ෂිත සිදුවීම්වල එකතුවකි. සවිඥානික මෙන්ම අවිඥානික මැදිහත්වීම් ඔස්සේ ගලා යන්නකි. මෙවන් ස්වභාවයකින් යුත් ජීවිතයක පැවැත්ම සලිත කිරීමට ඇතැම් සිද්ධිවලට හැකියාව තිබේ. මෙම ඇතැම් සිද්ධි පසුකාලීනව කෙනෙකුගේ හෘදසාක්ෂියට දරාගත නොහැකි බරක් වීමට පුළුවන. එය එම පුද්ගලයා මානසිකව මෙන්ම කායිකව ද නිශ්ක්‍රීයභාවයට පත් කරනු ඇත. එවිට ඔහුගේ /ඇයගේ මානව සබඳතා ජාලය දෙදරා යනු ඇත. කීර්ති වැලිසරගේ ලියූ උත්පත්ති මෙවන් තේමාවක් සහිත අත්දැකීමක් පාඨකයා වෙත ඉදිරිපත් කරන නවකතාවකි.
ජයවීර (රත්තරන් ) මෙම නවකතාවේ ප්‍රධාන චරිතයකි. පාරම්පරික ග්‍රාමීය ඉඩම් හිමියෙකු වන ඔහු සහ ඔහුගේ ඉඩම්වල සේවය කරන්නෙකුගේ ඥාති දියණියක අතර ලිංගික ඇසුරක් හට ගනී. මෙය ලිංගික බලහත්කාරයක් නොවන අතර දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන්නකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට දරුවකු ලැබේ. පසුව ජයවීර වෙනත් කාන්තාවක් සමඟ විවාහ වේ. දරුවා ඔහුගේ අතිජාත මිතුරා වන චාල්ස් විසින් හදාවඩා ගනී. දරුවා තමාගෙන් වෙන් කිරීමේ ශෝකය දරාගත නොහැකිව පෙර කී තරුණිය සියදිවි නසා ගනී.මෙම සිද්ධිය ජයවීරගේ සහ චාල්ස්ගේ මෙන්ම දරුවාගේද ඔවුන්ගේ සමීපතමයන්ගේද ජීවිතවලට බලපාන ආකාරයට සමාන්තරව කතාපුවත දිගහැරෙයි.
කතුවරයා ජයවීර නම් චරිතය පාඨකයාට සමීප කරන අයුරු බෙහෙවින් සිත් ගනී. ඔහු ධන බලය මෙන්ම ග්‍රාමීය සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත අයෙකි. එමෙන්ම මෙම සිදුවීම අළුයම ලූ කෙලපිඬක් සේ නොසලකා හැරිය හැකි මට්ටමේ පුද්ගලයෙකි. ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ එයට අභියෝග කිරීමට කිසිවෙකුත් නොමැත. එහෙත් මෙහිදී කතුවරයා මෙම චරිතය සාම්ප්‍රදායික දුෂ්ට වැඩවසම් ඉඩම් හිමියෙකුගේ තත්ත්වයට පත් නොකර වෙනස්ම ආකාරයකින් ගොඩනංවයි. ජයවීරගේ විවාහයෙන් පළමු දින දෙකේදී ඔහු තම බිරිඳ සමඟ ප්‍රබෝධමත්ව සහ සක්‍රීයව ලිංගික සම්භෝගයේ නියැලෙයි. එහෙත් ඉන්පසු ඔහුගේ ප්‍රබෝධමත් බව මෙන්ම සක්‍රීය බවද වියැකී යයි. ඔහු මානසිකව සහ කායිකව නශ්ටකාමී තත්ත්වයට පත් වේ. ඔහුට තම හෘදසාක්ෂියේ බර දරාගත නොහැකි වේ. කතුවරයා ජයවීරගේ චරිතය හසුරුවන ආකාරය තුළ පාඨකයාට එම චරිතය පිළිබඳ වෛරයක් වෙනුවට ඇති වන්නේ කාංසාමය හැඟීමකි. නවකතාවකින් එවන් හැඟීමක් පාඨකයා තුළ ජනිත කිරීම පහසු කාර්යයක් නොවේ. මන්ද , ජයවීරගේ චරිතය ඉතාම පහසුවෙන් සල්ලාලයෙකු සහ දුෂ්ටයෙකු කළ හැකිව තිබූ බැවිනි. මෙලෙස ජයවීරගේ මරණය දක්වා හැඟීම්මය වශයෙන් පාඨකයාට සන්සුන්වීමට කතුවරයා කිසිවිටෙකත් ඉඩ නොදෙයි. එයින් පඨිතය සමඟ සක්‍රීය ලෙස සම්බන්ධ වීමට පාඨකයාට හැකියාව ලැබෙයි.
මෙම නවකතාවේ ආරම්භය අතිශයින්ම ප්‍රබලය. ජයවීර තම විවාහ මංගල්‍යය සදහා රථ පෙරහැරින් පිටත් වේ. අතරමගදී කාන්තාවක් පැමිණ බිලිඳෙකු පාර මැද තබා දිව යයි. කතාපුවතේ ප්‍රධාන මාවත මෙන්ම අතුරු මාවත් ද පාඨකයාට විවරවනුයේ මෙම සිද්ධිය පදනම් කර ගෙනය. මෙම ආරම්භක සිද්ධියෙන් පාඨකයා තුළ ඇති කරන නොසන්සුන්තාවේ සහ චකිතයේ හැඟීම ජයවීරගේ මරණය දක්වාම අඛණ්ඩව පවතී. දරුවා පිළිබඳ රහස පවත්වාගෙන යාමේදී ජයවීර අත්විඳින සංතාපයත් රහස බිරිඳට හෙළිදරව් කිරීමෙන් පසු එම සංතාපයේ තීව්‍රතාව වෙනස් වන අයුරුත් නිරූපණය කෙරෙන ආකාරය බෙහෙවින් සිත් ගනී. එය කතන්දරය ඉක්මවා ප්‍රබන්ධයේ මහිමය විඳීමේ අවස්ථාව පාඨකයාට ලබාදීමකි. නවකතාවේ අවසන් අදියරේදී කතුවරයා දේවකගේ (දරුවා) චරිතය පෙරබිමට ගෙන එයි. එහිදී කීර්ති සමාජ දේශපාලනික සහ ආගමික ශෝධනය පිළිබඳ දේශනාමය ආකෘතියක පිහිට පතයි. මේ නිසා නවකතාවේ අවසන් කොටසේදී අපට චරිත අබිබවා කීර්ති වැලිසරගේ දර්ශනය වීමට පටන් ගනී. මේ අනුව නවකතාවේ බොහෝ දුරක් එන තෙක් ඔහු අතිශය අපූර්වත්වයකින් පවත්වා ගෙන ගිය හැඟීම්මය නිරායාස බව ගිලිහීයාමේ කනගාටුව සිතට දැනීම වළක්වා ගැනීම අපහසුය.
කෙසේ වෙතත් , වීරයන් සහ දුෂ්ටයන් නොමැති ලෝකයක් පරිකල්පනය කිරීමට උත්පත්ති තුළින් අවකාශ සැලසීම ගැන කීර්ති වැලිසරගේට පාඨක ප්‍රණාමය හිමි විය යුතුය.