දෙමාපියන් එක්ක ජීවත් වෙච්ච අතීතය ගැන තිබෙන මතකය කොහොම එකක්ද?
අපේ ගම මොරටුව. මම උපන්නෙ 1925දි. මගේ පියා තමන්ගෙ වතුපිටි බලාගෙන, මිනිරන් පතල් බලාගෙන ස්වාධීනව ජීවත් වෙච්ච කෙනෙක්. ඔහුගේ නම ආර්.ජේ.ද මෙල්. මවත් මොරටුවෙ. එතුමිය ඒ කාලේ හැටියට සෑහෙන දැන උගත්කමක් තිබුණු කාන්තාවක්. මම පාසල් ගියේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයට. පියා මෙන්ම පාසලත් මට ස්වාධීනව ජීවත් වෙන හැටි කියා දුන්නා.
පියා උපදෙස් දුන්නෙ ලොකු වුණාම මොනව කරන්න කියලද?
ඔහු මට තදින් කියපු දෙයක් තමයි, දේශපාලනයට නම් කිසිදාක යන්න එපා කියන එක. එතුමා ජීවතුන් අතර සිටින තුරු මම දේශපාලනයට ගියෙත් නැහැ. මගේ එක බාප්පා කෙනෙක් හිටියා ආර්.ඒ ද මෙල් කියලා. ඔහු තමයි ලංකාවේ ප්‍රථම සිංහල නගරාධිපති. ඒ 1947 දි. ඊළඟට ඔහු තමයි කොළඹ දකුණ පළමුවැනි මන්ත්‍රී. ආර්.ඒ. ද මෙල් මාවත ඔහුට ගෞරව ලෙස යෙදූවක්. ඒ කාලෙ අද වගේ නෙමෙයි ඡන්ද පෙත්සම් හරියට වැඩ කරනවා. එක ඡන්ද මධ්‍යස්ථානයක හොර ඡන්ද වගයක් වැටුණයි කියලා ඔහුට වසර 7 කට කොළඹ දකුණ ආසනය අහිමි වුණා. මම 1967 දි පාර්ලිමේන්තුවට ගියෙත් ඔය වගේ සිද්ධියක් උඩයි. දෙවිනුවර ආසනය නියෝජනය කළ කීර්තිමත් අමාත්‍යවරයෙකු වූ පී.එච්. විලියම් සිල්වා ගේ සගයෙක් විරුද්ධ අපේක්ෂකයාට දෙපත් නයා කියපු නිසා දාපු අපහාස නඩුව මගින් ඔහුට ආසනේ අහිමි වුණා
පාසල් කාලෙ අමතක නොවන දේවල් මොනවාද?
1942 දී මුළු බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙම ලන්ඩන් මැටි්‍රකියුලේෂන් විභාගයෙන් මම පළමුවැනියා වුණා. ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය, ගණිතය, ලැටින්, ඉතිහාසය සහ අර්ථ ශාස්ත්‍රය කියන විෂයයන් පහ මම ගත්තෙ. ඒ සැනින්ම මට ඔක්ක්ෆර්ඩ් එකටයි, කේම්බි්‍රජ් එකටයි ශිෂ්‍යත්ව ලැබුණා. නමුත් යුද්ධ කාලෙ නිසා යන්න විදියක් නැතිවුණා. ඒ පාර සර් අයිවර් ජෙනිංග්ස් මාව ලංකාවෙ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගත්තා.
පාසලේදී ක්‍රීඩා කළා ද?
මම ටෙනිස් ගැහුවා. ක්‍රිකට් ගැහුවා. හොකී කණ්ඩායමේ හිටියා. ඊට අමතරව විවාද කණ්ඩායමේ හිටියා. මම පසු කලෙක වගේම ඒ කාලෙත් ඕල් රවුන්ඩර් කෙනෙක්. නොකරපු දෙයක් නැහැ. සාන්ත තෝමස් විද්‍යාලයෙදි නාට්‍යවලත් රඟපෑවා. ඒ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා නිසා. ඔහු ශාන්ති නිකේතනයෙන් ආපු ගමන් අපේ පාසලේ වසර කිහිපයක් ඉගැන්නුවා. ඇත්තටම ඔහු නිසා තමයි සිංහල භාෂාව, සංස්කෘතිය යනාදිය අපේ සිත් තුළට කාවැදුනෙ. ඒ කාලෙ සරච්චන්ද්‍රට අපි කිව්වේ තාගෝර් කියලයි.
ඔබ විශ්වවිද්‍යාලයට යන්නෙ ජාතික නිදහස පිළිබඳ උණුසුම් අදහස් මතුවෙමින් තිබුණු කාලෙක. නිදහස ගැන කොහොමද හිතුවෙ?
විශ්වවිද්‍යාලය තුළ දී අංශ දෙකක් සැරට වැඩ කළා. එකක් ජාතික නිදහස පිළිබඳ ව්‍යාපාරය. අනෙක් අතට සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ විසින් ගෙන ගිය ව්‍යාපාරය. ඒකට තමයි අපි වැඩිය නැඹුරු වුණේ. මුලින් අපි කවුරුත් වමේ තමයි. පසුව දකුණට ගියා. ඒ අතරතුරේ මම විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා.
ඒ කාලෙ විශ්ව විද්‍යාලයේ හිටපු, පසුව ප්‍රකට පුද්ගලයින් බවට පත්වෙච්ච යාළුවො කවුද?
ස්ටැන්ලි තිලකරත්න, අනිල් මුණසිංහ, ඒ. අමිර්තලිංගම්, සිවසිදම්බරම්, කදිරවේලුපිල්ලෙ, පී. නවරත්නම් ආදී මේ සේරම ශිෂ්‍යයො. ඒ සියලු දෙනා නියෝජනය කළ ශිෂ්‍ය සංගමයේ සභාපති වුණේ මම.
ඔබ ගේ සමකාලීන ශිෂ්‍යාවක් වන අයිරාංගනී සේරසිංහ වතාවක් මා සමග කිව්වෙ ඒ අය සටන් කරද්දී ඔබ විශ්වවිද්‍යාලය තුළ තමන්ගෙ වැඩක් බලාගෙන හිටියා කියලයි. ඒ කතාව බොරුද එතකොට.
නෑ. නෑ. ඒකෙ යම් ඇත්තක් තියෙනවා. අයිරාංගනීලා දේශපාලන සටන්වලට පිට ගියා. මම ඇතුළෙ විතරයි. කොහොම හරි ඇතුළෙ සටන්වලින්නෙ මම සභාපති වෙන්නෙ.
විශ්වවිද්‍යාලයෙදි ප්‍රේම සම්බන්ධතාවල පැටලුණාද?
ඔව් ඉතිං. නැත්තෙමත් නැහැ. ඒවත් ටිකක් කළා. විනේද ජීවිතයක් ගත කළා. ඒ කාලෙ ඔය තර්ස්ටන් පාරෙ රෑට මිනිස්සු සිංදු කිය කියා හරි විනෝදයෙන් ගමන් බිමන් යනවා. අපිත් කෙල්ලො කොල්ලො රෑට රෑට ඔය පාරෙ ඇවිද්දා මතකයි.
විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කළ සැනින් රස්සාවකට යන්න හිතුවද?
මම අවුට් වුණේ 1947 දි. ඒ විභාගයෙනුත් මම පළමුවැනියා. ඒ කාලෙ ඉගෙන ගත්තු හැමෝම යන්නෙ සිවිල් සේවයට. තාත්තා මට මුල ඉඳලම කිව්වෙ ඒකට බැඳෙන්න. රටේම පාලන කටයුතු කළේ සිවිල් සේවය විසිනුයි. මම සිවිල් සේවා විභාගයෙන් සමත් වන විට කේම්බි්‍රජ්වලින් ලැබුණු ශිෂ්‍යත්වයක් උඩ එංගලන්තයට ගිහින් හිටියෙ. ඒ පාර තාත්තාගෙ කීම පිට ඇවිත් මම ගිහින් සිවිල් සේවයේ ප්‍රධානියා වූ භාණ්ඩාගාර ලේකම්තුමා හමුවුණා. මගේ පීඑච්ඩී එක සම්පූර්ණ කරගෙන එන්න පඩිරහිත වසර තුනක නිවාඩුවක් ඉල්ලුවා. එයා කිව්වෙ මොකක්ද දන්නවද? මිස්ටර් ඩිමෙල් අපේ මේ සිවිල් සේවයට පීඑච්ඩී කාරයො ඕනෙ නැහැ. ඔයා පීඑච්ඩී කරලා විශ්වවිද්‍යාලයකට යන්න. අපිට ඕනෙ වැවකට ඇලවල්වලින් වතුර යන්නෙ කොහොමද? ධීවර කර්මාන්තය, පාරවල් හදන එක, එළවළු පළතුරු කල්තබා ගැනීම වගේ දේවල් ගැන දන්න මිනිස්සු. ඔය පීඑච්ඩී කාරයන්ගෙන් අපිට කිසිම වැදගැම්මක් නැහැ කිව්වා. ගෙදර ආවම තාත්තා කිව්වෙත් මෝඩ වැඩ නොකර ඔය රස්සාව කරපං කියලයි. ඩඩ්ලි එක්ක අවුරුදු හතරක් වැඩ කළා. පිලිප් එක්ක තව වසර හතරක් වැඩ කළා. මේ කාලය තුළ රට සංවර්ධනය කිරීම ගැන හොඳ අවබෝධයක් මම ලබා ගත්තා. අවුරුදු 12ක් සිවිල් සේවයේ ඉඳලා මම ඒ රස්සාවෙන් අයින් වුණා. එතකොට තාත්තත් මැරිලා.
මේ කාලෙ දේශපාලනයට උනන්දු වුණාද?
හැමදාම ඒ උනන්දුව තිබුණා. තාත්තා නිසයි යටපත් කරගෙන හිටියෙ. මේ කාලෙත් ඇත්තටම මට වාමාංශික නැඹුරුවක් තිබුණෙ. මගේ, බිරිඳගේ පියා සර් ලියෝ ප්‍රනාන්දු බුත්තල යූ.එන්.පී. මන්ත්‍රී. 54 දි සර් ලියෝ මැරුණාම ඩඩ්ලි මට කිව්වා ඒ සීට් එකට ඉල්ලන්න කියලා. නෝනා කිව්වා ඕවට යන්න එපා කියලා. 56දිත් බණ්ඩාරනායක මහතා කිව්වා මතුගමට තරග කරන්න කියලා. එතනදිත් නෝනා එපා කිව්වා. එන්.කිව්. දියෙස්, මෙත්තානන්ද වැනි මහත්වරුන් සමග මම 56 පෙරළිය වෙනුවෙන් තදින් වැඩ කළා. මම ඊට සහාය දැක්වූවෙ සිංහල රජ බස කරන්න ඕනෙ කියන අරමුණින් නෙමෙයි, සිංහල පමණක් කතා කරන වරප්‍රසාද අහිමි පංතියටත් රටේ තැනක් ලැබෙන්න ඕනෙ කියන අදහස නිසයි.
සිවිල් සේවයෙන් අස්වුණේ කොයි කාලෙද?
1965 ඡන්දෙට බුලත්සිංහලට ඉල්ලන්න කියලා මට ශ්‍රීලනිපයෙන් ආරාධනා කෙරුවා. ඒ පාර මම 1964 දි සිවිල් සේවයෙන් අස්වුණා. ඒත් නෝනා අඬන්න ගත්තා යන්න එපා කියලා. මම මිසිස් බණ්ඩාරනායක හම්බවෙලා කිව්වා බොහොම කණගාටුයි මැඩම් නෝනා එපා කියන නිසා එන්න විදියක් නැහැ කියලා. එතුමිය කිව්වෙ නෝනා කියනදේට පිටින් මොකුත් කරන්න එපා කියලයි. දැන් මට සිවිල් සේවයත් නැහැ, ඡන්ද අපේක්ෂකත්වයත් නැහැ. බලන්න ඩඩ්ලි පුදුම මනුස්සයෙක් කියන්නෙ 65 දි දිනුවට පස්සෙ මට ටෙලිෆෝන් කරලා කිව්වා, රොනී ඔයා සිවිල් සේවයෙන් අස්වුණේ මට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්නනෙ. නමුත් වෙච්ච දේ මං දන්නවා. ඔයා කැමති නම් ආපසු සිවිල් සේවයට එන්න කියලා ඩඩ්ලි කිව්වා. 67 දි ආපහු මම දෙවිනුවරින් ඡන්දෙ ඉල්ලන්න සිවිල් සේවයෙන් අස්වුණා.
ඒ වතාවෙ නෝනා ලෙඩේ ඇද්දෙ නැද්ද?
මොන ලෙඩේ ඇද්දත් මං ඒ පාර නම් එන්න හිතා ගත්තා. හැබැයි දැන් නම් මටත් වඩා එයා තමයි දේශපාලනේට කැමති. මම තරග කරන්න බැහැ කියලා ලැයිස්තුවෙන් ආපු අවස්ථාවක එයා තරග කරලා දිනුවා.
67 දි පාර්ලිමේන්තු අත්දැකීම් කොහොමද?
ඒ වෙනකොට අපි විපක්ෂයෙ. අපිට කථිකයො හිටියෙත් නැහැ. ෆීලික්ස් විතරයි පාර්ලිමේන්තුවෙ ටිකක් කතා කළේ. ඉලංගරත්නගෙ කථාවත් අහගෙන ඉන්න බැහැ ඩල්. එයාගෙ කතාවත් හරියට පොතක් කියෝනවා වගේ. පොත් ලිව්වට කතා බැහැ. මමයි, ප්‍රින්ස් ගුණසේකරයි පසු පෙළේ ඉඳන් මදි නොකියන්න කතා කරන්න ගත්තා. ඒ කාලෙ විවාදයක් දවස් 3-4 ක් එක දිගට යනවා. අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුව විවාදයක් පටන් ගත්තම රෑත් ගෙවලා බදාදා දවල් රෑ දෙකත් ගෙවලා බ්‍රහස්පතින්දා දවල් රෑ එළිවනතුරු විවාදය යනවා. අපි පාන්දර හතරට පහට කතා කරනවා. සමහරු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයො මට කියලා තියෙනවා අපි ටිකක් නිදාගන්න යනවා. තමුසෙ පාන්දර 4.00 ඉඳලා 6.00 වෙනකම් කොහොම හරි කතා කරනවා කියලා. ඕල් නයිට් සෙෂන් නිතරම තියෙනවා. තේ කෝපි බොනවා. කෑම තියෙනවා. රෑ එළි වෙනකම් බසුත් දුවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව ගෙදර වගේ.
රෑට රෑට ඩ්‍රින්ක් එකක් එහෙම දානවද?
දාන අය ඉන්නවා. පාර්ලිමේන්තුව ඇතුළට ගේන්නෙ නැහැ. කාරෙකට ගිහින් ෂොට් එකක් ගහගෙන එනවා. මම ඩි්‍රන්ක් එකක් ගැහුවට පාර්ලිමේන්තුවෙදි ඒක කරන්නෙ නැහැ. ඒ කාලෙ වලපනේ මන්ත්‍රී කෙනෙක් හිටියා හේරත් කියලා. එයා නම් නිතරම කාරෙකට යනවා. එනවා. දවසක් මිනිහා හොඳටම සූර් වෙලා ඇවිත් මොකක් හරි පනතක් ගැන වේගවත් කථාවක් කරමින් හිටියා. එකපාරටම මිනිහගෙ සරම කඩාගෙන වැටුණා. ඒත් මිනිහට ගාණක් නැහැ. කථාව වේගයෙන් කරගෙන ගියා. ළඟ හිටපු මන්ත්‍රීතුමා නැඟිටලා සරම ඇන්දුවා.
70 ආණ්ඩුවෙදි මොකද වුණේ?
මිසිස් බණ්ඩාරනායක මගෙන් ගොඩක් වැඩ අරගෙන මාව කපලා දැම්මා. ඒ ඇමති මණ්ඩලයෙත් මම නැහැ. මගේ ඉරිසියාකාරයො තමයි මේවා පිටුපස හිටියෙ. 73 දි ඩඩ්ලි මැරුණා. ජේ.ආර්. නායකයා වුණා. නායකයා වෙලා මාස 03 ක් ගියේ නැහැ නෝනත් එක්ක අපේ ගෙදර ඇවිත් අපි එකතු වෙමු කිව්වා. මම කිව්වා කල්පනා කරලා කියන්නම් කියලා. 74 දි ඔහු මට නැවත කතා කළා. 74 මැද මම ශ්‍රීලනිපයෙන් අස්වෙලා ස්වාධීන වුණා. ඒ කාලෙ තමයි මගේ පාර්ලිමේන්තු ජීවිතේ හොඳම කාලෙ. මට නායකයෙක් නැහැ. ප්‍රින්ස් ගුණසේකරත් ස්වාධීනයි. අපි දෙන්නා තමයි ඒ කාලෙ පාර්ලිමේන්තුව ගෙනිච්චෙ. එම වසරෙම අග මම එජාපයට ගියා.
ජේ.ආර්. ජයවර්ධන කොහොම කෙනෙක්ද?
ඔහුගේ හොඳ අංශත් තිබෙනවා. වැරදිත් තිබෙනවා. ඔහු කළ එක ලොකු වරදක් තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දෙමළ ප්‍රශ්නයත් එතුමා අවුල්කර ගත්තා. මනාප ඡන්ද ක්‍රමය රටට නොගැලපෙන බව මම කිව්වා. නමුත් කොළඹ සමහර මන්ත්‍රීවරු බැලුවෙ මනාප ක්‍රමය තමන්ට වාසියි කියලා. ඒ ලලිත්, ප්‍රේමදාස, රනිල් වගේ අය. ගාමිණීත් මනාප ක්‍රමයට කැමති වුණා. ලලිත් කැබිනට් එකේදි සැලැස්මක් ගෙනැල්ලා කිව්වා මනාප ක්‍රමය නිසා කිසිදාක එජාපය පරද්දන්න බැහැ කියලා. ජේ.ආර්. ඒකට රැවටුණා. කොළඹ ඉතිං කොහොමටත් එජාපයට හොඳයිනෙ. හැබැයි ලබන පළාත් සභා ඡන්දෙදි නම් ඒකත් වෙනස් වෙයි. මම ජේ.ආර්. ජනාධිපතිතුමාට කිව්වා විධායකයත් අපිට ගැලපෙන්නෙ නැහැ කියලා.
ඇයි එහෙම කිව්වෙ
වෙන බටර් එකක් ගාලයි මං ඒක කිව්වෙ. ඔබතුමාවගේ කෘතහස්ස දේශපාලනඥයෙකුට විධායකය ඔරොත්තු දුන්නට මේක හැමෝටම ඔරොත්තු දෙන එකක් නැහැ කියලයි මං එතුමාට කිව්වෙ.
හැබැයි අද බලනකොට ඒකෙ ඇත්තක් තියෙනවා නේද?
මං දන් නෑ. ඒ වෙලාවෙ මං එතුමාට කිට්ටුවෙලා කිව්වෙ මේක ප්‍රේමදාසට ගියොත් මොකද වෙන්නෙ කියලයි. ජේ.ආර්. කටවහගෙන හිටියා. ඔහුගේ ලාම්පු කළගෙඩි සෙල්ලමටත් මම විරුද්ධ වුණානෙ.
ජේ.ආර්. සෙසු ඇමතිවරු යටත් කරගෙන සිටියා. අස්වීමේ ලිපි සාක්කුවෙ දාගෙන හිටියා. මේවා සම්පූර්ණයෙන් ඇත්තද?
ඔව් ඉතිං. හයෙන් පහක බලයක් සමග ඕනෙ මිනිහෙක් එහෙම ක්‍රියා කරන්න පුළුවන්. එයාට පියෙකුට සේ කවුරුත් සැලකුවා. ඔය ලියුම්වලට අත්සන් නොකෙරුවෙ මමයි තොණ්ඩමනුයි විතරයි.
ජේ.ආර්. හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයෙන් රට කණපිට හැරවුනු බවට චෝදනා එල්ල වෙනවා. ඔබ එම ආණ්ඩුවේ වසර 11 ක් මුදල් ඇමතිධුරය දරපු පුද්ගලයා හැටියට අද මොකද මේ ගැන කියන්නෙ
හැබැයි ඉතිං පැවැති ආහාර අහේනිය, බඩු හිඟය මේ ක්‍රමයෙන් නැති වුණානෙ. පාංශකුලයකට රෙදි කෑල්ලක්වත් නොතිබුණු සමාජයක් මේක. මගේ හිතවත් ලේකම්වරයෙක් දරුවට පිටි ටින් එකක් ගන්න කොළඹ සිට මාතර ගියා. මගෙ නම කියලයි මාතර කඩෙන් පිටි එක ගත්තෙ. සීනි නැහැ, සිමෙන්ති නැහැ. මොකුත් නැහැ. විවෘත ආර්ථිකේ නිසා බඩු වෙළෙඳපොළට ආවා.
ප්‍රශ්නෙ ඒක නෙමෙයි බඩුත් සමග කුඩුත් ආපු එකයි
මොන පිස්සුද? කුඩුකාරයො ඊට කලිනුත් හිටියා. සිංහල රජකාලෙ ඉඳලම. ගණිකා මඩම් තිබුණා. මිනිස් අවශ්‍යතා තිබෙනතුරු ගණිකා වෘත්තිය නැති වෙන්නෙ කොහොමද? අපි ඉස්කෝලෙ යන කාලෙත් කැසිනෝකාරයො හිටියා. ඒ කාලෙ ඩොනවන් ඇන්ඩි්‍ර, තහාර්, මුක්තාර් කියන සුප්‍රකට සූදුකාරයො කියන ඕනම දෙයක් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක පවා ඉටු කර දෙනවා. අපේ කාලෙ මුදල් සංසරණය වැඩිවුණ නිසා ඒවා ටිකක් වැඩි වෙන්න ඇති කියල මමත් හිතනවා. මම ඒ කාලෙ ගිය කොමියුනිස්ට් රටවලත් ඕව තිබුණා. බුදුන්ගේ කාලෙත් අම්බපාලි හිටියනෙ. මේවා ඕනාවට වඩා හංගලා කරන්න ගිහින් තමයි අපි ප්‍රශ්න ඇති කර ගත්තෙ.
රොනී, පනී කියලා ප්‍රකට කියමනක් තියෙනවා. ඇයි එහෙම අත්තෙන් අත්තට පනින්න ගත්තෙ?
මම නිදහස් පුද්ගලයෙක්. මාරු වෙන්න ඕන නම් මාරු වෙනවා. කාටවත් වාල් වෙන්නෙ නැහැ. දෙවිනුවර මගේ ජනයා මං කොයි පැත්තෙන් ඉල්ලුවත් ඡන්දෙ දෙනවා. මාත් ඒ අයට පක්ෂ භේදයක් නැතුව වැඩ කරනවා. හැමදේම හැමෝටම එකසේ සුදුසුකම් අනුව මම මගේ ආසනය තුළ ලබා දෙනවා. ඇත්තටම මට පක්ෂයක් නැහැ. මං රට වෙනුවෙන් ඉන්නෙ.
ඔබ, චන්ද්‍රිකා දුටුවෙ කොහොමද?
දේශපාලනය පැත්ත අමතක කෙරුවොත් චන්ද්‍රිකා ඉතා හොඳ කෙනෙක්.
2009 මාර්තු 08 රාවය පුවත්පත