කැලණිය විශ්වවිද්‍යාලය විසින් නිපදවන ලද ‘ඒයි ෆර්ස්ට් යියර්’ වීඩියෝව ලොකු කතාබහක් ඇති කළා. නවකවධය වෙනුවට ආදරයෙන් යුතු සම්බන්ධතා විශේෂයක් යෝජනා කරන ඒ වීඩියෝව ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ශිෂ්‍යයන් අතර ධුරාවලිය බිඳිනවා වෙනුවට එය තහවුරු කරනවා. එහෙම ධුරාවලියක් දැනට තියෙන බවත් පිළිගන්නවා. ප්‍රථම වසර නංගීගේ ආරක්ෂාව සලසන, ඇයට අවශ්‍ය උපදේශ ලබා දෙන අය්යා කෙනෙක් ඒකෙත් ඉන්නවා. ඔහුත් නංගී පසුපස හඹා යන බවත්, නංගී පය පැකිලි පැකිලී බියෙන් දුවන බවත් ආරම්භක රූපරාමුවෙන්ම පේනවා. වචනවලින් ආදරය ගැන කිව්වත් රූපවලින් පේන්නෙ ප්‍රථම වසර කෙල්ලගේ බිය. ඇය වළලුකරත් වැහෙන සායක් හැඳ සිටිනවා. ලංකාවේ තරුණ ස්ත්‍රීන් එක එක ජාතියේ ඇඳුම් අඳිනවා. හැබැයි මේ ෆර්ස්ට් යියර් කෙල්ල ඇඳල ඉන්නෙ අර දිගම සායක්. ඉතා තරගකාරී විභාගයක් දිනා කැම්පස් ආ ජයග්‍රාහී ප්‍රීතිය වෙනුවට කෙල්ලගෙ මූණෙ තියෙන්නෙ බය. කෙල්ලගෙ ලේන්සුව සහ රුපියල් පන්සීයෙ කොළයක් වැටිලා තියෙනවා. හැබැයි ඒක දකින්න ජ්‍යෙෂ්ඨ අය්යා මිස වෙන කවුරුවත් නෑ. ඒක දකින්නෙ අය්යාමයි. ජ්‍යෙෂ්ඨයා තමයි ඒක දකින්නෙ. වීඩියෝව කෙළින්ම නොකිව්වත් ඉන් ඇඟවෙන්නේ නංගිලාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස්කාරකමෙහි නියැලීම අය්යලාගේ කාර්ය බවයි.
පේරාදෙණියෙත් දෙවෙනි වර්ෂයේ අය්යලා මේ මුරකාර වැඩේ නිල ඇඳුමක් ඇඳන් නියැලෙනවා අපි දැකලා තියෙනවා. අර ෆූකෝ කියන රාජ්‍යයෙහි විපරම්කාර වැඩේ කරන සර්වදර්ශක ස්ථානයෙහි උපසංස්කෘතිය විසින් තැබෙන්නේ ජ්‍යෙෂ්ඨ අය්යව. ඒ නිසා විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ව්‍යුහමය වශයෙන් පොලිස් රෙජීමයක් බවට පත් වෙනවා. පාරේ උද්ඝෝෂණවලදි පොලීසියට හමුදාවට විරුද්ධව සටන්පාඨ කියන අය්යාම උපසංස්කෘතික ලෝකය නම් රෙජීමයේ පොලිස්කාරයා වෙනවා. මේ උත්ප්‍රාසය කැම්පස් අය්යලා බොහෝ දෙනෙක් දකින්නෙ නෑ. තමන් ස්ථානගත වී සිටින බලරෙජීම කෙරෙහි අප බොහෝ දෙනෙක් අන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අන්තෝනියෝ ග්‍රම්ස්චිලා, ලුවී අල්තූසර්ලා, මිචෙල් ෆූකෝලා බලය වැඩ කරන හැටි මෙච්චර කතා කරල තියෙද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කෙසේ වෙතත් ඒයි ෆර්ස්ට් යියර් හදපු කැළණිය විශ්වවිද්‍යාලය මේවා දකින්න ඕනැනෙ.
අර ශිෂ්‍යාවගෙ ලේන්සුව සහ රුපියල් පන්සීයෙ කොළේ දකින ඇගේම වසරෙ කෙනෙක් හිටියා නම් මොකද? එතකොට එයාට තමුසෙගෙ හොටු ලේන්සුව වගේ ආධිපත්‍යවත් දෙයක් කියන්න වෙන්නෙත් නෑනෙ. නංගි ඉංග්‍රීසි සහ ෆ්‍රෙන්ච් කරනවා කිව්වම අය්යා තිගැස්සෙන බවක් පෙන්නන්න ඕනෙත් නෑනෙ.
විනාඩි හතරකට වැඩි මේ වීඩියෝව එහි ප්‍රචාරක දෘෂ්ටිවාදයට එරෙහිව කියවන්න පුළුවන්. මෙය මුලින්ම නිකුත් වූ විට බොහෝ දෙනෙක් කලබල වුණත් මම හිතුවෙ ඒක විසංයෝජනය කළොත් ඒකෙ මූලික ප්‍රචාරණ අදහස හෙල්ලෙනවා කියලයි.
බොහෝ ප්‍රචාරණ පට වගේම ඒකත් සරලයි.
හැබැයි නවකවධය කාලෙන් ආරම්භ වන අපූරු කෙටිකතාවකට නවකවධය සහ ඉන් පසු සරසවි ජීවිතය හරි ලස්සනට හසු වී තිබෙනවා. ඒකටත් පසුබිම් වෙන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයමයි. ප්‍රචාරක පටයයි කලා කෘතියයි අතර වෙනස දකින්න පුළුවන් ඒ දෙක සන්සන්දනය කළොත්. ඒ කෙටිකතාව ලියා තියෙන්නෙ කසුන් සමරතුංග. ඒක තියෙන්නෙ ‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ කියන පොතේ.
මේ කතාවෙ කථකයා සහ භාග්‍යා කියන කෙල්ල එකිනෙකා අඳුනගන්නෙ රැග් සීසන් එකේදි. සෙකන්ඩ් ඉයර් එකේ අය්යලා අක්කලා මේ දෙන්නව අල්ලගන්නවා දේශනේකට යන අතර. ‘ඒයි මෙහෙ වරෙන්’ කියල කථකයාට අණක් ලැබෙනවා. එතැනදි තමයි ඔහු භාග්‍යාව දකින්නෙ. ඇය දිග මල් මල් ගවුමක් ඇඳන් ඉන්නවා. අර වීඩියෝවෙ නංගි වගේ.
එතැන ඉන්න අය්යා කෙනෙක් අහනව ඒ කෙල්ල අඳුනනවද කියලා. කථකයා නෑ කියනවා. ‘මොනාද යකෝ? තමන්ගෙ බැච් එකේ කෙල්ලො තාම අඳුරන්නැද්ද? දැන් කැම්පස් ඇවිත් කොච්චර කල්ද?’ ඒ අය්යා තග් සීන් එකෙන් අහනවා.
එතකොට කථකයාට හිතෙන දේවල් තමයි මේ; ‘කොච්චර වුණත් තොට මොකද බොල? මං ඒක ඇහුවෙ කටින් නොවෙයි. හිතින්. අනින්න හිතෙනව හොම්බට හැට අටක්. නිකං චීත්ත ඉස්සරහ පොර වෙන්න දඟලනව.’ තව තැනකදි කථකයා නවකවධක ජ්‍යෙෂ්ඨයා ගැන මෙහෙමත් හිතනවා; ‘උගෙ මුල් ළමා විය හරියට සංවර්ධනය වෙලා නැද්ද මන්ද !’
භාග්‍යට දැනටම කාඩ් එකක් තියෙනවා. ඒ කියන්නෙ දැන් කාලෙයක් රැග් වෙලා කියල පේනවා. කාඩ් එක මැගී. ඒක වැටිලා තියෙන්නෙ කෙල්ලගෙ කොණ්ඩෙ කර්ලි නිසා වෙන්න ඇති කියලා කථකයා හිතනවා. මැගී නූඩ්ල්ස් වගේ. එතන ඉන්න ජ්‍යෙෂ්ඨ කට්ටිය ඒ දෙන්නව කසාද බන්දනවා. හැබැයි ඒක නවකවධ විවාහයක් මිසක් ඇත්තක් නෙමෙයි. ඇත්තටම වෙන්නෙ ඒ කාලෙ තර්ඩ් ඉයර් අය්ය කෙනෙක් භාග්‍යාට කොක්ක ගැහීම. ඒකත් නවකවධයෙම අතුරු ඵලයක්.
විශ්වවිද්‍යාලෙ නවකවධ සමය ගැන කතාවෙ තියෙන ඉඟි එතැනින් ඉවරයි. කතාවේ ඒ නවකවධ එපිසෝඩය අර ඒයි ෆර්ස්ට් යියර් වීඩියෝව පෙන්නන ජීවිතයට වඩා සංකීර්ණයි; අව්‍යාජයි. ඒක ප්‍රචාරක පටයක්; මේක කලා කෘතියක්.
ඒ එපිසෝඩයෙන් පස්සෙ කෙටිකතාව තවත් ගැඹුරු වෙනවා. භාග්‍යාගෙ අය්යා වෙන කෙල්ලක් බැඳලා ඔස්ටේ්‍රලියා යනවා. කථකයාගෙ ගමේ ලව් එක ටික ටික බිඳ වැටෙනවා. මේ දෙන්නගෙම ආදර සම්බන්ධතා බිඳ වැටුණත් ඒ දෙන්න අතර ආදර සම්බන්ධයක් ඇති වන්නේ නෑ. ඇති වන්නේ අමුතු මනුෂ්‍ය සම්බන්ධයක්. දෙන්න එකට ගමන් බිමන් යනවා. පුහුණුවලට යනවා. චිත්‍රපටි බලන්න යනවා. දෙන්න අතර ඇති වෙන්නෙ ආදර සම්බන්ධයත් මිත්‍රත්වයත් අතර මොකක් හරි එකක් බව කථකයා අපිට කියනවා.
දවසක් දෙන්න චිත්‍රපටියක් බල බල ඉද්දි තමයි ඔහු දකින්නෙ භාග්‍යගෙ දෙතොලෙ සරාගී ලස්සන. ‘ඕයි තමුසෙගෙ තොල් දෙක මාර ලස්සනයිනෙ’ ඔහු කියනවා.
‘මට ලිප් කිස් එකක් දෙනවකො’ ඔහු කියනවා.
ඇගේ පළමු පෙම්වතා ඈ දමා ගිය පසු ඒ තොල්වලින් හාදු දීල හෝ හාදු විඳලා නෑ. ‘පව් ඕයි ඔය තොල් දෙක’ ඔහු කියනවා.
මනුෂ්‍යයන්ට තොල් තියෙන්නෙ කතා කරන්න හිනාවෙන්න විතරක් නෙමේ. සිප ගන්නත් එක්ක. පරිණාම-ජීවවිද්‍යාත්මකව බැලුවොත් තොල්වල ප්‍රධාන කාර්ය සිප ගැනීම කියල කියන්නත් පුළුවන්. තොල් ලිංගික සංවේදිතාවෙන් යුතු සියුම් සරාග කලාපයක් සේ පරිණාමය ඔස්සේ වර්ධනය වී ඇත්තේ තවකෙකු සමග ඇති කරගන්නා යුගල සම්බන්ධතා ප්‍රීතිමත් කරන්න. ඩෙස්මන්ඩ් මොරිස් සහ තවත් අය මේවා ගැන ලියා තියෙනවා.
මේ කතාවේ කථකයා භාග්‍යා එක්ක අඳුරු සිනමාශාලාවල කොච්චර කාලෙ ගෙව්වත් ඇගේ තොල් බලෙන් ආක්‍රමණය කරන්නෙ නෑ. දවසක තම කැමැත්තෙන්ම ඈ ඇගේ සරාගී දෙතොල තිළිණ කරන්නෙ වැඩිය සෙනග නැති 138 බස් එකකදි. ඇය ‘ඇති’ කියූ විට ඔහු නවත්තනවා. ඔහු ස්ත්‍රියගේ කැමැත්තට ගරු කරන, ශිෂ්ටකමක් පෙන්වන පිරිමියෙක්.
ඒ සිද්ධියෙන් පස්සෙ ඒ දෙන්නා හාදුව ඉක්මවා කායික ප්‍රේමයේ රස නිදහසේ බුක්ති වින්දත් මේ කතාව අපට කියනකොට කථකයා මාතර. භාග්‍යා කුරුණෑගල. දැන් දෙන්න විශ්වවිද්‍යාලෙන් පිටවෙලා අවුරුදු දහයක්. කථකයා අපට මෙහෙම කියනවා;
‘කැම්පස් එකෙන් අවුට් වෙනකං අපේ ඒ නමක් නැති බැඳීම ඒ විදිහටම තිබුණා. අපි අතරෙ ගොඩක් දේවල් සිද්ධ වුණා. හුවමාරු වුණා. භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත්… දැන් අපි අවුට් වෙලා අවුරුදු දහයක්. භාග්‍යා එක්ක සියලු සම්බන්ධකම් ඇණ හිටියෙ මීට අවුරුදු අටකට කලින්. දැන් එයා කොහෙද ඉන්නෙ, මොනවද කරන්නෙ කියල මං දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ… කොහේ හිටියත් එයාටත් දැන් මං ගැන කිසිම දෙයක් දැනගන්න උවමනාවක් නැති බව විතරක් මට හොඳටම විශ්වාසයි.’
ඒ අවසන් වැකිය අපේ හදවතට සියුම් රිද්දීමක් ගේනවා. ඒක කෙටිකතාමය රිද්දීමක්. කලාවෙන් කරන රිද්දීමක්.
මේ දෙන්නා එකිනෙකාට අඳුන්නල දෙන්න නවකවධක අය්යලා අක්කලා. ඔවුන් ඒ දෙන්නව විවාහ කරලත් දෙනවා. එහෙත් ඒ දෙන්නාගේ සම්බන්ධය ජීවිතය විසින් රැගෙන යනු ලැබ ඇත්තේ ඔවුන් අපේක්ෂා කළ මිත්‍රත්වයක් හෝ විවාහයක් කරා නෙමෙයි. මිතුරුකම යැයි සමාජ සම්මත සම්බන්ධතා හෝ විවාහය නම් ආයතනය හෝ ඇසුරින් පමණක් තේරුම් ගත නොහැකි මනුෂ්‍ය සම්බන්ධතා අපමණ තියෙනවා.
අපට ජීවත්වන්නට සිදු වී ඇති දෙන ලද ව්‍යූහවල සීමා ගැන සියුම් අවබෝධයක් කතාවෙන් ඇති වෙනවා. භාග්‍යා යනු ප්‍රථම ප්‍රේමය අහිමි වීමේ වේදනාව තාමත් විඳින කෙනෙක්ද? මේ කතාවේ කථකයා සමග දිගටම ජීවත් වීමට පෙම් යුවළ හෝ අඹු සැමි යුවළ යන ගතානුගතික ව්‍යූහ තුළ ඇතුළුවීමට අකමැති කෙනෙක්ද? එසේ නම් මේ මිනිස් සබඳතාව ඉදිරියට ගෙන යා හැකි තවත් සම්බන්ධතා ව්‍යූහ නැද්ද? සියලු මිනිස් සබඳතා එසේ ඉදිරියට යන්නම ඕනෙද?
‘මගෙ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා’ කියල පටන්ගන්න කතාවක් ඇසුරින් අර වගේ ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නෙ ඇයි? මනුෂ්‍යයන් දෙදෙනෙක් තොලින් තොල ස්පර්ශයෙන් ලබන ප්‍රීතිය වර්තමානයේ අපි ‘පෙම් යුවළ, විවාහය’ ආදී නම්වලින් හඳුන්වන ව්‍යුහවලට වඩා ඉතා පෞරාණික ප්‍රීතියක් වන නිසාද?