මස්ඉඹුල ප්‍රසංගය !

Share post:

ආදරය සහ ප්‍රේමය මෙන් ප්‍රබන්ධ ලෝකය තුළ ආධිපත්‍යය දරන වෙනත් සංකල්ප නොමැති තරම්ය. කලාත්මක නිර්මාණ බහුතරයක තේමාත්මක පදනම මෙයින් බැහැර නොවේ. මෙම වදන් ද්විත්වය විටෙක සමාන අර්ථයෙන්ද තවත් විටෙක වෙනස් අර්ථවලින්ද භාවිත කෙරේ. මේ අතරින් , ආදරය යනු ප්‍රේමයේ අනුරාගී බව ඉක්මවා යන උත්කෘෂ්ට හැඟීමක් ද? ආත්මරාගයෙන් තොරව පරමානන්දය අත්කර ගැනීමක් ද? එසේත් නැතහොත් විශ්වීය වටිනාකමක පැවැත්ම සහතික කර ගැනීමක් ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට නම් අපට ආදරය පිළිබඳ සංකල්පීය ලෝකයකට පිවිස එහි සැරිසැරීමට සිදු වේ. මේ සඳහා යම් අවකාශයක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මැයි මාර ප්‍රසංගය නම් සිය අලුත්ම නවකතාවෙන් පාඨකයා වෙත ප්‍රදානය කරයි.

මෙය ඉතාම අල්ප චරිත සංඛ්‍යාවක් වටා සීමිත භෞතික පරාසයක දිගහැරෙන නවකතාවකි.මෙම සීමිතබව නිසා මෙහි පැතිරුණු කතාපුවතක් දක්නට නොමැත. සඟරාවක කටයුතු කතාබහ කිරීමට දෙමෝදරදී හමුවන මිතුරන් දෙදෙනෙකුගේ ඇසුර සහ ආදරය පිළිබඳ ඔවුන්ගේ කතිකාව ඔස්සේ කතාපුවත ගොඩනැංවේ. මෙහිදී කතුවරයා ආදරය පිළිබඳ හැඟීම සිත තුළ විකසිත වන ආකාරයත් එය ප්‍රකාශවන ආකාරයත් මතු කිරීමට උත්සාහ ගනී . මේ අනුව පාඨකයා කතාවට වඩා හැඟීම් කලාපයක රඳවා තැබීම ඔහුගේ අරමුණ වී ඇත. මේ නිසාම ඔහුට ස්වාභාවික පරිසරය , මැයි මාර ගස සහ වෙනත් සංකේතමය ඉදිරිපත් කිරීම් වෙත වැඩි වශයෙන් නැඹුරුවීමට සිදුව තිබේ.

මෙහිදී මස්ඉඹුල තම පෙර නවකතා දෙකට වඩා වෙනස් ආඛ්‍යාන රටාවක් අනුගමනය කරයි. මේ අනුව ඔහු යථාර්ථයට වඩා ෆැන්ටසිය සමඟ පොරබැදීමක නිරත වේ. මේ නිසා ආදරය පිළිබඳ හැඟීම සමීපව නිරීක්ෂණය කිරීමට පාඨකයාට ඉඩ සැලසෙයි. ආදරය සහ වරදකාරිත්වය එකිනෙකින් වෙන් කළ නොහැකි අයුරුත් මැයි මාර ගස ආදරයේ මෙන්ම වරදකාරිත්වයේ සංකේතයක් වන අයුරුත් අතිශයින් සිත්ගන්නා පරිකල්පනයකි.එහිදී දරාගැනීමට වඩාත් අපහසු ආදරය ද වරදකාරිත්වය ද යන්න නිශ්චිතව තීරණය කිරීමේ අවස්ථාවක් කතුවරයා පාඨකයාට ලබා නොදෙයි. ආදරය පවත්වා ගෙන යාමට වරදකාරිත්වය හෝ රැවටීම අවශ්‍ය ද යන පැනය හමුවේ පාඨකයා විපිලිසර වේ. ස්වාභාවික මැයි මාර මල් වෙනුවට කෘත්‍රිම මල් යෙදීම වැනි පරිකල්පනයක් ආදරය පිළිබඳ අනිශ්චිත හැඟීම තවදුරටත් තීව්‍ර කරයි.දුර සිට බැලූවිට ස්වාභාවික සහ කෘත්‍රිම මල් අතර වෙනස හඳුනා ගත නොහැකිය. එහෙත් “ගස්වල මල් තියෙන්න ඕනෙ වාරෙකට. වාරෙයි අවාරෙයි කියලා වෙනසක් නැතුව මල් තියෙනවා කියන්නෙම අවුලක්.” මෙම රූපකය සහ ප්‍රකාශය ආදරයට ආදේශ කළවිට පාඨකයාට සෑහෙන දුරක් ගමනේ යෙදිය හැකි වේ.

මෙම කතාපුවත ඉදිරිපත් කිරීමට මස්ඉඹුල යොදා ගන්නා ආඛ්‍යාන ශෛලිය ආදරයේ අනියත හැඟීම මැනවින් ඉස්මතු කරයි. ඒ අනුව මෙහි ආදර වස්තුව ලෙස සැලකෙන ‘ඇය’ කව්දැයි අපි නිශ්චිතව නොදනිමු. ඒ සැබෑ මිනිස් දුවක්ද? සංකල්ප රූපයක් ද? හැඟීමක් ද? කතුවරයා අවට පරිසරය , මැයි මාර ගස සහ වෙනත් ආනුශාංගික සංකේත සමඟින් මෙම අනියතබව නවකතාව පුරාම පවත්වා ගෙන යයි. ඔහු නඩත්තු කරන මෙම අනියතබව පාඨක පරිකල්පනය සාරවත් කිරීමට මහඟු අනුබලයක් සපයයි. මේ නිසා පාඨකයාට මෙම පරිසරය , චරිත සහ හැඟීම් සමඟ එකිනෙකට වෙනස් ආකාරයක සංවාදයක් ගොඩනංවා ගැනීමට හැකියාව ලැබේ.

මස්ඉඹුල කවදත් ඇලුම් කරන කවි බස මෙම නවකතාවේ ද අඩුවක් නැතිව පවතී. මෙහිදී ඔහු එම කවි බසට ගැලපෙන ආකාරයට තේමාත්මකය හැඩගන්වා ගැනීමට තැත් කරන බව පෙනේ. කවි බසට කතුවරයා දක්වන මෙම ලාලසාව නිසා පාඨකයාට මෙන්ම ලේඛකයාටද තේමාත්මකව එක තැන කැරකැවීමට සිදුවන බවක් හැඟේ. දිගු නවකතාවක් දක්වා වර්ධනය කිරීමට අපමණ අවස්ථා තිබෙන තේමාවක් කෙටි නවකතාවක ඉරණමට ගොදුරු වී ඇත්තේ එහෙයිනි. නවකතා ප්‍රබන්ධයේදී කවි බස නම් වියගසින් ගැලවීමට මස්ඉඹුලට කාලය එළඹ ඇතැයි සිතේ.

  • උදිත අලහකෝන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...