සමිත බී අටුවබැන්දෑල කවියා දශක දෙකක් ඉක්මවූ මතකයක් කාව්‍ය රසිකයන් අතර සටහන් කළ රසවතෙකි. සංසාර මාවත2003, කඳු මුදුන(2014)කවි පොත් දෙකට අමතර ව කෙටිකතා සහ තීරු ලිපි පොත බැගින්ද ඔහුගේ කර්තෘත්වයෙන් පළ වී තිබේ.
ඔහුගේ නවතම කවි එකතුව “හිත හදාගත් කෙනෙක්” මැයෙන් පළ ව ඇත.
නූතන සිංහල කවියෙහි ස්වකීය මුද්‍රාව තැබීමට සමත් වූ සමිතගේ කවිය එක් අතකින් නූතන සිංහල නිදහස් කවියේ පුරෝගාමීන්ගේ ඇතැම් අත්හදා බැලීම්වල සාධනීය ලක්ෂණ අත්පත් කරගෙන පශ්චාත් නූතන නිදහස් කවිය වෙත නව්‍ය සම්ප්‍රදානයක් එක් කිරීමේ උත්සාහයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.ඒ ඔහුගේ කවිය කියවිය හැකි එක් මානයක් පමණි.
බහුවිධ මාන මෙහිදී හඳුනාගත හැකිය.සම්භාව්‍ය සාහිත්‍යයෙහි හෝ ජන සාහිත්‍යයෙහි ඇතැම් ආකෘතීන් නව්‍ය අත්දැකීම් ඔස්සේ සමතික්‍රමණය කිරීම සමිතගේ කවි බොහොමයකින් හඳුනාගත හැකිය.ඔහු එම කවිවලට අලංකාරය ගෙනෙන්නේ උත්ප්‍රාසයෙනි.
ඔහු යථාර්ථවාදී කවියෙකි. යථාර්ථය මිනිස් දිවියට හතුරුවීම පිළිබඳ සැර විවේචනයක් මේ කවියාට ඇතත් සූක්ෂ්මාත්මතා ගුණය සහිත කවියකු හැටියට ඔහු උත්ප්‍රාසාලංකාරය තම කවියෙහි ජීවය බවට පත් කරයි.
කොවුල් ඊ සංදේශය,කපුටාට කී කවි,අසූ නවයේ කිඳුරු වලප,ගස සහ වස්කවිය,ගජගා වන්නම,කුවේණි,කිඳුරු වලප යනාදී කවිවල ජීවගුණය ඇත්තේ මෙකී උත්ප්‍රාසාලංකාරය මතය.
කුවේණී මැයෙන් යුත් කවිය උපුටා දක්වමි.
මල කෑ ට්‍රොලියේ යකිරි කිරි හඬේයා
ආතුර පංකාය ඝෝෂා ගඟේයා
සුදු ඇතිරිල්ලේය කොහු මෙට්ටයේයා
සේ රන් මලේය පුතු ඉපදුණේයා
හොඳ ම වචන පුතු කන ලා හැඩ බලමි
හොඳම දියෙන් නාවාලා පුතු සිඹිමි
හොඳම වැඩම මුතුහර ගෙල පලඳවමි
අම්මා මතු නොවේ අප්පත් මම ම වෙමි
කොහු මෙට්ටේ සැප නින්දේ ඉන්න හැටි
අත් හොලවා මුව හරවා නටන හැටි
සුරන් දුන්න තෑග්ග උඹ තමයි පැටී
රටක් නැතත් උඹ මට මහ රටක් වටී
‘කුවේණි’ යයි මග දිගටම ගල්වැදුණී
බඩේ කුසුම පර වන්නට ඉඩ නොදුණී
විජය තොපේ හැටි කවදත් ඔහොම වුණී
ලංසි කෙල්ල සමගින් තොප යන්ට වුණී
කටු කටු කටු කටු කටු කටු කටු ගාලේ
පුංචි පුතා මල පිපිලා පිලක් දිලේ
මං කළු වුණත් මගෙ සිත සුදු තමයි බොලේ
අප්ප මොට ද ඌ ගියදෙන් කෙහෙම්මලේ!
කවියා සමකාලීන අත්දැකීමක් කාව්‍යානුභූතියක් බවට පත්කිරීම සඳහා ජනකවි රීතිය සහ කුවේණි පුරාණෝක්තිය නිර්මාණාත්මක ව වහල් කොට ගනී.
කවියා සමකාලීන විඥානය ස්පර්ශ කිරීම සඳහා තවත් අවස්ථාවක සංදේශ සාහිත්‍යාකෘතිය භාවිතයට ගනී.
කොවුල් ඊ සංදේශයෙහි අවසන් කවි දෙක උපුටමි.
තවරකර කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැලඳ මන කල
කවරදාත් මනාප ගෙන ඡන්දවල
එපුර හිඳිති මන්තිරිවරු සඳලුතල!
ගැයීමට දත් කළු කොවුල් සඳ
නැති නිසා කනක කහවණු සඳ
‘ගායක’නොවුණ මහා රන් කඳ
ඉතිං ගෙට යනු දූලි විනිවිද
කවියා අනුදත් මේ කවි මග අපට නුහුරු වූවක් නොවේ.එමෙන්ම එය අඩුවැඩි වශයෙන් නූතන කවියට ද පිවිස තිබේ.
ස්ත්‍රී චරිත අමතන කථකයන් සමිතගේ ඇතැම් කවිවල පොදු ලක්ෂණයකි.එහෙත් ඒ කවිවල ස්ත්‍රිය කේන්ද්‍ර කරගනිමින් පොදු සමාජ සත්තාවක් දකින්නට කවියා ඇරියුම් කරන අතර ම එහි සංකීර්ණ ජීවන වියමනක් ද රසිකයාට සමීප රූපයක් බවට පත් කෙරෙයි.අබද්‍රා,පද්මිණී,චන්ද්‍රා,විනිෆ්‍රීඩා මේ කෘතියෙහි අපට හමුවන එබඳු චරිත වෙත්.
සංකේත භාවිතය කවියෙහි ආත්මය බවට පත්වූ අගනා කවියක් මේ කෘතියෙහි ඇතුළත් ය.එය නම්කර ඇත්තේ ලොකු අක්කා නමිනි.
මහගෙදර
මහලු කොස් ගහ දකිනකොට
අක්කා මතක්වෙයි මට.
ඇගේ හිස අතගාන්නාක් මෙන්
කොස් ගහේ පිට අතගාමි
ඉඳහිට ගමට ගිය විට
අක්කාගෙ අත
අල්ලා බැලීමි පෙර
කොස් කපා
මදුළු ගලවා
කොස් ඇට තළා
ඇගේ අත
කොස්කට්ටක් මෙන් ගොරහැඩිය.
අක්කාගෙ අත
කිසිවෙකුත් නොගනීවියි
සිතුණි මට.
ආත්තම්මා තෑගි දුන්
අක්කාගෙ පොඩි කොස් අල්මාරියේ
පරවුණ
පරණ පනාමල් ඇති
චීත්ත දෙකක් ඇත.
පැණි වරකා කෑ කලක මෙන්
අලුත් මල් පිපී බැබළෙන
ඇඳුම් පාත්තියක් එහි නැත.
අක්කා දෙස
කිසිවකුත් නොබලාවියි
සිතුණි මට.
අක්කාට
කොස් කොළ ඔටුන්නක් පලඳවා
හැඩ බැලීමු අපි.
රනින්ම නිමැවුණ
සිනාවක් මිස
අක්කාගේ අතෙහි කනෙහි ගෙලෙහි
කිසිත් නැත.
අපේ අක්කා
කිසිවෙකුටත් නොවටීවියි
සිතිණි මට.
අක්කා බලන්නට පැමිණ
යළි නොඑන්නට සිතාගෙන යන
එකෙකුට
කොස් ගහේ සැඟවී සිට
ගල් ගැසීමු
මල්ලියි මමයි දිනෙක
කුණු වැළගෙඩියකට
ගල් ගසන කලක මෙන්.
තරු පේන්ට
අඹරවා කන්,
කොස්ගෙඩියක් වැටුණාක් මෙන්
හිස හිල්වෙන්ට
අක්කා එදා ඇන්න ටොක්කෙහි සලකුණ
තවම තියෙයි හදවතේ රවුමට
කෙස් ගහක් විතර ලොකුවට
ආදරේ පාටට.
මහගෙදර
මහලු කොස් ගහ දකිනකොට
අක්කා මතක් වෙයි මට.
ඇගේ හිස අතගානාක් මෙන්
කොස් ගහේ පිට අතගාමි
ඉඳහිට ගමට ගිය විට.
කොස් ගහේ ජීවිතය සහ ලොකු අක්කාගේ ජීවිතය දෙකක් නොව එකකි.ලොකු අක්කා ජීවතුන් අතර නැති බව හැඟේ.එහෙත් කොස් ගස තවමත් ඇත.කොස්ගස දකින මල්ලීට ලොකුඅක්කා සිහිපත් වෙයි.ඇගේ හිස අතගාන්නාක් මෙන් කොස් ගහේ පිට අතගාන්නේ එහෙයිනි.
ගැමිගෙවල මවට නොදෙවෙනිව පවුලේ බර ඇද, කලට විවාපත් විය නොහැකිව අකලට පැසී එකලාව මියයන අක්කලා පිළිබඳ ජීවන විත්ති අපට හොඳින් පුරුදු ය.ඒ ජීවිතය කොස්ගස සහ එහි අංගෝපාංග සංකේත ලෙස ගනිමින් නිමවා ඇති මෙකව සමිතගේ සියලු අත්හදා බැලීම් අතර පරිපාකයට පත්වූ කාව්‍යපලයක් යැයි කීම යුක්ති යුක්තය.සමිතගේ කවියෙහි අනන්‍යතාවද එහි සාරපලය ද ඇත්තේ මෙතැනය.
පොඩි සමන්ත මැයෙන් යුත් කවියද මේ කෘතියෙහි ඇතුළත් සුවිශේෂ නිර්මාණයකි.
සමාජ අසාධාරණයට එරෙහිව ජීවිතය දුන් එළවළු විකුණන තරුණයකුගේ ජීවන පුවත කවියට ප්‍රස්තුත වෙයි.
කවියේ ඇරඹුම මෙසේය.
ගොස්
උපන් ගමට
පුතා සමග මේ ඉරිදා හවස
ගම පුරා ඇවිදිමි.
පාළු වත්තේ
ගොඩ ගැහුණු
පොඩි පස් ගොඩැල්ලක් යට
පොඩි සමන්ත නිදන බව
පුතාට පෙන්නමි මම.
‘ඉස්කෝලේ මහත්තයා දැන් නිදාගන්න’ කවිය නිදහස් අධ්‍යාපනය තල්ලු වී ඇති දිශානතිය පිළිබඳ හරස්කඩක් වැන්න.සමිතගේ කවියේ සමාජ වියමන නොසලකා නොහැරිය යුතු මාතෘකාවකි.විවිධ සමාජ තීරුවල ජීවත්වන මිනිසුන්ගේ ජීවන අරගලය,අපේක්ෂා,ගැටුම්,වේදනා යන මේ සියල්ල සංකීර්ණත්වයෙන් මුදවාගෙන එයින් ජීවන අංශුවක් කාව්‍ය කැටපතක් බවට පත් කිරීමට සමත් බසක් සමිතට ඇත.
එය ව්‍යාජත්වයෙන් තොර ය.
සමිත බී අටුව බැන්දෑල කවියාගේ කවියට ආදරය කරමින් ඔහුගේ අඛණ්ඩ සාහිත්‍ය ගමනට සුබ පතමි.