බියගම පොලිසියෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර සැකකරුට ඇප ගන්න පහසු කරලා : පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සියලු වාර්තා කැඳවයි !

Share post:

බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක්, අධිකරණයෙන් ඇප ලබාගත හැකි වන පරිදි ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කොට අදාළ සැකකරුට ඇප ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මේ විමර්ශනය ආරම්භ කර ඇත. එම ඒකකයේ පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඒ.ආර්. බණ්ඩාර විසින් මෙම සිදුවීමට අදාළ සියලු විස්තර ලබාදෙන ලෙස බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලිඛිත ව දැනුම් දී තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාළ සම්පූර්ණ සිදුවීම, එම අත්අඩංගුවට ගැනීම ගැටළුවක් කරගනිමින් හැසිරුණු සහ සිදුවීම වීඩියෝ කළ පොලිස් කොස්තපල්වරයාගේ රාජකාරි ස්වභාවය, ඔහුගේ වෙනත් තොරතුරු, ව්‍යාපාර හෝ වෙනත් අක්‍රමිකතා පිළිබඳ විස්තර, අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙර වැරදි සහ ඔහු පිළිබඳ වාර්තා මෙසේ පොලිස් අධිකාරිවරයා විසින් ඉල්ලා ඇත.

බියගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පසුගිය දෙසැම්බර් 23දා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී ය. බියගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගමගේ, පොලිස් කොස්තාපල් ජයවර්ධන සහ පොලිස් කොස්තාපල් ජයසිංහ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා සහභාගී වී ඇතැයි වාර්තාවල දැක්වේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු සතුව තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ සත්‍ය තොරතුරු පොලිස් පොත්වල සටහන් කර ඇත. වැටලීමට සහභාගී වූ නිලධාරීන් ද මෙම විස්තර සිය රාජකාරි ගමන් සටහන් පොත්වල සටහන් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බියගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ගැටළු සහගත ලෙස හැසිරී ඇති අතර, සැකකරු වීඩියෝ කිරීමට සහ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් වීඩියෝ කිරීමට කටයුතු කර ඇත. සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප අතර මෙම කොස්තාපල්වරයාගේ ඡායාරූප ද තිබී ඇතැයි වාර්තා වේ.

ඉන්පසු අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් කරන ලෙස බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග ලැබී ඇති බවත්, එය සැකකරුට පහසුවෙන් ඇප ලබාගත හැකි ප්‍රමාණයක් දක්වා අඩු කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවත් වාර්තා වන අතර, එම උපදෙස් ඒ ආකාරයට ම ක්‍රියාත්මක වී තිබේ. ඊට හේතුව ග්‍රෑම් 5ට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහොත්, ඔහුට ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය දක්වා යෑමට සිදුවීම ය.

ඉන්පසු සිදු වී ඇත්තේ B/5905/23 යටතේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 550ක් පමණක් සැකකරු සමග අධිකරණයට ඉදිරිපත් කිරීම ය.

වැඩිදුරටත් වාර්තා වන්නේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු විසින් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, බියගම පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටියගෙන් මේ ගැන විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් සම්බන්ධයෙන් තමන් මෙතෙක් නොදැනුවත් බවයි. තමන් අදාළ රාජකාරි ප්‍රදේශයට පැමිණියේ ජනවාරි මාසයේදී බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...