ත්‍රස්ත විරෝධී කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය වගකීම නිවැරදිව ඉටුකර තිබේද?

Share post:

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (20) නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරන ලදි.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් මෙම කෙටුම්පත ගැසට් කරන ලද්දේ 2023 සැප්තැම්බර් 15 දින ය. එය 2024 ජනවාරි 11 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලදි. ඉන්පසු එය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 31ක් ඉදිරිපත් විය. එම පෙත්සම් ජනවාරි 26, 29, 30, 31 සහ පෙබරවාරි 01, 02 දිනවලදී විභාගයට ගැනිණි. විභාගයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාවට අනුව ඊට අදාළ නියෝගය පාර්ලිමේන්තුවට යොමුකෙරිණි.
එම ව්‍යවස්ථාවට අනුව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිඛිත දැනුම්දීමකින් හෝ පුරවැසියන් විසින් ගොනුකරනු ලබන පෙත්සම් මගින් එහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර ගත හැකිය. එනම් එය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද, නැද්ද යන්න පිළිබඳ නියෝගයක් ලබාගත හැකිය. මෙසේ ඉදිරිපත් වන පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය කතානායකවරයා වෙත යොමුකරන තෙක් පාර්ලිමේන්තුවේදී ඊට අදාළ කිසිම පියවරක් ගත නොහැකිය. එනම් එතෙක් එය පාර්ලිමේන්තු සභාවේදී විවාදයට ගත නොහැකිය. සම්මත කොට නීතියක් බවට පත්කළ නොහැකිය.

එම ක්‍රමවේදයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුවට අනුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර, එම වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතුය.
කෙටුම්පතේ 4 වැනි වගන්තිය ද සුදුසු පරිදි සංශෝධනය කළ යුතුය.
72(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතුය. ඒ සමග ම 72(2) වගන්තිය ද සංශෝධනය විය යුතුය.
කෙටුම්පතේ 75(3) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ දක්වා තිබේ. එම නිසා එය ද තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව අධිකරණය සඳහන් කර ඇත.
එසේ ම කෙටුම්පතේ 83 (7) වගන්තිය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කළ යුතු වේ.

මෙම නියෝගයේ සඳහන් සංශෝධනවලට යටත්ව පමණක් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමුකර ඇති අදාළ තීන්දුවේ සඳහන් ය. මාර්ගගත ආරක්ෂණ (ඔන්ලයින්) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය යොමු කළ තීන්දුවේ ද මෙසේ සඳහන් විය. එහෙත් එය සම්මත කිරීමේදී අධිකරණය විසින් නියම කරන ලද සංශෝධන විධිමත් පරිදි ඇතුළු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කළ ලිපියක් මගින් ද මේ බව අවධාරණය කර තිබිණි.

එම නිසා මෙවැනි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධිකරණයට ඇති වගකීම ද සුළුපටු නොවේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති එච්.ඩබ්ලිව්. ජයවර්ධන විශ්‍රාම යන මොහොතේ එවකට හිටපු අගවිනිසුරු වික්ටර් තෙන්නකෝන් අධිකරණයේ වගකීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් මෙසේ උපුටා දක්වන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මීට අදාළ පෙත්සම් විභාගයේදී ය.
‘කුමන ජාතියකට, කුමන ලබ්ධියකට කුමන දෘෂ්ඨියකට අයත් වුණත්, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වන සියලු මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා මේ රටේ සවිඥානිකව සැලසුම් කර, බිහි කර තිබෙන ආරක්ෂණය වන්නේ අධිකරණයයි. එය සජීවී නීතියක් බවට පරිවර්තනය කිරීමත්, මානව නිදහස පිළිබඳ විශිෂ්ඨ වූ සහතිකයක් පවත්වාගෙන යෑමත් තරම් වැදගත් වූ අන් කිසිදු රාජකාරියක් හෝ වගකීමක් විනිසුරුවරයෙකු මත රඳාපවතින්නේ නැත.’

මෙහිදී උදාහරණයක් ලෙස ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය ම ගතහොත් එහි 3.1හි, මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීතිවිරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව හෝ යුද්ධය ව්‍යාප්ත කිරීමේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමේ හෝ එහි ස්වෛරී බව කඩ කිරීමේ අරමුණින් යුතුව සිදු කරනු ලබන යම් තැනැත්තෙකු ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කරනු ලබන්නේය යනුවෙන් සඳහන් ය.
ඒ අනුව එම බලපෑම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් යන තුනට ම ඇතුළත් ය.
එහි 2 වැනි කොටසේ මෙසේ දැක්වේ.
‘යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතළ අලාභහානි සිදුකිරීම….’
මේ යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දේපොළ පිළිබඳව සහ ඒවාට ඇතුළු වීම, අලාබහානි කිරීම පිළිබඳව දැක්වේ. මෙහි පැහැදිලි කිරීමට අනුව මහජන භාවිත ස්ථානයක් යනු අදාළ වේලාවේදී මහජනතාවට ඇතුළුවීමට අවසර ඇති ස්ථානයක් හෝ මහා මාර්ගයක් හෝ පරිශ්‍රයකි.
මෙවැනි වගන්තියක් සම්බන්ධයෙන් සැලකිය යුත්තේ මෑතකාලීන උදාහරණ ද සහිතව ය. දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්ති, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ වගන්ති, පොදු දේපොළ පනතේ ඇතැම් වගන්ති, මාර්ග ආරක්ෂාවට ඇති නීති සියලු ආණ්ඩු යටතේ අවභාවිත වන ආකාරය පසුගිය කාලයේදී දැකිය හැකි විය.
එසේ ම සංඥා සම්ප්‍රේෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික, ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතියකට බරපතළ බාධා ඇතිකිරීම හෝ අලාභහානි සිදු කිරීම හෝ ඒ සදහා මැදිහත් වීම ත්‍රස්තවාදී වරදකට හේතු වන බව ද මෙහි දැක්වේ.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් සාධාරණ හේතු මත විරෝධතාවක යෙදෙන විට, විකාශනයට බලපෑමක් එල්ල වුවහොත්, මීට අනුව එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙෂ හැඳීන්විය හැකිය.
මහජන භාවිත ස්ථානයකට බරපතළ අලාභහානි සිදුකිරීම යන කරුණ 2022 වසරේ උදාහරණ මගින් සලකා බැලිය හැකිය. විරෝධතාවකදී විරෝධතාකරුවන් විසින් කලාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකළේය. ඒ අනුව තාර පාරේ තීන්තවලින් අත් ලකුණු තබන ලදි. එය මාර්ගයට හානිකිරීමක් ලෙස සලකමින්, පොදු දෙපොළ පනත යටතේ එම පිරිස අත්අඩංගුවට ගැනිණි. ආණ්ඩු විසින් මෙවැනි නීති අවභාවිත නොකරනු ඇතැයි කිසිවකුට සහතික දිය නොහැකිය.
කෙසේ වෙතත් මෙහි 3 වැනි වගන්තියේ අර්ථ නිරූපණයට විරෝධතා අදාළ නොවන ලෙෂ සංශෝධනය කළ යුතු යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වේ. එය සාපේක්ෂ ව වඩා යහපත් තීන්දුවකි.

මෙය නීතියක් බවට පත්වුවහොත්, ඒ යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන පුද්ගලයන්ට අදාළ ව නීතිපතිවරයාට වැඩි මැදිහත්වීමක් සිදුකිරීමට කෙටුම්පත මගින් ඉඩ හදා තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිත්‍යය වගන්තියට සෘජුව ම බලපාන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ වඩාත් සාධනීය කරුණු රැසකි. එහෙත් පෙත්සම් විභාගයේදී දිගින් – දිගටම සඳහන් කෙරුණු හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලය සෘජු ව ලබාදීමත්, මහජන ආරක්ෂක පනතෙන් ඊට ඇති සීමා මෙම නීතියෙන් නැති කර තිබීමත් සම්බන්ධයෙන් සඳහන් කර නැත.
ඒ සම්බන්ධයෙන් පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරන ලද්දේ මෙසේ ය.
‘පනත් කෙටුම්පතේ 19 වැනි වගන්තිය බැලුවොත්, එහි සඳහන් වන්නේ පොලිස් නිලධරයෙකු සහ වෙනත් නිලධරයන් විසින් සිරභාරයට ගැනීම පිළිබඳව. මේ පනත යටතේ වන වරදක් කර ඇති බවට හෝ වරදක් සිදු කිරීමට සම්බන්ධ වී ඇති බවට ඔහු විශ්වාස කරන පරිදි විශ්වසනීය වන තොරතුරක් හෝ පැමිණිල්ලක් ඒ පොලිස් නිලධරයා, සන්නද්ධ හමුදා සාමාජිකයා හෝ වෙරළ ආරක්ෂක නිලධරයා වෙත ලැබෙන්නේ කවර තැනැත්තෙකු සම්බන්ධයෙන් ද, එවැනි යම් තැනැත්තෙකු වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගත හැකිය.
දැනට මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන නියෝග මත පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට ලබා දී තිබෙනවා. පනතේ 12 වගන්තිය අනුව සම්පූර්ණ හමුදාව හෝ කොටසක් කැඳවිය හැකියි. දැනටමත් ජනාධිපතිවරුන් හමුදාව මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් කැදවීම සදහා නියෝග නිකුත් කරනවා. ඒවා මාසිකව අලුත් කරනවා. පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම යන පොලිස් කාර්යභාරයන් හමුදා නිලධාරීන් සතු කිරීමට හැකියාව ඇතත්, එයට මහජන ආරක්ෂක පනතේ සීමා පවතිනවා. උදාහරණයක් ලෙස එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා මහජන ආරක්ෂක පනතේ 21 වගන්තිය අනුව යොමු කළ යුතුයි.
එහෙත්, එම පනත යටතේ හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම ව්‍යතිරේඛයක්. එදිනෙදා සාමාන්‍ය තත්වය නෙවෙයි. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අනුව එලෙස හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අපි දන්නවා යම්කිසි හදිසි කැරළි තත්වයකදී, පොලීසියට පාලනය කළ නොහැකි තැනකදී මහජන ආරක්ෂක පනත යටතේ හමුදාව කැදවීම සිදු කළ හැකි ව්‍යතිරේඛ තත්වයක්. ඒ වගේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අවසන් වූ විගස, සහරාන් කල්ලියේ අත්අඩංගුවට ගැනීම් සදහා හමුදාව යොදාගැනීම අපි විරුද්ධ වූ තත්වයක් නෙවෙයි.
එහෙත්, පොලීසියට යම් පුහුණුවක් තිබෙනවා අත්අඩංගුවට ගත හැක්කේ කාවද, නොහැක්කේ කාවද කියා. පුහුණුව තිබියදී තමයි පොලිස් අත්අඩංගුවට ගැනීම් පිළිබද ගැටලු පවතින්නේ. එහෙත්, මෙම පනත අනුව හමුදා සෙබලුන් සිවිල් කටයුත්තක් වන අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල යෙදීම සාමාන්‍ය තත්වයක් බවට පත් වේවි.’

මීට අමතරව පනත් කෙටුම්පතේ 9, 10 සහ 11 වගන්ති සෘජුව ම ජනමාධ්‍ය භාවිතයට අදාළ වන බව ද පෙත්සම් විභාගයේදී දිගටම පෙන්වා දෙන ලදි. ඒ සම්බන්ධ කරුණු ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නොවේ. මේ සම්බන්ධයෙන් පෙත්සම් විභාගයේදී නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සඳහන් කළේ මෙසේ ය.
‘පනත් කෙටුම්පතේ 9 වැනි වගන්තිය ගැන මම කරුණු මතු කරනවා. ඒ අනුව තොරතුරු රැස් කිරීම වරදක් ලෙස සඳහන් කරනවා. එය 10.1 වගන්තිය සමග කියවූ විට මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ වෙනත් ආකාරයක ප්‍රසිද්ධ මාධ්‍ය ඇතුළත් වෙනවා. ඊට අමතරව පනතේ පැහැදිලිව විස්තර කර නොමැති ත්‍රස්තවාදය නම් වූ වරද සිදු කරන හෝ එය උත්කර්ෂයට නංවන ආදී වශයෙන් වැරදි නම් කරලා තියෙනවා.
ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය අපැහැදිලියි. රාජ්‍යය විසින් ඇතැම් විප්ලවීය ක්‍රියාමාර්ග නිත්‍යානුකූල ලෙස පිළිගත යුතුයැයි මා සිතන්නේ නෑ. එහෙත්, අදහස් ප්‍රකාශනයේදී කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් වැනි කෘතියක් ගැන කරුණු දැක්වීමත් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලෙස කල්පනා කිරීමට ඉඩ තිබෙනවා.
මතක තබාගත යුතුයි, මෙහිදී අප සලකා බැලිය යුත්තේ විමර්ශකයාගේ මානසිකත්වය. අහ්නෆ් ජසීම් කියන තරුණයාව අත්අඩංගුවට ගත්තේ, විමර්ශකයා දෙමළ භාෂාව නොදත් නිසා. ඔහු ලියා තිබූ කාව්‍ය කෘතියක කවරයේ තිබුණු ඡායාරූපය අනුව ඔහු අත්අඩංගුවට ගත්තා. ඉන්පසු මාස ගණනාවක් ඔහුව රදවා තැබුවා. මේ පනතෙන් මහා බලතල ප්‍රමාණයක් ලබා දී ඇත්තා වූ, විමර්ශකයන් විසින් පනත කියවාගන්නේ කෙසේද කියන එක වැදගත්.
ලිවීම විතරක් නෙවෙයි, වැරදීමක් පවා ත්‍රස්තවාදියෙක් වීමට මෙම පනතින් හේතුවෙනවා නම් එය බරපතළයි.’
මෙවැනි තත්ත්වයක් යටතේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරියට යමින් තිබේ. අධිකරණයේ නියෝගවලට අවනතව, ජනතාවට අයහපතක් නොවන පරිදි නීති පැනවීම පාර්ලිමේන්තුවේ කාර්යභාරය බව අවධාරණය කළ යුතුය.

ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...