කවි නිර්මාණය යන්න අද සමාජයෙහි බෙහෙවින් ජනප්‍රිය භාවිතාවක් බවට පත්ව තිබේ. කවි යන කලාපය තුළ ලියවෙන සියල්ලම කවිද යන්න ගැන අපට දීර්ඝ වශයෙන් වාද විවාද කළ හැකි වුවද මේ මැදිහත්වීම කෙසේවත් නොතකා හරින්නට නොහැකිය. එසේම ඒ අතරම කවිය යනු හුදු සිතට එන සියල්ල එලෙසින්ම ලිවීම හෝ එසේ ලියනා සෑම දෙයම නිරායාස කවි ලෙස හැඳීන්වීම සාධාරණද යන්න ගැන අප දැඩි අවධානයක්ද යොමු කළ යුතුය. ඒ කවිය යනු බෙහෙවින් බරසාර මැදිහත්වීමක් වන හෙයිනි.
මේ වටහා ගන්නට අන්නා ගොරෙන්කෝ ගේ දායකත්වය ම සෑහෙයි. මේ ගොරෙන්කෝ යන්න තුළ අප අදහස් කරනා කිවිඳිය හඳුනා ගැනීම අසීරු වුවද අන්නා අක්මතෝවා යනුවෙන් ලියන විට ඇය නොදන්නේ ඉතා සීමිත පිරිසක් පමණකි. අන්නාගේ මුල් නම වාසගම වන ගොරෙන්කෝ අක්මතවො වීමම කවිය කෙරෙහි අපේ කැපවීම වටහා ගන්නට මනා මිනුම් දණ්ඩක් සපයයි. අන්නා කවිය කෙරෙහි සමීප වීම ඇගේ පියාගේ නොරිස්සුමට හේතු වන්නක් වූ හෙයින් ඇයට තෝරා ගැනීමක් ඉතිරි විණි. ඇය එහිදී තෝරා ගන්නේ කවියයි. කිවිඳියක ලෙස ජීවිත අරමුණ පිහිටුවා ගැනඹ පියාගේ නොසතුටට හේතු වන විට ඇය කරනුයේ ඔහුට සිය නම්බුව බේරා ගැනීමට හැර අක්මතෝවා යන වාසගම තෝරා ගැනීමයි. ඉදින් කවිය කෙතරම් බරපතල කටයුත්තක් දැයි වටහා ගන්නට අක්මතෝවාගේ කවිය මෙන්ම ඒ කවිය හේතුවෙන් ඇයට විඳින්නට වන කටුක තත්වයන් කෙරේ අප අවධානය යොමු කළ යුතුය. ඇය කතක ලෙස කළ මැදිහත්වීම යනු රුසියානු කවියෙහි දැවැන්ත කොටසක් බව කීම දැනට සෑහේ යයි සිතමි.
අක්මතෝවා ගේ මැදිහත්වීම ගැන මේ වදන් කිහිපය සටහන් කරන්නට සිතුණේ මෑතක පටන් අපේ කවිය තුළ කාන්තා මැදිහත්වීමේ වේගවත් වර්ධනය සලකා බලන විටය. මෑත කාලය තුළ කිවිඳියන් විසින් කවියට සැපයූ දායකත්වය තුළ නවක කිවිඳියන් මෙන්ම පරිණත කිවිඳියන්ද කවියෙහි පෝෂණයට කළ එකතු කිරීම් දනවනුයේ මහත් ප්‍රසාදයකි.
මෑත කාලය තුළ එනම් මාස දොළහකට අඩු කාලයක් තුළ අපේ කවියට තම නම එකතු කළ නවක කිවිඳියන් තිදෙනකු ගේ නිර්මාණයන්හී කැපී පෙනෙන ලක්ෂණයක් සලකා බැලීමට මෙහිදී අදහස් කෙරේ. ඔවුන් තිදෙනා නියැදියක් ලෙස ගැනීමට බලපෑ එක් හේතුවක් තිබේ. ඒ ඔවුන් තිදෙනාම රාජ්‍ය සේවයෙහි නියුතු වූවන් නැතිනම් කන්තෝරුකාරියන් වීමයි. ඉන් රසිකා මුහන්දිරම්ගේ යනු රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ කථිකාචාර්යවරියකි. ප්‍රියංගිකා සෝමපාල යනු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකි. සමන්ති මිහිඳුකුල යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකි. මේ තිදෙනාගෙන් රසිකා වැඩි බරක් තබන්නී නිදහස් පද්‍ය ආකෘතියටය. ප්‍රියංගිකා නිදහස් පද්‍ය ආකෘතිය මෙන්ම සැඳැස කෙරෙහිද සමාන බරක් තබද්දී සමන්තී ඉහලම බරක් තබනුයේ අපේ ජන කවියෙහි හැඩරුව කෙරෙහි සමීප වන්නටය. තිදෙනාම කවියෙහි ලා භාෂාව භාවිතා කරනා ආකාරයෙහි ඇති සැලකිලිමත් භාවය ඔවුන් සිය කුළුඳුල් කවි එකතුවෙන්ම මනාව විශද කර සිටින්නෝය. රසිකා උපහාසය මනාව භාවිතා කරද්දී අනෙක් කිවිඳියන් දෙදෙනාම වඩා සංවේදී බස් වහරක් කෙරෙහි විශ්වාසය තබති. මේ තිදෙනාගේම කවි තුළ දක්නට ලැබෙනා එක් සමාන ලක්ෂණයක් වනුයේ සිය කවිය තුළ පුරුෂ ලෝකයෙහි නිර්මිත කාන්තාවගේ භූමිකාවෙහි තම කියවීම ඉදිඑරිපත් කරන්නට දරනා තැතයි.
ලාංකීය සමාජය තුළ කාන්තාවට අකුරු අතරෙහි උසස් තැනක් ලැබුණද සමාජයේ දක්නට ලැබෙනුයේ බොහෝ විට අතිශය සම්ප්‍රදායික කියවීමකි. ආගමික දෙඩවීම් තුළ වන ඇතැම් නන් දෙඩවිලි අතරද කාන්තාව පිරිහෙලන ආකාරය ඉතා පිලිකුල් සහගතය. මීට හොඳම උදාහරණය සිය බිරිඳට සැමියා තේ කෝප්පයක් සාදා දෙන්නේ නම් එය පානය කරනා බිරිඳ අපායේ යන බවට පසුගියදා කරන ලද අරුම දේසනාවයි. මෙහි අතිශ්‍ය පිලිකුල් සහගත නරුමකම අපට දක්නට ලැබුනේ දියවන්නාවේ වම්බටු ගහලා දේසනාව කළ කසල කුට්ටියක කතාවෙනි. ඒ අපේ කාන්තාවන්ට කළ හැකි නරුමම අපහාසයකි. එහෙත් මේ දියුණු සමාජයෙන් ඊට ලැබිය යුතු උත්තරය හරියට ලැබුණේ නැත. ආගම මෙන්ම මැති සබයද පිස්සු කෙලින්නට ගත් විට සමාජය නතර වන්නේ වැසිකිලි වලකය. අපේ ඇතැම් ත්‍රී විල් වල ඇති ස්ටිකර් දකින විට එය මනාව පැහැදිලි වෙයි. ඒ සඳහා වන හොඳම උදාහරණය මුදලට ඇති ආකර්ශණය කවරෙකු වුව උමතු කරවන තරම් වන පරිසරයක ඒ පාපය තාන්තාව මත පැටවීමට දරනා තැතෙහිය. ඊට හොඳම උදාහරණය සල්ලි ගස් වලින් කඩන දෙයක් නම් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි යන පාඨයයි.
ඉදින් මෙවන් පරිසරයක මේ කිවිඳියන් තිදෙනාම සිය වර්ගයා වෙනුවෙන් කරනා මැදිහත්වීම අප සැලකිල්ලට බඳුන් කළ යුතුය. රසිකා සිය කාව්‍ය එකතුවට නම සපයන කවියෙහි මෙසේ කියන්නීය.
ගලක බිත්තියක
කොතන කෙටුවත්
ගෑනු හිටියෙම හිනාවීගෙන
පරවෙනා මල් පුබුදුවාගෙන
වතින් මල් මධු පෙනුම අරගෙන
හිතින් නැතුවත් හිමිට තුරුළුව
ගෑනු හිටියෙම හිනා වීගෙන
ළඟින් යනවුන් ඇඟිලි ඇනගෙන
දැනී නොදැනී තනය මිරිකන
හිමින් නාභිය කිතිකවාගෙන
පුලුල් උකුලට තට්ටු දැම්මද
ගලට පිටදී හිතත් ගල් කර
ගෑනු හිටියෙම හිනාවීගෙන
ප්‍රියංගිකා සිය ගුත්තිලගෙ වෙණ මා ද නම් කවියෙහි මෙන්ම ෆාතිමා නම් කවෙහිද මේ කලාපය ස්පර්ශ කරන්නීය. ඇය ගුත්තිලගෙ වෙණ මා ද නම් කව අවසන් කරනුයේ මෙලෙසිනි.
නේක දන සවන් මත සදා සොඳ මධු සාද
සිටි මතින් හිඳින්නට නගා අමයුරු නාද
විකුම් පා දෙව්ලොවේ පවා දී නින් නාද
තත් බිඳී මිහිර දුන් ගුත්තිලගෙ වෙණ මා ද
මේ ඇගේ ෆාතිමාවයි.
බස් රියේ හිර වෙවී- පෑව වැලමිටි හරඹ
නුඹට මෙන් බුර්කාව-මටත් ඇවැසියි කියලා
කියපු තැන් නෑ නෙවෙයි පාතිමා
පෑන් තුඩ ගල්ගැසී-පොත හඬා වැටෙන විට
ගැහැනියට නියම තැන- කුස්සියයි හඟින් විට
අපි අතර පරතරය- අඟලකුත් නැතුව ඇති ෆාතිමා
පැටලි පැටලී කැපී- යළි නැගී නොනැවතී
පයක බැඳි කඹේ දුර- පමණි යන්නට හැකී
කොතෙක් වීරිය කලත්
වෙනස මා නොදැන සිටි බව පමණි පාතිමා
අදර ලවනාලේප අපුල බව කීවාට
අමනාප වනු කෝම
ඇඟලුම් වෙනස් වූවාට
නෑ වෙනස් දෙදෙනාම
එන්න අපි එකට යමු- මාත් නුඹ වාගේම
ආසියාවේ සොඳුරු දූපතක-රැහැන් වරපට අතර
පිය සඟල පටලැවුනු කිරිල්ලක් පාතිමා
මේ සමන්ති කිවිඳිය ගේ හඬයි. ඇය ඒ නම් කරනුයේ අනපේක්ෂිත චුම්බනය යනුවෙනි.
හත්දොහේ වැස්ස විට
වැව වාං නොදමාද
පිච්ච මල් නෙලුවාට
ගස් අතුත් උදුරාද
අගහිඟට ලෙඩ දුකට
හිරිබාන ගෙයි වහල
කුදලාන ඇරන් ගිය
හිච්චි මල්ලිගේ වග
අතෝරක් නැති නුඹේ
කතා අතරට දමා
කියන්නට නුඹට මං
අර ඇන්දා විතරමයි
හනික මා ළඟට ගෙන
දෙතොල දෙතොලේ තබා
අසරණව ඇද හැලෙන
කඳුළු බිඳු රස සමග
නුඹ මගෙන් උදුරගත්
ඒ පුදුම චුම්බනය…
උෂ්ණ ගිනි දහවලේ
කෝපි බිවුවා වගේ
දත් ගැහෙන හීතලේ
ඇඹුල් කෑවා වගේ
දෙතොල දෙතොලෙන් මුදා
ඈත්වූ අනතුරුව
සසල මත දෙනයනින්
තරහදැයි ඔබ අසයි
සුපෙම්වත අසනු මැන
නෙත් වසා කන් යොමා
රිද්ද රිදියෙන් හැදූ
මලක ලස්සනක් නැත
හද්ද ඇටපල් අඳුරෙ
හිනාවී පලක් නැත
වැස්සකට පෙර අහසෙ
විදුලියක් කොටන්නේ
වළාකුලකින් කොහොම
බලෙන් වැසි ලබන්නේ
ඉදින් මේ ඔවුන් පුරුෂ ලෝකයට නොපෙනෙන, නැතිනම් නොදැනෙන එසේත් නැතිනම් නොවැටහෙන සේ සිටින තමන්ගේ වසා දමා ඇති තමන්ගේ කවුළු විවර කරනා ආකාරයයි. මෑත කාලීන බොහෝ කිවිඳියන්ගේ කවි අතර මේ පිවිසුම කැපී පෙනෙන අයුරින් දැකිය හැකිය. අනුරාධා නිල්මිණි කිවිඳිය මෙහිලා විශේෂය. ඉදින් මෙය වටහා ගැනීමට තවත් කවුළුවක් ඇවැසි නම් ඒ සඳහා මේ පහත ඡේදය කියවන්නැයි යෝජනා කරමි. මේ නොබෙල් ත්‍යාගලාභී ස්වෙත්ලානා ඇලෙක්සියේවිච් විසින් දෙවන ලෝක යුදයට සහභාගිවූ කතුන් වෙතින් එකතු කරන ලද ප්‍රකාශයන්ගෙන් එකකි. පිරිමින් විසින් ඒ යුද්ධයේදී නොතකා හරින ලද නැතිනම් වසා දමන ලද කාන්තා කැපවීම මෙන්ම එහිදී ඔවුන්ට සිය ස්ත්‍රීත්වය අහිමිවූ ආකාරය ඒ බොහෝ ප්‍රකාශ තුළ අන්තර්ගතය. ඒ අතරම ඔවුන් තමන් තේරුම් ගැනීම උත්සාහ නොකරන පිරිමි හදවත්වලට එල්ල කරනා මුෂ්ටි පහරද ඇතැම් ප්‍රකාශ තුළ දැකිය හැකිය. මේ යුද්ධාවසානයේ එක් කතකගේ අත්දැකීමයි. යුද විරුවන් ඉතිරිවන වීරවරියන් කියා කොටසක් නොදකින් ලෝකයකට මේ ප්‍රකාශය ඇස් විවර කරනා කවුළුවකි.
‘මට බෑ… මට මතක තියාගන්න ඕනැ නෑ…. මං යුද පෙරමුණේ අවුරුදු තුනක් හිටියා….. ඒ කියන්නෙ අවුරුදු තුනක්ම මට මං ගෑනියෙක් කියන හැඟීම දැනුනෙ නෑ. මගෙ මුළු සරුවාංගෙම මැරිල තිබුණෙ. මට මාසික ඔසප්වීම සිද්ධ වුනේ නෑ. ගැහැනුන්ට දැනෙන කිසිම ආශාවක් නෑ. ඒ වගේම මං හරි ලස්සනට හිටි කෙනෙක්…. ඉතිං මගෙ අනාගත සැමියා මට කසාද බඳින්න යෝජනා කලහම…ඒක සිද්ධ වුනේ බර්ලින් වලදි, රයිශ්ටාගය අද්දරම. … එයා මෙහෙම කිවුවා-යුද්දෙ ඉවරයි, අපි තාමත් ජීවතුන් අතර. අපි වාසනාවන්තයි. ඉතිං අපි බඳිමු. – මට කෑගහල අඬන්නයි හිතුණෙ. කෑ ගහන්න. එයාට ගහන්න. ඔයා මේ මොනවද කියන්නෙ, කසාද බඳින්න? මේ දැන්? මේ ජරමර අස්සෙ? බඳින්න? මං ඉන්නෙ කලු දුඹුළු අඟුරු කලු පාට ගඩොල් ගොඩවල් මැද්දෙ……මේ මං දිහා බලන්න… මං ඉන්නො කොහොමද කියල බලන්න… ඉස්සෙල්ලම ආයෙ මාව ගෑනියෙක් කරල ගන්න. මට මල් ටිකක් හොයලල දෙන්න. මට ආදරේ පෙන්නන්, මොනව හරි ලස්සන වචන කියන්න. මට ඒවා හරියට ඕනැ. මං ඒවා ලැබෙනකං බලාගෙන ඉන්නෙ. ඒ වෙලාවෙ මං එයාට නොගැහුව විතරයි….මං හිටියෙ…. එයාගෙ එක කම්මුලක් පිච්චිලා, දම්පාට වෙලා, මට පේනවා, එයාට හැමදේම තේරුණා, ඒ කම්මුල දිගේ කඳුළු ගාලාගෙන එනවා. ඒ වෙද්දිත් අලුත්ව තිබ්බ කැලැල් උඩින්…. ඉතිං මට මං එයාට ඒ වෙලාවෙ මෙහෙම කිවුව කියලා අදහන්නත් අමාරුයි- ඔව්, මං ඔයාව බඳිනවා. …..
ඉතින් සහෘදයිනි අපි මේ කිවිඳියන්ගේ පබැඳුම් කියවමු.