පිරී ඉතිරුණු ක්‍රීඩාගාර කියනා කතාව

Share post:

මීට ටික කාලයකට කළින් ශ්‍රී ලංකාව දිගින් දිගටම තරග පැරදුණු කාලයේ ෆේස්බුක් වෙබ් අඩවියේ ජනප්‍රිය වූ කතාවක් තිබුණා.
නිමා වූ සිම්බාබ්වේ සංචාරයේ තරග නැරඹීමට රසිකයන් ක්‍රීඩා පිටියට පැමිණියේ නැහැ. ආර් ප්‍රේමදාස පිටිය හිස් වුණා. එම නිසාම නොමිලයේ තරග නැරඹීමට ලබා දීමටත් ක්‍රිකට් පාලකයන්ට සිදු වුණා. ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරද්දී පැවැති හිස් ක්‍රීඩාගාරයක ඡායාරූපයක් සමගින් කිසිවෙකු හෝ මේ කතාව ලියා තිබුණා.

“රසිකයන් කණ්ඩායම අත්හරින්නේ ඔවුන් තරග පරදින විට නොවේ, ඔවුන් තවදුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව හැඟුනු විටය” යනුවෙන් එහි ලියා තිබුණා.

ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් ප්‍රකාශ කළ යැයි කියූ එම ප්‍රකාශය සැබවින්ම ග්‍රිලී කියූවක් නොවෙයි. එනමුත් එමගින් සන්නිවේදනය කළ පණිවිඩය පැහැදිලියි. දහස් ගණනක් එම පණිවිඩය හුවමාරු කර ගත්තා. ලයික් කළා. ශෙයා කළා.

ඉන් මාසයකට පසු ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන සහ අවසන් T20 තරගයේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට කිලෝමීටරයකට වඩා දිග පෝළිං හැදිලා. ගිනි අව්වේ රත් වේවි රසිකයන් තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමට බලා ඉන්නවා. ඇෆ්ගන් සංචාරය පුරා ක්‍රිකට් රසිකයන්ගෙන් ක්‍රීඩා පිටි පිරී ඉතිරී ගියා. යූටියුබ් සහ සෙසු මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක් සජීවීව තරග නැරඹුවා.

ඇෆ්ගන් සංචාරය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජය ගත්තා. එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කළා. T20 තරගාවලිය 2-0ක් ලෙස දැනටම ජයගෙන අවසන්.

ඇෆ්ගන් සංචාරය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ සුබවාදී දේ තිබුණා. යොවුන් ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. නව තරු බිහි වුණා. ජ්‍යේෂ්ඨයන් ද සිය වගකීම මැනවින් ඉටු කළා. මාසයක් තුල මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ රසිකයන් තුල තිබූ ආකල්පය අංශක එකසිය අසූවකින් කැරකීමට බලපෑ හේතු ඒවායි.

සරලවම තරග ජය ගනිද්දී රසිකයන් කොන්දේසි විරහිතව කණ්ඩායම වැළඳ ගන්නවා. රසිකයන්ට පරිපාලකයන් කවුද යන්න අදාල නැහැ. ඔවුන්ට තිරය පසුපස සිදුවන්නේ කුමක්දැයි අදාල නැහැ.

කණ්ඩායම තරග ජය ගන්නා තුරු රසිකයන් කණ්ඩායම වෙනුවෙන් පෙනී ඉන්නවා. රසිකයන්ට අවශ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය හෝ අවම වශයෙන් ඔවුන් හොඳ තරගයක් ලබා දී පරාජය වීම පමණයි.

මින් පෙර ඔවුන් කණ්ඩායම අත්හැරියේ කණ්ඩායම තරග පරාජය වීම නිසයි. එමෙන්ම තිරය පසුපස කාරණා, දේශපාලනය, වංචා සහ දූෂණ පිළිබඳ රසිකයන්ගේ අවදානය යොමු වූයේත් තරග පරාජය වීම නිසා මිසෙක වෙනත් කරුණක් නිසා නොවෙයි. රසිකයන් සාධාරණයි.

සැබැවින්ම කණ්ඩායමේ ජයග්‍රහණය හැර වෙනත් දේශපාලනික දෑ රසිකයන්ට අදාල විය යුතුත් නැහැ. කණ්ඩායමක පරම වගකීම විය යුත්තේත් තමන්ට ලබා ගත හැකි උපරිම සහ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීම පමණයි. මේ බව ක්‍රීඩකයන් සහ මෙරට ක්‍රිකට් පරිපාලනය වටහා ගන්නා තරමට එය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට යහපත්.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...