ස්ත්‍රිය පිළිබඳ කතිකාව ඉතිහාසය මෙන්ම නොනවතින්නකි. මෙම ඉතිහාසය තුළ ස්ත්‍රිය වැඩි වශයෙන්ම නිරූපණය වන්නේ පීඩාවේ සංකේතයක් ලෙසය. ඇය ස්ථානගත කර ඇත්තේ පුරුෂයාට වඩා පහළ තැනකය. සංස්කෘතික ලැග්මක සිටින සමාජයන්හි මෙම තත්ත්වය අද පවා දක්නට පුළුවන. එහෙයින් ශාස්ත්‍රීය ගවේෂණ තුළ පමණක් නොව ප්‍රබන්ධ ලෝකය තුළ ද ස්ත්‍රිය පිළිබඳ කතිකාව තවමත් ජීවමානව පවතී. රාජ්‍යයේ සිට පවුල දක්වා බල ව්‍යුහයන්හි මෙකී පීඩාවන්ගේ බහුවිධ ස්වරූප විද්‍යාමාන වේ. එමෙන්ම මෙයට ප්‍රතිපක්ෂව, මෙම පීඩාවේ බල ව්‍යුහවලට අභියෝග කරන ස්ත්‍රී මැදිහත්වීම්වලින්ද ඉතිහාසයට අඩුවක් නැත. තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ (තරුරසී) ජෙරුසෙලම් දූවරුනි නවකතාව ස්ත්‍රියට මුහුණදීමට සිදුවන පීඩා ස්ත්‍රීවාදය ඉක්මවූ දෘෂ්ටියකින් ප්‍රබන්ධගත කිරීමට ගන්නා ලද වෑයමකි.
මෙහි කේන්ද්‍රීය චරිතය වන චුට්ටි පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවකි. විශේෂයෙන් යුද්ධයෙන් අවතැන් වූ සහ තනි වූ කාන්තාවන් සමඟ ඇය සමීපව ක්‍රියා කරයි. එහෙත් මෙම කතාපුවතෙහි වැඩි කොටසක් ඇය තම පිටිසරබද ගමෙහි ගත කරන දින කිහිපයක කාලය මගින් ආවරණය වේ. මෙම දින කිහිපය තුළ ස්වකීය ඥාතිවරියන්ගේ ජීවිත පතුලට කිඳා බැසීමේ අවකාශය ඇයට හිමි වේ. මෙම අවකාශය හරහා මෙරට ග්‍රාමීය ස්ත්‍රීන් පෙලන අනේකවිධ පීඩා ද ඊට බලපාන සාධක ද පෙරදිග ස්ත්‍රියගේ සුවිශේෂ ආත්මීය ලක්ෂණද නිරාවරණය කිරීමට කතුවරිය උත්සාහ කරයි.
ස්ත්‍රිය මුහුණ දෙන පීඩා , අසාධාරණකම් මෙන්ම ස්ත්‍රී සූරාකෑම තේමා කරගත් නවකතා විශ්ව සාහිත්‍යයේත් ලාංකීය සාහිත්‍යයේත් නොමඳව තිබේ. එහෙයින් මෙම තේමාත්මකය පාඨකයාට ආගන්තුක වූවක් නොවේ. එහෙත් මෙහි නැවුම්බව රඳා පවත්නේ තරුරසී මෙම හුරුපුරුදු තේමාව ප්‍රබන්ධගත කරන සුවිශේෂී ආකාරය මතය. ඇය තම ආඛ්‍යාන රටාව ගොඩනංවනුයේ යථාර්ථය සහ ෆැන්ටසිය වශයෙන් ස්තර දෙකක් ඇසුරිනි. සමාජ , ආර්ථික , දේශපාලනික , සංස්කෘතික හා පුද්ගල හේතු සාධක නිසා පීඩාවට පත්වන කාන්තාවන්ගේ අප අසා, දැක පුරුදු කතා යථාර්ථ තලයේදී දිගහැරෙයි. මෙහිදී පවා ඇය මෙම චරිත සුදු හා කළු ලෙස වර්ණ ගැන්වීමට වඩා ඔවුන්ගේ අළු පැහැය සොයා යාමට තැත් කරයි. එහෙයින් මෙම කතාපුවත පුරුෂ විරෝධී දිශානතියකට යොමුවීම වලකී. කතුවරිය මෙම සුපුරුදු යථාර්ථය විනිවිදීමට කිතුණු ඉතිහාසයට සම්බන්ධ මරියානු (මිරියම්) ෆැන්ටසියක් යොදා ගනී. එහෙත් එය බයිබලියානු මරියාගේ පිටපතක් නොවේ. මෙම නවකතාවේ ප්‍රබන්ධමය මානය ශක්තිමත් වන්නේ කතාපුවත යථාර්ථය තුළ දියවී යාමට ඉඩ නොදෙන මෙම මරියානු ෆැන්ටසියෙනි. පීඩාවට පත් කාන්තාවන් හෙවත් ජෙරුසෙලම් දූවරුන් පාඨක සිත් තුළ උට්ඨානයට පත් කරන්නට මෙම යථාර්ථ – ෆැන්ටසි සමෝධානය සමත් වෙයි. එමෙන්ම එය මෙම කාන්තාවන්ගේ ආත්මයේ පතුලට කිඳා බැසීමට මග විවර කරයි.
ජෙරුසෙලම් දූවරුනි පින්තාරු කිරීමට තරුරසී භාවිත කරන දෘශ්‍යමය භාෂාව නවකතාවේ ප්‍රබලතම අංගයක් වේ. මෙම දෘශ්‍යමය බසින් ඇය වරෙක බුලත් පුවක් ආරාමයක් සිතුවම් කරයි. හරිත පැහැ බුලත් පුවක් යායක් මැද තිබෙන ධවල වර්ණ නිවසක් ඔබට මවා ගත හැකිද? එමෙන්ම මෙම නිවස සංස්කෘතික නවීනත්වයේ අවකාශයක්ද වූ විට එය පාඨකයාට ගෙන දෙන හැඟීම කවරාකාර විය හැකිද? තවත් විටෙක ඇය නවකතාවේ සිටින කාන්තා චරිතද සැබෑ ලෝකය නියෝජනය කරන පීඩාවට පත් හා ඊට එරෙහිව හඬ නැඟූ කාන්තාවන් ද ෆැන්ටසි මරියාද අත්වැල් පටලා ගීත සහ කවි ගායනයේ යෙදෙමින් ගිරිහිසක් තරණය කරන දසුනක් වදන් සිත්තමට නංවයි. මෙම දෘශ්‍යමය භාෂාලංකාරයෙහි වෙඩිවර්ධනියානු සෙවනැලි ද අතරින් පතර නැතුවාම නොවේ.
ඇතැම් විට කතුවරිය තම චරිත ඔස්සේ ඉදිරිපත් කරන සමාජ දේශපාලනික විවරණ කෘත්‍රිම ස්වභාවයක් ගනී. එය ප්‍රබන්ධයේ වටිනාකමට හානියකි. ප්‍රබන්ධය ඇසුරින් සමාජ දේශපාලනික කියවීමක් මතු කර ගැනීම පාඨකයාගේ කාර්යයකි. නිර්මාණකරුවා එය තම චරිත හරහා ඉටු කිරීමට යාම පාඨකයාගේ නිර්මාණාත්මක කියවීමට බාධාවකි. කතුවරිය පාඨකයාට එම ඉඩ සලසා දෙන අවස්ථා මෙම නවකතාවෙන්ම සොයා ගත හැකිය . බුලත් පුවක් ආරාමය එවැන්නකි. එය ආර්ථික ස්වාධීනත්වයේත් සංස්කෘතික නවීනත්වයේත් අපූරු සංකලනයක් ලෙස පාඨකයාට දේශපාලනික අරුත් මතු කර ගත හැකි නිරූපණයකි.
ජෙරුසෙලම් දූවරුනි, ෆැන්ටසි මරියා පවසන්නාක් මෙන් අවදානම් දරමින් ආදරය විකසිත කරමින් නොනැවතී ගමන් කරන්න. එවිට ඔබට ජීවිතය හමුවේවි. ජෙරුසෙලම් දූවරුන්ට උට්ඨානය ලබා දුන්නාට තරුරසී ඔබට ස්තූතියි.