පොලිස් නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වැඩිහිටියෙකුගෙන් දණ ගසා සමාව ගනී !

Share post:

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය.

එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ සමාව ගත්තේ විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සමතයක් අනුවය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2017 වසරේ දී ගොනු කර තිබුණේ ගොඩ්වින් පෙරේරා නම් 81 හැවිරිදි පුරවැසියකු විසිනි. 2017 වසරේදී පෙරේරා මහතා නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිටි නිසා ඒ ගැන පොලිසියට දැනුම් දී ඔහු රෝහල් ගත කර තිබේ. පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගොඩ්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන්වේ.

නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙසේදැයි ඔහු විමසූ විට ඊට ද පොලිස් නිලධාරීන් අයහපත් ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව ද කියැවේ.
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් අගතියට පත්වූ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇති අතර නීතිඥ විජිත් සිං මහතා ඔහුගේ නීතිඥවරයා විය.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට යෑමට පෙත්සම්කාර පෙරේරා මහතා එකඟවීම මත අද එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවිණි. නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෙරේරා මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. එසේම වගඋත්තරකාර නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නම් අඬගැසු පසු ඔවුන් තිදෙනා ද අධිකණය ඉදිරියේ පෙනී සිටියහ.

පොලිස් නිලධාරීන් තිදෙනා අද අධිකරණයට පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවලදී අඳින අංක 01 නිල ඇඳුමින් සැරසී නිල පදක්කම් සහ ආයිත්තම්ද පැළඳ වන අතර වගඋත්තරකරුවන් සමග සමාදානවීමට එකඟදැයි අධිකරණය පෙත්සම්කරුගෙන් විමසා සිටියේය. ඒ අනුව ඔහු ඊට එකඟත්වය පළ කළේය.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ මලල්ගොඩ මහතා මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට අවවාද කළේය. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව නොදන්නේදැයි විමසූ විනිසුරුවරයා ජ්‍යෙෂ්ඨ පුරවැසිකුට සලකන්නේ මෙලෙසදැයි ප්‍රශ්න කළේය. නඩුව සමතවීමට පෙත්සම්කරු එකඟ වීම නිසා මෙලෙස අවසන් කරන බව කී අධිකරණය එලෙස නොවිණිනම් පෙත්සම්කරුගේ වයසද සලකා ලොකු වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය. නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස අධිකරණය පොලිස් නිලධාරීන් තිදෙනාට අවවාද කළේය.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වශයෙන් පෙත්සම්කාර පෙරේරා මහතා ඉදිරිපිටට ගොස් දන නමා වැඳ සමාව ලබාගත්හ.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...