එකදු වළාවක් හෝ නැති නිල් අහසෙක සිය බලය පතුරන, හිරුට බැණ බැන දහදිය පිසිමින් යන මිනිස්සුය. ඒ අතර පදිකාවෙහි පලින් පල වැතිර නෙක පා වහනින් තැලෙන මල් පියලි ය. මාවතෙහි යනෙන අනෙකා ගැන වගේ විත්තියක් නොමැතිව මුළු මාවතම තමන්ගේය කියා යන අධිකාරිවාදී මනුසත්තු ය. ඉදින් මේ කලකෝලාහලයෙන් පිරි ලොවක මහා සමාජයට අයිති නැති ක්ෂුද්‍ර ප්‍රාණියෙක් හෙමි හෙමිහිට පිය මනියි. බිම වට මල් පෙත්තක තැලුණු ගත පිරිමැද සැනසුම් වදනක් කොඳුරයි. හිරු බලය ලතුරන අහසට ඉසුඹුවක් දෙන්නට හේ වලාවකට ඇරයුම් කරයි. දහදිය පිසිමින් හිරුට බණිනා මිනිසුන් දෙස බලා මදහසක් නගයි. ඒ මිනිසුන්ම දෙදිනක් එක දිගට අහස වැලපුණු පසුව වලාවන්ට අම්මා මෝ නැතිව බැණ වදින බව නොකියා පෑගුණු තණ පතක කෙඳිරිල්ලට සවන් යොමයි. ඉදින් කවියා එවන් ක්ෂුද්‍ර ප්‍රාණියෙක්කැයිමට සිතෙයි. ඔහු කලබලයකින් තොරව තමන්ගේ දුනු හී මානයි. වදන් හීසර මුදා ඒ වදින ඉසවුවෙන් නැගෙන සිහින් සර කන්දී බලයි. නැතිනම් කිසිදු නෙතක් සවනක් ඒ වෙත යොමු නොවන බව දැක දැක වුවද යළි හී මානයි. කවියා අන්න එවැන්නෙකැයි මට සිතෙයි. වසන්ත ප්‍රදීප් යනු එවන් කවියෙකුට උදාහරණයකැයි කියා යළිදු මට සිතෙයි.
වසන්ත යනු තම කවි මගෙහි සීග්‍ර වර්ධනයක් අත් කරගත් කවියෙකි. හුදු සිතට එන හැඟුම එලෙසින්ම පල කරනු වෙනුවට මනාව පදම් කර සියුම් බස් වහරකින් එය පෝෂණය කරන්නට තමන් සමත් බව ඔහු සිය තෙවන කාව්‍ය සංග්‍රහය වන විට සනාථ කර හමාරය. ජීවිතයෙහි නෙක පැහැයන් මනාව හැඳින ඒවා වදන් බවට හරවා පාඨක හද බිතෙහි සිතුවම් සේ එල්ලා තබන්නට ඔහුගේ කවි බස සමත්ය. එසේ තම හදබිතෙහි රැඳෙන කවක් ලෙහෙසියෙන් හැර නොයන තරම් බලවත් සිත්තමක් බවට පත් කරන්නට ඇති සමත්කම අප කවියාගේ සෑම කෘතියකම පාහේ දක්නට ලැබුණ ලක්ෂණයකි.
උදෑසන ඇවිදින් ජනෙල් වීදුරුවට කොටන කුරුල්ලාට යනුවෙන් ඔහු විසින් රචිත කවිය වසන්තගේ කවිකම හඳුනා ගන්නට මනා පිවිසුමකි. ඔහු සිය කවියට විෂය කරගන්නේ නිතර තම කවුළු වීදුරුවට කොටනා කුරුල්ලෙකු පිලිබඳ අත්දැකීමය. මේ අප බොහෝ දෙනකු හට පුරුදු අත්දැකීමකි. විටෙක කෑරලෙකු වැනි කුරුල්ලෙක් එවන් කෙටිල්ලක් යන්ත්‍රයකින් කරනා තරම් වේගී හඬක් මතු කර සිදු කරයි. බොහෝ මිනිසුනට මෙය හිරිහැරයකි. ඔවුහු විස්සෝප වන්නෝ කුරුල්ලා වීදුරුව බිඳ හෙලනු ඇතැයි කියාය. එහෙත් කවියා එවන් අත්දැකීමක් ජීවිතය විනිවිද දකින්නට උපයෝගී කරගනියි. ඒ සියුම් රිදුමක්ද දනවන තරම් වූ සංයමයතින් යුත් බසකිනි.
ඔහු කුරුල්ලාට වීදුරුවේ තතු පවසයි. ඒ බිඳිය නොහෙනා වීදුරුවක් බව පවසයි.
කුරුල්ලෝ මේ වීදුරුව
හිරු එළිය ඇති උදෑසනදී
දැඩිව අඳුරට හැරෙනා එකකි
ඔතරම් සියුම් තුඩකින් සිහින්
කෙටුවා කියා නොබිඳෙන එකකි
ඔහු සිය කවිය අවසන් කරනුයේ මෙලෙසිනි.
කුරුල්ලෝ ඉතින් ඉගිලෙන් සැණින්
මෙය දැන් හොඳින්
දුම් ගිනි සුළං
හුරු කවුළුවකි
කවියෙහි ව්‍යංගාර්ථයන් මතුකරගත හැකි සියුම් කියවීමක් සහිත පාඨකයෙකුට මෙ කව බොහෝ විඳුම් රිදුම් මෙන්ම සිතුම්ද අත්විඳින්නට සමත් බහු අරුත් දනවන කවියකි. වසන්ත ප්‍රදීප් ගේ කවි තුළ දක්නට ලැබෙනා මේ බහුඅරුත් දනවන ගුණය බොහෝ කවි වෙතින් පාදා ගත හැකිය.
ගල් විහාරයේ සැතපෙන බුදු හිමි නමින් වන කවියද මෙහිලා සුවිශේෂී බව කිව යුතුය. කවියට අනුභූතිය වන සාධකය විසල් අරුතක් දනවන පුළුල් කැන්වසයක් බවට පත් කරන්නට වසන්ත මෙහිදී සමත් වෙයි. බුදු හිමි සතු මෙත්තාවත්, නූතන සමාජයෙහි ඇති තරගකාරීත්වයත්, දිවි සටනෙහි නියැලෙන මනුසතුන්ගේ චක්ගුඩු කෙලියත් මනාව සම්මිශ්ර්ණය කරමින් වසන්ත නිමවන කවිය ආගම, බැතිය මෙන්ම ජීවන රතියද සියුම් උපසාසාත්මක තානයකට හසු තර දක්වයි.
සති අන්ත දිනයන්හී
වෙසෙසින්ම දිගු සති අන්තයන්හී
සැඳෑ කල සපැමිණි පසු
අකම්පිත සුසුමක් හෙලයි
පොලොන්නරුවේ ගල් වෙහෙරෙහි
සැතැපී සිටින බුදු හිමි
මේ ඒ බුදු හිමි අභියස රළ නගන ජීවිතයයි. එහි ඇත්තේ වේලක වියදම වෙනුවෙන් නියැලෙන තරගයක තතු ය.
සමව පිහිටන විලස නොතැබූ
දෙපා මහපටැඟිලි ගැන
දෙරණ සිපගෙන නිවී සැනසුන
සිවුරුපට පිළිබඳ මත
ළඹ සවන් පෙති පහත්වී බව
දිගු නේත්‍රා ගිලී ගොස් ඇති වග….
දහවල පුරා ගයිඩ්වරු
දේශනා කල නව බණ
රාව නැංවෙයි යළි යළි
නිවී සැනහුනු සවන් ගැබ…..
පැහැදිලි කිරීම් අනවැසිය. කවියා නූතන වාණිජ සමාජය සහ බුදු හිමි සම්මුඛ කරමවමින් තියුණු සමාජ කියවීමකට ඉඩ සලසාගනියි. මේ වාණිජ සමාජයෙහි බුදුහිමි ගේ මෙත් සිසිල ඔහු කවියට නගන්නේ අසපු, අරම සසල කරවන්නට සමත් සිහින් පරක්ද එල්ල කරමිනි.
කුසට අහරක් ගතට වැසුමක්
කුටුම්භයකට ඉහල වහලක්
පිණිස මුව වෙහෙසෙනා වග දැක
උන් වෙතට මෙත පිරුණු සිතැතිව
මහා කරුණා මුනි සඳ
හිරු උදාවත් සමගම
රැයෙහි ගත් ඉරියවු වෙනස් කර
ඉඳිති පරිනිර්වාණ මංචක
සෙල් පිලිමයක් අයුරට
සොඳයි දැඩි කල නියා අප උන් නමින් මේ කාව්යා එකතුවෙහි එන කවිය නූතන දිසාපාමොක් භූමිකාව ගැන කදිම ස්වයං විවේචනයක් වන අතරම විපරිණාමීය සමාජය ගැනද කියවීමකට ඉඩ සලසයි. ඔහුගේ කවියෙහි එන්නේ යතුරු පැදි විකුම් පානා යොවුනන් පිරිසක් අභිමුවට එන දිසාපාමොක් චරිතයක් කේන්ද්‍ර කරගත් අත්දැකීමකි. මේ යතුරු පැදි විකුම් යනු අද දවසේ නිතර කතා බහට ලක් වන එසේම ඒ විකුම් පාන්නන් මෙන්ම එ විකුම් හමුවේ පීඩාවට ලක්වන්නන්ද විටෙක ජීවිත වලින් පවා වන්දි ගෙවන ත්‍රාසජනක අත්දැකීමකි. කවියා මේ අවස්ථාව යොදා ගනුයේ සමාජයක හරයන් සහ වටිනාකම් දුහුවිලිව යාමට අධ්‍යාපනය මෙන්ම ඒ බාරව ඉන්නා ගුරු භූමිකාව කෙතරම් වගකිව යුතුද යන විවේචනය මතු කිරීමටය. ඔහු මෙහිදී ඒ ඉතා සංයමයකින් ඉටු කරන්නේ පාඨක පර්යාවලෝකයන්ද පුළුල් කරමිනි.
මේ තම පරණ සිසුන් පිරිසකගේ විකුම් හමුවෙහි පීඩා විඳ නිවෙසට එන ගුරු චිත්තයෙහි කුකුසයි.
යළිදු පසුබැස අවුත් නිවසට
කවර කල පාසලෙන් සිප් ලද
සිසුන්ද මුන් කියා සිතුවද
මතකයෙන් නිරවුලක් නොලදිමි
කුලක පාඩම අතර කවි ලියු
ගණිත පිටුවක සිතුවමක් ඇඳි
වරද පිට පසු පෙලට ඇද දැමු
කුමන පිරිසද කියා නොදනිමි
අප අතරතුර කවුළු තිර නමින් වන කවියද වසන්තගේ කවිකම පිලිබඳ සාක්ෂි සපයන අගනා නිර්මාණයකි. ඔහුගේ කවි යනු ප්‍රහාරාත්මක එළඹුමක් වෙනුවට සිහින් කෙනිත්තුම් මගින් කල් පවත්නා රිදවුමක් දනවන වදන් සිතුවම් මැවුමකි. එසේම වසන්ත තුළ අපේක්ෂා සහගත කවියෙක් සිටියි. ඒ කවියා අපට හමුවන්නේ අන් සැමට පෙර සැවුලන් අලුයමින් ඇහැරිය යුතුය යන කවෙහිදීය. මේ ඔහු සිය කවිය අවසන් කරනා අයුරයි. ඉදින් කැමති නම් පාඨකයාට ඔහුගේ කවි කියවීම එතනින් වුව ඇරඹිය හැකිය.
සිවල් කැල හා සටන් වදිනට
මනස මුවහත් කරන මිස
උන් සමග ගිවිසුමට එළඹුම
සපුරාම දුරු කල යුතුය
රුදුරු ගනඳුරු වන ගැබ
ගැහෙන වෙව්ලන විහඟුන්ට
සීතලෙහි ඇති අඳුර නොදොඩා
ගිනිමැලය දැල්විය යුතුය…