විශිෂ්ඨයි – ශ්‍රී ලංකාවේ වේගවත්ම එක්දින ලකුණු 2000 පැතුම් නිස්සංකගෙන්

Share post:

පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දුගේ පළමු කඩුල්ලේ වේගවත් ලකුණු 173ක සුපිරි සබඳතාවය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන එක්දින තරගයත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියක් තරග 3-0ක් ලෙස ජය ගැනීමටත් සමත් වෙනවා. මීට පෙර ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලි අවසන් වී ඇත්තේ තරග 1-1ක් සහ 2-1ක් ලෙසයි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක සියලු තරග ජයගත් 11වෙනි අවස්ථාව වන අතර එය මෙරටදී සිදු කරනු ලැබූ 9වෙනි අවස්ථාව වීමත් විශේෂත්වයක්.
අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 91ක් ලබා ගත්තේ පන්දු 66කින්. පිය පදවිය ලබා ගැනීමෙන් පසු අවිශ්ක ක්‍රීඩා කළ පළමු තරගය ⁣ද මෙයයි. පළමු තරගයේදී ලකුණු 88ක් සහ මේ තරගයේදී ලකුණු 91ක් ලබාගත් අවිශ්කට අදත් අවාසනාවන්ත ලෙස ශතකය අහිමි වුණා.

යළිත් වරක් ලොව හමුවේ තමන් කවුදැයි ඔප්පු කළ සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 5වැනි ජාත්‍යන්තර එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 101කදී ලකුණු 118ක් ලබා ගනිමින්. පළමු තරගයේදී නොදැවී ද්විත්ව ශතකයක් ලබාගත් පැතුම් මෙම තරගාවලියේදී ලබාගත් ලකුණු ගණන 346ක්. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් තරග 3ක එක්දින තරගාවලියක ලබාගත් වැඩිම ලකුණු ගණන ද වීම විශේෂත්වයක්. ඊට අමතරව ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ එක්දින තරග තුනක තරගාවලියක වැඩිම ලකුණු ගණනක් ලබාගත් සිව්වන පිතිකරු ද වෙනවා.

බාබර් අසාම් 360
ෂුක්මන් ගිල් 360
ඉම්රුල් කයිස් 349
පැතුම් නිස්සංක 346

අද දින එක්දින ලකුණු 2000 සීමාව පසු කළ පැතුම් නිස්සංක අඩුම ඉනිම් ගණනක් තුළ ශ්‍රී ලංකාවේ වේගවත්ම එක්දින ලකුණු 2000 පසු කළ ක්‍රීඩකයා බවට පත්වුණා.

පැතුම් නිස්සංක – 52 Inns
උපුල් තරංග – 63 Inns
රසල් ආර්නෝල්ඩ් – 66 Inns
මාවන් අතපත්තු – 67 Inns
ළහිරු තිරිමාන්න – 72 Inns
කුසල් මෙන්ඩිස් – 73 Inns
කුසල් පෙරේරා – 74 Inns
අරවින්ද ද සිල්වා – 74 Inns
අසංක ගුරුසිංහ – 74 Inns

තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් පැතුම් නිස්සංක පැවසුවේ තමන් මේ වාර්තා පිළිබඳ නොදන්නා බවත් තමන්ගේ පළමු පුහුණුකරුවන තම පියාටත් ස්තුතිවන්ත වන බවයි. මේ සියලු දේ තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල බවයි.

2021 වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා අවසන් වරට දකුණු අප්‍රිකාව සමග එක්දින තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු අද යළිත් පිටියට පිවිසි අකිල ධනංජය කඩුලු 2ක් දවා ගත්තා. ගුර්බාස්ගේ කඩුල්ල දවා ගත් අකිල ඇෆ්ගනිස්ථාන ඉනිමේ ලකුණු 300 බලාපොරොත්තුව කඩ කිරීමේ පළමු වෙඩි මුරය තබන්නට සමත් වුණා.

ලකුණු 22ක් ලබා සිටියේදී අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවක් හමුවේ ගුර්බාස් ලබාදුන් උඩපන්දුවක් චරිත් අසලංකගේ අතින් ගිලි⁣හී නොගියානම් ඇෆ්ගනිස්ථාන ඉනිම මීට වඩා කඩා වැටෙන්න⁣ට තිබුණා.

ඇෆ්ගනිස්ථාන ඉනිම තුළ යළිත් වරක් ක්‍රියාත්මක වූ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 03ක් දවා ගනිමින් ඔවුන්ගේ ඉනිම බිඳ දැමුවා. දුනිත් වෙල්ලාල සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

චරිත් අසලංක අතින් උඩපන්දුවක් ගිලිහී ගියත් යළිත් ක්‍රියාත්මක වූ අසලංක හතරේ සීමාව අසලදී අසීරු උඩපන්දුවක් රැකගත්තා. විශිෂ්ට පන්දු රැකීමක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ඇෆ්ගනිස්ථාන පළමු කඩුල්ල ඩැහැ ගැනීමට සමත් වුණේ සියල්ලෝම විශ්මයට පත් කරමින්.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ඕනනම් හොඳ විකට් තියෙන්න ඕන. ඒක තමයි පහුගිය කාලය පුරාවට අපිට ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඇහුණු කතාව. Flat Pitch වල තමයි එළවලා ගහන්න පුළුවන්, ලකුණු 300, 400 ගහන්න පුළුවන් කියලා. ලකුණු නැති කුඹුරු වගේ පිච්වල කොහොමද ක්‍රිකට් ගහන්නේ කියන කතාවට හොඳ පිළිතුරක් ලැබුණු තරග 3ක් තමයි ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්දින තරගාවලිය. ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා කලකට පසු ශ්‍රී ලංකාවේදි දැක්ක හොඳ තණතීරු ගැන කතා කළා. පළමු තරග දෙකේම ලකුණු 300 පහු කරපු ඉනිම් දැක්කා. පළමු තරගයේ කණ්ඩායම් දෙකම ලකුණු 720ක් ලබා ගත්තා. පසුගිය සිම්බාබ්වේ සංචාරයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දුටු මන්දගාමී තණතීරුවලට වඩා මෙම තරගාවලියේ තණතීරු ⁣පිතිකරුවන්ගේ පාරාදීසියක් වීම තරගාවලියේ තරගකාරීත්වය වැඩිවීමට ප්‍රධාන ⁣හේතුවක් බවට පත්වුණා.

තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ තරග නරඹන්නට පැමිණි ප්‍රේක්ෂකයින්ට තමන් ස්තුතිවන්ත වන බවත් මෙවැනි ආකාරයට වේගවත් ලෙස ලකුණු රැස් කිරීමට හැකි තණතීරු සකස් කර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින්ටත් තමන් ස්තුතියි පුද කරන බවයි.

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...