ප්‍රේමය සමඟ ආත්ම සංකථනයක යෙදීමට අසීමිත ඉඩප්‍රස්ථා පැවතීම ‘නිශා’ හි ප්‍රබලම ලක්ෂණය

Share post:

ප්‍රේමය පිළිබඳ කතිකාව මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම පැරණිය. මෙම ශිෂ්ටාචාරමය ගමන්මගේදී මිනිසා ප්‍රේමය පිළිබඳ හැඟීමට සාධාරණයක් ඉටු කර ඇත්ද යන්න පිළිතුරක් නැති ප්‍රශ්නයකි. එදා සිට අද දක්වාම සංස්කෘතියේ , සභ්‍යත්වයේ,සහ ශිෂ්ටත්වයේ නාමයෙන් ප්‍රේමය සදාචාරවාදී කුටියක සිරකර තැබීමට මිනිසා දරා ඇති ප්‍රයත්න අපමණය. එහෙත් ප්‍රේමය වැනි හැඟීමක් සදාචාරමය කුටියක සිරගත කළ හැකිද? අහම්බයේ සහ අතාර්කිකත්වයේ සමීප ගමන් සගයෙකු වන ප්‍රේමයට එවන් ඉරණමක් අත්කර දීම කොතෙක් දුරට සාධාරණ ශිෂ්ටාචාරමය මෙහෙයුමක්ද? අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘නිශා’ නම් නවකතාව ප්‍රේමයේ මෙකී ශිෂ්ටාචාරමය රාමු ගැන නැවත සිතීමට පාඨකයා පොලඹවන කෘතියකි.

පර්යේෂණ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වන වරුණ සමරසිංහ ස්වකීය ජීවිතයේ හයවන දශකය ඉක්මවූවෙකි. ඔහුගේ බිරිඳ සහ දියණිය විප්‍රවාසීව සිටින අතර ඔහු ඥාති සොහොයුරකු සමඟ මෙරට ජීවත් වෙයි. ප්‍රේමය ඔහුගේ ජීවිතය සමඟ ආත්මීයව බැඳී පවත්නා හැඟීමකි. මේ නිසාම ඔහු සම්මතය ඉක්මවූ ජීවන චාරිකාවකට හිමිකම් කියන්නෙකි. විටෙක තම බිරිඳගේ නැගෙණියද තවත් විටෙක තම වයසට දශක තුනකට වඩා බාල යුවතියක්ද පෙම් හැඟුම් සමඟ ඔහුගේ ජීවිතයට ඇතළු වේ. කතාපුවත අවසානයේ සිදුවන ඔහුගේ සියදිවි නසා ගැනීම දක්වා සදාචාර අච්චුවකට සීමා නොවන ප්‍රේමයේ බහුවිධ හැඩතල පාඨකයා ඉදිරියේ දිගහැරේ.

ප්‍රේමය සමඟ ආත්ම සංකථනයක යෙදීමට අසීමිත ඉඩප්‍රස්ථා පැවතීම මෙම නවකතාවේ ප්‍රබලම ලක්ෂණය වේ. මිලාන් කුන්දේරා ජීවිතය අන් තැනක යනුවෙන් පැවසුවාක් මෙන් ප්‍රේමය පවත්නේ අන් තැනක බවත් එසේ වීම අරුමයක් නොවන බවත් අනුරසිරි අපට පෙන්වා දෙයි. මෙහිදී ප්‍රේමය පිළිබඳ සභ්‍යත්ව චින්තාව ඉරිතලා යනු පෙනෙයි. පළමු බැල්මේදී තැතිගැන්මක් ජනිත කළද ශිෂ්ටාචාරමය පවුරු පදනම් දෙදරායාමේ රොමැන්තික ප්‍රහර්ශය වෙතට පාඨකයා ක්‍රමිකව ආකර්ශනය වේ. ප්‍රේමය යනු කිමැයි තවෙකෙකුට කියා දිය හැකි හැඟීමක් නොවන බව කතුවරයා නවකතාව පුරාම විද්‍යාමාන කරයි. මේ නිසාම මෙම නවකතාව කියවන විට ප්‍රේමයේ ස්වභාවය පිළිබඳ නියත අදහසක් ඇති කර ගැනීම දුෂ්කර වේ. එහෙයින් මෙවන් ප්‍රශ්න ගණනාවක් පාඨකයාට අභිමුඛ වේ. ප්‍රේමය යනු සිත් වේදනා අලුත් කිරීමක්ද ? හිස්තැන් පිරවීමක්ද? අහම්බයක්ද? හිත ගත සමපාත වීමක්ද? ආශාවක්ද? අපේක්ෂාවක්ද? දරාගැනීමේ ජීවන ලාලසාවක්ද? දරාගත නොහැකි සැහැල්ලුවක්ද නැතහොත් බරක්ද? අතාර්කිකත්වයේ ප්‍රහර්ශය විඳීමක්ද? තමා තුළ ඇති අබිරහසක් සමඟ ඒකාත්මික වීමක්ද? ප්‍රේමයට අනෙකාගේ කැමැත්ත අවශ්‍යමද? මෙම ප්‍රශ්න වැල තවත් දිගුය. නිශා නවකතාව අපට පෙන්වා දෙන්නේ මේවාට පිළිතුරු සෙවීම නිරර්ථක වෑයමක් බවය; ප්‍රේමය පවතිනුයේ මේ මොහොතේ මිස අතීතයේ හෝ අනාගතයේ නොවන බවය; ප්‍රේමය යනු සංස්කෘතිය , සභ්‍යත්වය , සදාචාරය ඉක්මවා යන ශිෂ්ටාචාරමය හැඟීමක් බවය.

නවකතාවේ තේමාත්මකය ඉදිරිපත් කිරීමට අනුරසිරි යොදා ගන්නා ආඛ්‍යාන රටාවද ප්‍රේමයේ අනියත බව මෙන්ම එහි නිර්- අර්ථකථනාත්මක බවද තීව්‍ර කරන්නකි.එමෙන්ම ඔහු ආකර්ශනීය රොමැන්තික සංකේතයක් ඔස්සේ ප්‍රේමයේ මෙකී බහුවිධ හැඟුම් සමුදාය සමෝධානය කරයි. මේ අනුව , සේපාලිකා ගස, මල් සහ සුවඳ කෘතිය පුරාම සැරිසරයි. ප්‍රේමයේ සතුට , ශෝකය , කාංසාව, අවදානම , ආතතිය , අබිරහස , නිදහස, බියකරු සිහින යනාදී සකලවිධ මනෝභාවයන් උරා ගැනීමටත් විහිදුවාලීමටත් ඊට හැකියාව ලැබේ. ඇතැම් අවස්ථාවල මෙම සේපාලිකා රූපකය අනුරසිරි අතින් වදන්මය සිතුවමකට නැඟෙයි.

මෙම නවකතාව තුළ කතුවරයා අතිරික්ත ප්‍රබන්ධකරණයක යෙදෙන බව පෙනී යයි. මේ නිසා නවකතාව අවසන් කිරීමට වඩාත් සුදුසු තැන ( වරුණගේ අතුරුදන් වීම ) කතුවරයාට මගහැරී ගියේද යන සැකය මතු වේ. මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් රචිත නවකතාවක් බැවින් කතුවරයාට එසේ කිරීමට සිදුවූවා විය හැකිය. එහෙත් සියදිවි නසා ගැනීම වැනි සාම්ප්‍රදායික හා සංවෘත අවසානයකට කතාපුවත රැගෙන යාමෙන් කතුවරයා අතිශයින් සජීවී ලෙස නවකතාව පරා නඩත්තු කළ විවෘතභාවයේ හැඟීම යම් පමණකට දියාරු වී යයි. මෙය නිශාගේ චරිතය සමඟ සැසඳීමෙන් වඩාත් හොඳින් තහවුරු වේ.කතුවරයා මෙම චරිතය ඉතාම උචිත මොහොතේදී දර්ශන තලයෙන් භෞතිකව ඉවත් කරයි. මේ නිසා නවකතාවේ අවසානය තෙක් නොපවතින පැවැත්මක් ලෙස (ප්‍රේමය මෙන්) පාඨක මනස පුරා සැරිසැරීමට නිශාට හැකියාව ලැබේ. අනෙක් අතට මෙම සංවෘත අවසානය පාඨක පරිකල්පනයට ඇති ඉඩ සීමා කරයි. එහෙයින් මෙම ප්‍රබන්ධමය අතිරික්තය නවකතාවට සාධනීය එකතු කිරීමක් නොකරන බව පෙනී යයි. එමෙන්ම මෙම කෘතියේ ඇතුළත් ආරම්භය හෙවත් වෘත්තාන්තකරුවාගේ ප්‍රකාශය සහ අවසන් සටහන , අවසානයක පසු සටහන … පාඨකයාට ලේඛක අභිලාෂය ඉක්මවා යාමට ඇති ඉඩකඩ අහුරාලන බව හැඟෙයි.

කෙසේවෙතත් , ප්‍රේමය පිළිබඳ විකල්ප ශිෂ්ටාචාරමය දැක්මක් පුබුදුවාලීමට අනුරසිරි හෙට්ටිගේ දරන උත්සාහය බෙහෙවින් සිත්ගන්නා සුළුය. මෙය සැබැවින්ම පාඨකයන්ට සදාචාර බැමිවලින් තොරව තම හෘදසාක්ෂිය සමඟ ප්‍රේමය පිළිබඳ ආත්මීය සංවාදයක යෙදීමට මහඟු අවස්ථා සලසන නවකතාවකි.

උදිත අලහකෝන්

Related articles

කාංචනා අමිලානිගේ වචන වනාන්තරය “කාල රේඛාව”

ඈ වචන වනාන්තරයක් මවන්නී ය. ඔබට එහි අතරමං විය හැකි වාර සංඛ්‍යාවට සීමාවක් නොමැත. එමෙන්ම ඔබට එයින් පිටතට...

හිටපු සොලිසිටර් ජනරාල් අධිකරණ අමාත්‍යංශ ලේකම් ධුරයට : නීතිපති පුටුවෙන් රනිල් ඇයව හැලුවේ ඇයි ?

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබේ. වසර 30කට අධික...

SLIIT, 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2024 හිදී විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් සම්මාන රැසක් දිනා ගනී !

SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) - NBQSA 2024...

SLIIT විසින් පවත්වනු ලබන ‘Brain Busters with SLIIT – Season 4’ රූපවාහිනී දැනුම මිනුම වැඩසටහන, සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා එළිදක්වමින් සාර්ථකව නිමා වේ !

ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම...