අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කරයි : මං අයින් වුණොත් ඔක්කොම හරිද? – ඩයනා ගමගේ

Share post:

රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනයක් ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ කෙරිණි.

මෙම පෙත්සම, ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනිණි. වැඩිදුර පෙත්සම් විභාගය අද (13) දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මීට අදාළ අභියාචනාධිකරණ පෙත්සම ඉදිරිපත් කර තිබිණි. රාජ්‍ය ඇමති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන නිසා ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව මීට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ද අවධාරණය කර තිබිණි.
එම සිද්ධියේ පැමිණිලිකරු වන ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබියදී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව අධිකරණයට දැනුම් දීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබිණි.

සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස මෙරට ආගමන විගමන බලපත්‍රයක් (Passport) ලබාගෙන ඇති බවට අධිකරණයට තොරතුරු ඉදිරිපත් කර තිබිණි. ආගමන විගමන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම තොරතුරු දැනුම් දී තිබූ අතර, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ද එම නිලධාරීන් විසින් පෙන්වා දී තිබිණි.

එම නිලධාරීන් දෙපාර්තමේන්තු ලිපිලේඛන උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දී තිබුණේ 2014 වසරේදී ඇමතිවරියගේ ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රය අවසන් වී ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපි ලේඛන අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හේවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකි.

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය උසුලන්නියක් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත, නීතිවිරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමිකාරිනියක බව ද ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට මීට පෙර අධිකරණයට පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මෙසේ පවසා තිබිණි.

ඇමතිතුමිය, මෙච්චර මේ චෝදනා කරද්දිත් තවදුරටත් ඇමති ධුරයේ ඉන්න එක සදාචාරාත්මක ද ?

ඇයි මං අයින් වෙන්නෙ. කවුරුවත් සල්ලි හම්බ කරන්න කරන වැඩ හින්දා මං අයින්වෙන්නෙ මොකටද.

ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට ජනාධිපතිතුමාගෙ පාර්ශ්වයෙන් මේ ගැන ඇහුවෙවත් නැද්ද ?

නෑ. එතුමා මොනවටද මේ පදනමක් නැති චෝදනා ගැන කතා කරන්නෙ.

පදනමක් නෑ කිව්වට පැමිණිලි පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාත් මේක අරන් ගිහින් තියෙන්නෙ මොනව හරි බඩු තියෙන හින්දා නේද ?

මේකෙ මේ එල්ලිලා සල්ලි හොයන වැඩක්නෙ තියෙන්නෙ. වෙන මොකුත් මෙතැන නෑ. අභියාචනාධිකරණයෙනුත් මේක නිශ්ප්‍රභ කළානෙ.

හැබැයි ඇමතිතුමිය ශ්‍රේෂ්ඨාධිකරණය මේක විසි කරන්නෙ නැතුව විභාග කරන්න පටන්ගත්තා…?

බලමු. බලමු. අධිකරණයේ තීන්දුවට අපිට මොකුත් කියන්න බෑනෙ.

මහේස්ත්‍රාත් අධිකරණයට ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් ලියකියවිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළා. ඒ ඔක්කොම තියෙන්නෙ ඔබට විරුද්ධව….?

මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. ඩයනා ගමගේ මන්ත්‍රී ධුරයෙන් අයින් වුණා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙනවද. මිනිස්සු පීඩාවිඳින ප්‍රශ්න ඉවරයක් වෙනව නම්, මං මේ මොහොතෙම මේකෙන් අයින් වෙනවා. හැබැයි කාගෙවත් මුදල් අවශ්‍යතාවලට ඇදගෙන යන ඒවට පරදින්න මම ලෑස්ති නෑ.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...