එතැන මහත් කලබලයකි. ‘හොටෙල් ඩි අන්කල්ස්’වහලට වේලුණු පොල් අතු හෙවිල්ලා කඩයක් සාදා ඇත. වහලේ එල්ලූ කහ පාටට හැරුණු කෙසෙල් කැණකි. පෝච්චියක ලූ රතු මල් පොකුරකි. පහළ පළතුරු බක්කියකි. කොත්තු, ආප්ප, චයිනීස් රෝල්ස් ආදී දෑය. ඊට එහායින් කදිම කෝපි කඩයකි. අයිස්ක්‍රීම් පාලරයක් ඉදිරියෙනි. බෙල්ලන් පිරුණු මේසයක් තවත් තැනකය. මැද මිදුලක් මෙන් සැකසූ ඉඩකඩෙහි සුදු පැහැති බීන් බෑග් ය. සුදු පැහැති කුෂන් දැමූ ලී පුටු ය. මේවා මේ දැන් මුහුදෙන් ගොඩ ගැසූ සෙයියාවකි. ඒ මුළු ප්‍රදේශයයේම ගස්වලට පහළින් ත්‍රිකෝණිත, වර්ණවත් කොඩි වැල් ය. ඒවා දෙස නොබලන සාහිත්‍යකාමී මිනිසුන් ය. එතැනින් ඔබ්බට සුප්‍රකට ‘හෝල් ඩි ගෝල්’ ය. ලී දොරෙන් ඇතුළුව දැන් ඔබට සාහිත්‍ය සුවිසැරියකට ඇතුළු විය හැකිය.
වසර හතරක නින්දකින් පසුව යළිත් ගාලු සාහිත්‍ය උළෙල ඇහැරී ඇත. ජනාවාරි 25 වැනි බ්‍රහස්පතින්දාවේ සිට 28 වැනි ඉරිදාව තෙක් ගාලු කොටුව ඇතුළතත්, ආසන්න ස්ථාන කිහිපයකත් සාහිත්‍ය උත්සවයට අදාළ කතාබහ ය. 24 වැනිදා උදෑසන වන විටම සාහිත්‍යකාමීන් එහි රොද බැද අවසන් ය. සෑම අතුරු පාරක්ම කලබලයෙන් එහා-මෙහා දුවන ජනතාවකගෙන් සජ්ජිතය. බහුතරය විදේශිකයන් ය. ඉනුත් බහුතරය වැඩිහිටි ජනතාව ය. වෙනත් වසරවලට සාපේක්ෂව බලන විට තරුණ සහභාගීත්වයේ අඩුවක් දකින්නට තිබුණි. මේ සා වැඩිහිටි පරපුරක් සාහිත්‍ය කෙරෙහි ආශක්තව සිටීමත්, තරුණ පරම්පරාවේ අඩු සහභාගීත්වයත් කියන නිහඬ කතාන්දරය විමසිල්ලෙන් ඇසිය යුතු ය.
11 වැනි වරට පැවැත්වුණු ගාලු සාහිත්‍ය උළෙල සඳහා මෙවර 5000ට අධික සංඛ්‍යාවක් පැමිණුනි. මෙවර විදේශිකයන්ගේ සහභාගීත්වය සෙසු සෑම වසරකටම වඩා වැඩි වීම ද සතුටුදායක කාරණයකි. ලාංකේය ලේඛක-ලේඛිකාවන් 25ක් සහ විදෙස් ලේඛක-ලේඛිකාවන් 27ක්, සංවාද මෙහෙයවන්නන් 24ක් සහ සූපවේදීන් 09ක් මෙවර සහභාගි විය. ඒ අතරම ලේඛකයන් සහ සංවිධාකයන් අතර ක්‍රිකට් තරගයක් ද මෙවර පැවැත්වුණි. සුපුරුදු ලෙස අනුග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් ද මෙවර ගාලු සාහිත්‍ය උළෙලට දායකත්වය සපයා තිබුණි.
සාහිත්‍ය උළෙලේ පළමු වැනි අංගය නයෝමි මුණවීර විසින් මෙහෙයවූ ‘ප්‍රබන්ධ ලිවීම’ පිළිබඳ වැඩමුළුවකි. ඒ ‘මර්චන්ට්’ හිදී ය. අමීනා හුසේන් සමඟ සංවාදය ඊළඟට ය. ඒ ඉබන් බතූතා ගැනය. ‘චේම්බර්ස්’ රෙස්‍ටුරන්ටය ඒ වෙනුවෙන් විවෘතය. කිරන් මිල්වුඩ් හෝල් ඩි ගෝල් වෙත ආයේ මර්සීස් සහ ඩාන්ස් ට්‍රී ගැන සංවාදයකට ය. සංවාදය මෙහෙයවූයේ ට්‍රේසි හොල්සින්ගර් විසිනි. ඇගේ ලිවීමේ ක්‍රියාවලිය විස්තර කරන කිරන් පැවසූයේ මෙවැන්නකි. “මට ලියන්න අදහස් ආවම මම ඒවා වෙනම ලියලා සේව් කරලා තියාගන්නවා. ඒ වගේම ඓතිහාසික සිද්ධි ගැන මම හරිම උනන්දුයි. මම මගේ පළවෙනි නවකතාව ලියන්න හිතලා එතකොට තිබ්බේ. ලියන්නෙ මොකක් ගැන ද කියලා හිතමින් ඉන්නකොට 1621 නෝර්වේවල ඇති වුණ විශාල කුණාටුවක් ගැන සිදුවීමක් මට අහන්න ලැබුණා. ඒක වෙලා තිබ්බෙ නත්තල් දාට කලින් දවසේ. කුණාටුව ඇවිල්ලා විනාඩි පහක් යන්න කලින් මිලියන පහකට ආසන්න පිරිමි ප්‍රමාණයක් මැරිලා තිබ්බා. ඒකෙන් ඒ කුඩා ගමේ ගැහැනු විතරයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ වගේම තවත් සිදුවීමක් වුණා ඊට අවුරුදු තුනකට පස්සේ. ආණ්ඩුව දැඩි ආගමික නීති වගේම මායාකාරියන් කියලා සැක කරලා කාන්තාවන් විශාල ප්‍රමාණයක් නෝර්වේවල මරලා දාලා තිබ්බා. මර්සීස් ලියන්න මාව පෙළඹෙව්වෙ මෙන්න මේ කාරණා දෙකයි. ස්ත්‍රී/පුරුෂ භූමිකා වෙනස් වුණ එක ගැන, ප්‍රචණ්ඩත්වය, ආදරය සහ වෛරය වටායි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ.” ප්‍රබන්ධයක උප්පත්තිය සිදුවූ ආකාරය අසා සිටීම කොහොමටත් ප්‍රබෝධජනකය.
බාලි කවුර් ජස්වාල්, ආමන්ති හැරිස් සහ ඇලෙක්සැන්ඩර් මැක්කෝල් ස්මිත් පෙනී සිටියේ ඉන් පසුවය. ඒ ද හෝ ඩි ගෝල් හි ය. සංවාදය මෙහෙයවූයේ අර්තිකා භක්ෂි ය. ප්‍රබන්ධයේ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ මේ සංවාදය පැයක් පුරා පැවැත්වුණි. විශේෂයෙන්ම සිංගප්පූරුව කේන්ද්‍ර කර ගනිමින් ලිවීමේ නිරත වන බාලි ජස්වාල්ගේ ලිවීමේ ක්‍රියාවලියත්, එහි සමාජ බලපෑමත් සිත්ගන්නා සුළු ය. ඒ තරමටම ලිවීමේ නිදහස පිළිබඳ බිය සංකා ආදිය පවතින යුරු වටහා ගැනීමට කදිම අවස්ථාවකි. වාරණය යටි බිම්ගතව පවතින ආකාරය බාලි ජස්වාල් පැවසූයේ තරමක නොසන්සුන්තාවක් ද සහිතව ය. ලේඛනය ඇගේ දෛනික ජීවිතයට, රැකියාවට කරන අදෘශ්‍යමාන බලපෑම දිගින් දිගටම සිතීමේ මාවතක් විවර කරවන සුළුය. පන්ජාබ් මූලයක් සහිත ඇය තමන්ගේ පළමු නවකතාව ‘ඉන්හැරිටන්ස්’ නමින් 2014දී පළ කෙරුණි. ඇය වඩාත් ප්‍රකට තෙවැන්න වූ ‘ඉරොටික් ස්ටෝරීස් ඔෆ් ෆොර් පන්ජාබි විඩෝස්’ පළ කිරීම හේතුවෙනි. මේ සා ආන්දෝලනාත්මක ප්‍රබන්ධකාරියක ලිවීම සම්බන්ධයෙන් ඇති සීමා මායිම් රාශියකින් රිංගා ගිය’යුරු ද කියවා බලන්නට වටී.
ඇලෙක්සැන්ඩර් මැක්කෝල් සුපුරුදු හාස්‍යෝත්පාදක කතා සාගරයක් රැගෙන පැමිණ සිටියේය. තම නවකතාවල චරිත සමඟ ඇති සම්බන්ධකම් සේම ඒ චරිතවල උප්පත්ති කතා ආදිය ගැන කීමට ඔහු සතුව බොහෝ දෑ තිබුණි. විශේෂයෙන්ම තම පාඨකයන්ගෙන් තමන්ට ලැබෙන ලිපි රාශිය අතරේ නොයෙක් චරිතවලට කළ යුතු දෑ ද ලියා එවන්නට පාඨකයන් අමතක නොකළ බව හේ පැවසූයේ රතු වූ මුහුණින් සහ සන්සුන් අංගිතවලිනි. ආමන්ති හැරිස් තම විප්‍රවාසී ලේඛන ජීවිතය ගැනත්, තමන්ගේ ලිවීමේ ලාලසාව හටගන්නා තැන් පිළිබඳත් සැනසිල්ලේ කරුණු කීය.
හෝ ඩි ගෝල් වෙතින් හුස්මක් ගෙන එළියට බැස යන්නට තැන් බොහෝ ය. ඉනුත් චිත්‍ර, මූර්ති සහ ඡායාරූප ප්‍රදර්ශන වඩා වැදගත් ය. ‘ෆෝට් ප්‍රින්ටර්ස්’ සැදී පැහැදී ඉන්නේ ෆැබියෑන් ෆ්‍රෑන්කොට් මෙහෙයවන කලා වැඩමුළුවක් වෙනුවෙනි. ‘තැඹිලි හවුස්’ වෙත යන්නේ නම් මල්කි ජයකොඩිගේ දියසායම්, තෙල් සායම් සහ මිශ්‍ර සිතුවම් දැකිය හැකිය. ‘ලන්දේසි’ වෙත ගියොත් චාල්ස් උසේල් එඩ්වඩ් හමුවිය හැකිය. හෙතෙම, ග්‍රැෆිටි සිතුවම්කරණයේ ප්‍රකට නිර්මාණකරුවෙකි. නැවතත් තැඹිලි හවුස් වෙතට ගොස් ප්‍රකට වීදි ඡායාරූප ශිල්පියකු වන විනීත් වෝරා සම්මුඛ විය හැකිය. අතිශය සිනමාත්මක ඔහුගේ සේයාරූ නැරැඹිය හැකිය.
දැන් තෝරාගැනීම් සහසකි. සමර පාට ගාගත් ගාලු කොටුවේ ගොඩනැගිලි ‘මෙහේ එන්න’යි අත වනන්නාක් මෙනි. කාටත් ඕනෑ තමන්ගේ අලංකාරය පෙන්වන්නට විය යුතුය. තම, තම අලංකාර ගැන උදම් අනන මිනිසුන් සමූහ අතර ගොඩනැගිලිත් තිබීම යාන්තමින් මුවඟට සිනාවක් අලවන්නකි. ඒත් ගොඩනැගිලිවල කතා නිහඬය. ඒවා අප විසින් හාරා, පාදා සොයාගත යුතුය. මිනිසුන් එසේ නොවේ. අධික ඝෝෂාකාරීය.
මේ සියල්ල අතර ගාලු කොටුව ඇතුළත සිනමාපටයක රූගත කිරීමකි. යුහුව එහා-මෙහා දුවන පාත්‍ර වර්ගයා මුහුදු අද්දරට වන්න අලුතින් සැකසූ පසුතලයේ චිත්‍ර මෙනි. තැපැල් කාර්යාලය ඉදිරිපිට නැවතූ වෑනයේ නළුවෝය-නිළියෝය, අත් උදව්කරුවෝ ය. ඒ ද ගාලු සාහිත්‍ය උළෙලේ අංගයකැයි වරදවා වටහාගෙන නරඹන්නට යන විදේශික සාහිත්‍ය රසවතුන් ය. රතු වූ මුහුණින් ආපසු හැරී එන ඔවුන්ගේ මුහුණුවල සිනා රැලි ය.
සාහිත්‍ය සංවාද කිහිපයකට පසුව ‘ලංකා ලිවින්ග් ගැලරිය’ට වැදුණු මට අපූරු චිත්‍ර රාශියක් දැකගත හැකි විය. ගැලරියම එකම සිතුවමක් වැනිය. දිය සෙවළ බැඳුණු බිත්ති සහ අඩක් පිරියම් කළ බිත්ති මත එල්ලුණු චිත්‍ර අතීතයෙන් ආවාක් මෙනි. ගැලරිය ඇතුළත අසාමාන්‍ය නිශ්ශබ්දකමකි. මතු මහලේ කෝපි හළකි.
ගාලු කොටුවෙන් කිලෝමීටර් කිහිපයක දුරින් අපූරු කෝපි හළකි. ඒ ‘වයිල්ඩ් ඇන්ඩ් ද සේජ්’ ය. අමන්දා ජයතිස්ස තමන්ගේ නවතම ප්‍රබන්ධය ‘අයිලන්ඩ් විච්’ ගැන කතා කරන්නේ එහි ය. ඒ අපූරු එළිමහනකි. කවාකාර අසුන් පැනවීමකි. නොනැවතී සුළඟ ගෙන එන කෝපි, ලෙමනේඩ් ආදී සුවඳ ය. චංචලා ගුණවර්ධන සංවාදය මෙහෙයවන්නීය. සෙමෙන් ගැටෙන වීදුරු හඬ අතර අමන්දා තමන්ගේ දෙවැන්න ගැන කතාවේ ය. “මගේ අලුත් පොත ගොතික් හොරර් ශානරයේ එකක්. 19 වැනි ශතවර්ෂයේ මාතර තමයි මේ කතාවට පාදක වෙන්නේ. කට්ටඩියෝ, කපුවෝ, හූනියම් මේ කතාව ඇතුළේ ඉන්නවා. මම හොරර් චිත්‍රපටි ආදිය බලමින් හැදී වැඩුණ කෙනෙක්. අවුරුදු 18ක ගෑනු ළමයෙක් මේ කතාවෙ කතා නායිකාව. එයාගෙ තාත්තා කපුවෙක්. මේ කාලෙ ගමේ නොයෙක් අද්භූත දේ සිද්ධ වෙනවා. මේ සියල්ල වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.”
තමන්ගේ ලිවීමේ ක්‍රමවේද, සංස්කරණ ක්‍රියාවලිය සහ ලිවීමට ආවේශය පැමිණෙන ආකාරය ගැන ද ඕ නිවිසැනසිල්ලේ පවසයි. ඉදිරියෙන් සාවධාන ඇහුම්කන් දෙන්නෝ ය.
යළිත් මුහුදු තීරය දිගේ ගාලු කොටුවට වැදී ‘ෆෝට් බසාර් කෝට්යාඩ්’ වෙත යන විට හැන්දෑව තමන්ගේ සළු ආදිය හෙළන්න ඔන්න මෙන්න ය. අහසම ළා රතක් උලාගෙන ය. කෝට්යාඩය පිරෙන්නට සෙනග ය. එහි අසුන්ගෙන උන්නේ ඩීබීසී පියර්, මනූ ජෝසප් සහ ඉරූෂි තෙන්නකෝන් ය. ඒ සංවාදය සිනා සාගරයකි. ලිවීමේ හිතුවක්කාරකම් පෙන්වන පියර් සහ මනූ ජෝසප් කියන්නේ රාමුවල, කොටුවල නොසිට නිදහසේ ලියන්නැයි කියා ය. ඔබ බිය විය යුත්තේ ඔබට මිස අනෙකාට නොවන බව දැනුණෙ ඒ සංවාදයෙන් පසුව ය. පීටර් වොරන් ෆින්ලේ පියර් නොහොත් ඩීබීසී පියර් ඕස්ට්‍රේලියානු කතුවරයෙකි. ‘වර්නන් ගෝඩ් ලිට්ල්’ ඔහු ලියූ ප්‍රකටම නවකතාවකි. ‘බිග් ස්නේක් ලිට්ල් ස්නේක්’ නිකුත් වූයේ 2022 වසරේ දී ය. හෙතෙම කාටුන් ශිල්පියකු ද වේ. ඊට නොදැවෙනි මනූ ජෝසප් ඉන්දියානු ලේඛකයකු සහ මාධ්‍යවේදියෙකි. ප්‍රකට නෙට්ෆ්ලික්ස් මාලා නාටකයක වූ ‘ඩිකපල්” හි රචකයා ඔහු ය. හාස්‍යෝත්පාදක දෑ කීමේ සහ ලිවීමේ දක්ෂයකු බව මේ සංවාදය අවසන හෙතෙම ඔප්පු කර පෙන්වූවා වැනිය. කෙනෙකු සිනාගැන්වීමේ රාජකාරිය සුළුපහසු එකක් නොවන බවත් ඔබේ ලිවීමේ ශෛලිය තුළ හාස්‍ය ඇත්නම් ඒ ගැන සතුටු වනවා මිස දුක් වීමට කාරණා නොමැති බව කීයෙන් ඒ සතුට මට ද හිමි වූවා වැනි ය. දවසක් අහවර කිරීමට කදිම සංවාදයකැයි උදම් අනමින් අප ෆෝට් බසාර් කෝට්යාඩයෙන් අපි පිටත්ව ආවෙමු.
ගාලු සාහිත්‍ය උළෙල යනු දින හතරක සාහිත්‍යකාමී එකමුතුවකි. එක් දිනක් සතියක් දිග ය. තවත් කීමට විස්තර ද බොහෝම ය.
කාංචනා අමිලානි
ඡායාරූප: Malaka Mp Photography