සුනේත්‍රා රාජකරුණානායකගේ ‘වීසාචකයෝ’

Share post:

ආර්ථික හෝ අධ්‍යාපනික අරමුණු සපුරා ගැනීමට ශ්‍රී ලාංකිකයන් යුරෝපීය රටවලට සංක්‍රමණය වීම කලෙක පටන් සිදුවන්නකි. එහෙත් මෑතකාලීනව මෙම ක්‍රියාවලිය පුළුල් සහ වේගවත් බවක් අත්පත් කර ගෙන තිබීම රහසක් නොවේ. විශේෂයෙන් මෙරට තරුණ පරම්පරාව ශ්‍රී ලංකාව නම් රාජ්‍ය තමන්ගේ ආර්ථික , අධ්‍යාපනික සහ වෘත්තිය අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සුදුසු බිමක් ලෙස පිළිනොගැනීම ඊට ප්‍රධාන හේතුව බව පැහැදිලිව දිස් වේ. මේ නිසා ස්වකීය ජීවිත ආශා සහ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට වෙනත් දේශයක පහස සෙවීම අරුමයක් නොවේ. එහෙත් එලෙස යුරෝපීය රටවලට සංක්‍රමණය වන බහුතරයකට සුවපහසු දිවියක් උරුම වේද? .සුනේත්‍රා රාජකරුණානායකගේ වීසාචකයෝ නම් අලුත්ම නවකතාව මෙම සංක්‍රමණික ප්‍රජාවගේ මානසික සහ භෞතික අභියෝග මෙන්ම එම අභියෝගවලට මුහුණ දීමට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග නිරාවරණය කිරීමට ගත් ප්‍රබන්ධමය උත්සාහයකි.

මෙම නවකතාවේ එන චරිතයක් පැහැදිලි කරන පරිදි මෙහි ග්‍රන්ථනාමය වන වීසාචකයෝ යන්න සෑදී ඇත්තේ වීසා සහ යාචකයෝ යන වදන් දෙක සන්ධි වීමෙනි. කතුවරිය මෙම වීසාචකයෝ පිළිබඳ කතාපුවත අප වෙත ගෙන එන්නේ පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන දෙමළ යුවතියකගේ චරිතය කේන්ද්‍ර කර ගනිමිනි. අධ්‍යාපනික කටයුතු මෙන්ම නවාතැන් , ආහාර පාන, ගමන් වියදම් යනාදිය සඳහා අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමටත් වීසා කාලය දීර්ඝ කර ගැනීමටත් ඔවුන් දරන අප්‍රමාණ වෙහෙස දෙස සුනේත්‍රාගේ අවධානය යොමු වේ. විවේකය යනු ඔවුන්ගේ වදන් කෝෂයට අකැප වචනයක් බවට පත් වේ. මේ අතර අක්ෂරා නම් මෙම ප්‍රධාන චරිතයට 1970 දශකයේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ මුණගැසේ. ඉන්පසු නවකතාවේ විශාල පදාසයක් ප්‍රීති මාමා නම් මොහුගේ චරිතාපදානමය විස්තරයකින් සමන්විත වේ. නවකතාවේ අවසන් කොටසේදී කතුවරිය නැවතත් වීසාචකයන් වෙතට හැරෙයි.

අධ්‍යාපනික කටයුතු සඳහා යුරෝපයට සංක්‍රමණය වන සිසුන් ගතකරන දුෂ්කර ජීවිතය සිංහල නවකතාවකට තේමා වූ පළමු අවස්ථාව මෙය විය හැකිය. මෙම සිසුන්ට අධ්‍යාපනික කටයුතුවලට වඩා ආර්ථික ජීවිතයේ සිරකරුවන් වීමට සිදුව ඇති අයුරුත් කවර දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ස්වකීය අරමුණ කරා යාමට ඔවුන් දරන අනවරත උත්සාහයත් මෙම ක්‍රියාවලිය තුළ මානව සබඳතා ගන්නා හැඩරුවත් චිත්‍රණය කිරීමට කතුවරිය වෑයම් කරයි. මේ සදහා ඇය තමන් සතු අපමණ අත්දැකීම් සම්භාරයත් විවිධ ජාතිකත්වයන් පිළිබඳ ඇයගේ විශිෂ්ට සංස්කෘතික දැනුමත් නිර්ලෝභීව යොදා ගනී.

කෙසේවෙතත්, සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන කරනු ලබන නවකතා නිර්මාණයේදී බොහෝ ලේඛකයන් මුහුණ දෙන අභියෝගයට සුනේත්‍රාටත් අභිමුඛවීමට සිදුව ඇති බව පෙනේ. මෙම සංක්‍රමණික සිසුන්ගේ විස්තරය අප කව්රුත් දන්නා පොදු කතාවය. එයින් විශේෂයක් මතු කර ගැනීමට උත්සාහ නොකිරීමේ ගැටලුව සමස්ත නවකතාවට නිශේධනාත්මකව බලපා තිබෙන බව පැහැදිලිය. මේ නිසා කතාපුවත සරල රේඛීය ආඛ්‍යානයකට ලඝු වේ. ප්‍රීති මාමාගේ චරිතාපදානමය විස්තරය ද බෙහෙවින් ඒකාකාරි ස්වරූපයක් ගනී. සමාජ නිරීක්ෂණය වෙත කතුවරිය දක්වන අවධානය එය ප්‍රබන්ධයක් දක්වා විකසිත කිරීමට නොයෙදීම ඊට හේතු වී ඇති බව පෙනේ. එමෙන්ම ඇය පසුවදනේ සඳහන් කරන ආකාරයට මෙය තම මිතුරියකගේ ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රතිඵලයකි. මට හැඟෙනුයේ මේ ඉල්ලීම ඉටුකිරීමට පැවති හදිසිය ⁣නිසා ඇයට ප්‍රබන්ධය මඟහැරෙන්නට ඇති බවය.

සුනේත්‍රා රාජකරුණානායක යනු මෙරට ⁣නවකතාකරණයේ යෙදෙන වඩාත් අත්දැකීම් බහුලම ලේඛිකාව බවට තර්කයක් නොමැත. එමෙන්ම ඇය අත්දැකීම් හඹායාමට ඇලුම් කරන නවකතාකාරියකි. එහෙයින් හදිසි නොවී ප්‍රබන්ධය විකසිතවීමට ඊට අවැසි කාලයක් ගැනීමට ඉඩ දෙන්න. නැතහොත් එය ඔබ ඔබගේ පාඨක සමාජයට කරන අසාධාරණයක් වනු ඇත .

උදිත අලහකෝන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...