රජය ජනතාවගෙන් ආරක්ෂා වීම සහ නිදහස් දිනයට පෙර දින වැල්ලවත්තේ තිබූ සුවිශේෂී උත්සවය !

Share post:

නිදහස් දිනයට පෙර දින වැල්ලවත්තේ මංගයියාර් මණ්ඩපම් හින්දු කාන්තා සමිතියේ පොත් එළිදැක්වීමේ උත්සවයක් පැවැත්විණි. එළිදැක්වූ පොත් දෙක පසුගිය සියවස පුරා ශ්‍රී ලංකාවේ ජනජීවිතයට දායක වූ පියකුගේ සහ පුතකුගේ චරිතාපදාන වේ.

ඉන්, පියා ශ්‍රීමත් වයිටියලිංගම් දුරෙයිස්වාමි පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙක් විය (බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හැඳින්විණි.)

පුත්‍රයා වන්නේ, සිවිල් යුද්ධය පැවති සමයේ යාපනයේ දිසාපතිවරයා වූ, විදේශීය අගනුවර රැසක රට නියෝජනය කරමින් තානාපතිවරයකු වූ යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි ය. මම පෞද්ගලිකව දෙවැන්නා දැන සිටි අතර, ඔහු මාගේ මිතුරෙක් විය. ඔහු දෙමළ ජනතාවගේ සහ සමස්ත ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ හොඳම මාර්ගය ලෙස ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ රාජ්‍යය සමඟ අඛණ්ඩව රැඳීසිටීම වෙනුවෙන් පෙනීසිටියේය.

පොත් එළිදැක්වීමේ උත්සවයට පැමිණ සිටියේ බොහෝ විට වැඩිහිටි පරම්පරාවේ අයයි. මෙරටින් පිටත්ව ගිය බ්‍රිතාන්‍ය පාලකයන් ශ්‍රී ලංකාව තවත් “නැගෙනහිර ස්විට්සර්ලන්තයක්” ලෙස විස්තර කළ අත්දැකීම් සමග ඔවුන් නිදහසේ මුල් බලාපොරොත්තු අත්විඳ ඇත. ප්‍රථමයෙන් දකුණේ සහ පසුව උතුරේ ප්‍රචණ්ඩත්වය රට පරාජයට පත්කරන බව දුටු පසු දශක කිහිපය තුළ, ඔවුහු එම බලාපොරොත්තු සිඳීයෑම හරහා ද ජීවත් වූහ.එක්රැස්වී සංගීතය අත්විඳීම සහ අලංකරණය කිරීම දෙමළ සංස්කෘතික සම්ප්‍රදායට අයත් වූ නමුත්, වෙන්වීමක් හෝ බෙදීමක් පිළිබඳ හැඟීමක් එහි නොතිබිණි. දෙමළ සහ සිංහල කතාකරන ජනයා මිශ්‍ර වූ අතර, ප්‍රශ්නය සම්බන්ධයෙන් යුද්ධයකට යෑමට තරම් වාර්ගික වශයෙන් බෙදී ඇති දේශපාලනයක් ගැන සිතීම ඔවුන්ට දුෂ්කර විය. උත්සවය අවසානයේ ජාතික ගීයේ සංගීතය වාදනය කිරීමෙන් සංකේතවත් කරන ලද සමස්ත හැඟීම එක්සත්බව සහ එකමුතුකම විය.

ශ්‍රීමත් වයිටියලිංගම් දුරෙයිස්වාමිගේ චරිතාපදානය, ශ්‍රී ලංකාවේ වෙනස් කාලයක් සහ වෙනස් රටක් නිරූපණය කරයි. 1911 දී බ්‍රිතාන්‍ය පාලකයන් යටත් විජිත ව්‍යවස්ථාදායකයට තනි නියෝජිතයකු තෝරාගැනීමේ අයිතිය මෙරට ජනතාවට ලබාදුන්නේය. එම පළමු මැතිවරණය ජයග්‍රහණය කළේ, සිංහල ප්‍රතිවාදියා වූ ශ්‍රී මාකස් ප්‍රනාන්දු පරදවමින් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ය. දශක තුනකට ආසන්න කාලයකට පසුව, ශ්‍රීමත් වයිටියලිංගම් දුරෙයිස්වාමි, ඔහුගේ සිංහල ප්‍රතිවාදියා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා, කේ.සී. (එකල ජ්‍යේෂ්ඨ නීතීඥයන් ලෙස ප්‍රකටව සිටි, පසුව සෙනෙට් සභාවේ සභාපති වූ) පරදවා, කථානායකවරයා ලෙස තේරී පත් වූ විට ඉතිහාසය නැවත සිදුවන බවට සහතික විය. මෙම අවස්ථා දෙකේදීම, බහුතර ඡන්දදායකයෝ සිංහල වූ නමුත්, වාර්ගික භේදය ඔවුන්ගේ මනසෙහි ඉහළින්ම නොතිබූ බැවින්, ඔවුහු දෙමළ ජනයාට ඡන්දය දුන්හ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 76 වැනි සංවත්සරය සනිටුහන් කළේ අතීතයේ අප අත්විඳි හොඳම දේ සමඟ නැවත සම්බන්ධවීමට රජයට නොහැකි පරිසරයකය. තැනක් හෝ දෙකක ඉඳහිට ජාතික කොඩියක් ප්‍රදර්ශනය කර තිබූ නමුත් ජාතික උද්යෝගය හෝ දේශප්‍රේමය පිළිබඳ මහජන උනන්දුවක් මෙවර නොතිබිණි. නිදහස් දින පෙළපාළිය යනු වැරදි කළමනාකාරිත්වය සහ දූෂිතභාවය හේතුවෙන් රට උපයන මුදලට වඩා වැඩි මුදලක් ණයට ගැනීම නිසා ඇති වූ ආර්ථික අර්බුදය වසාගැනීමට අත්‍යවශ්‍ය වූ ආවරණයක් පමණක් විය. එක් පැත්තකින් ප්‍රභූවරුන් අසුන්ගෙන සිටි අතර, අනෙක් පැත්තෙන් ගාලු මුවදොර කොළ පැහැයෙන් යුතු තණ පිටිය සාගරය දක්වා විහිදී පැවැතිණි. එහි සාමාන්‍ය මිනිසුන් සිටියේ නැත. සාමන්‍ය ජනතාව ඉන් ඈත්කළේ, සෑම සමීක්ෂණයකින්ම පෙන්නුම් කරන පරිදි, ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කුසගින්නේ මන්දපෝෂණයෙන් පෙළෙන විට, දෙපාර්ශවය අතර පරතරය වේගයෙන් වර්ධනය වන විට, රජයට හමුදා පෙළපාලියක් පැවැත්වීම ගැන ඔවුන් විරෝධය පළකරනු ඇතැයි යන බිය නිසා විය හැකිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිදහස් දින උළෙලේ රටේ සංස්කෘතික කලා ආකෘතීන් වන නැටුම්, සංගීතය සහ ඇඳුම් පැළඳුම් නොතිබූ අතර සාමාන්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව හමුදා ඒකක සංදර්ශනයක් පමණක් දැකගත හැකි විය. බහුතර සංස්කෘතියේ සංකේතයක් ලෙස විශාල රන්වන් පැහැති සිංහයකු රෝද සහිතව මාර්ගයේ ඇදගෙන යනු ලැබීය. විවිධත්වය මූලික ස්ථම්භයක් වන, දේශපාලනයේ පොහොසත්කම, එහි දැකගත නොහැකි විය. සුළුතර වාර්ගික සහ ආගමික ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලනඥයන් ඇතුළුව රටේ විරුද්ධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද එහි පැමිණ සිටියේ නැත. නිදහස් දින උත්සවයේදී රජය වැඩි වැඩියෙන් හුදකලා වූ එකක් බවට හෙළිදරව් වූ අතර, එහි එක් ශක්තියක් වූයේ ආරක්ෂක හමුදාවන් විසින් කටයුත්ත පාලනය කිරීමයි. ඔවුහු එම බිමේ රැඳී සිටි අය වූ අතර, එදින වැඩි වරප්‍රසාද සහ ප්‍රතිලාභ ලැබූවෝ වූහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 211 දෙනෙකුට සහ යුද හමුදාවේ සෙසු නිලයන් 1,239 දෙනෙකුට උසස්වීම් ලබාදීමට එදින ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය. මෙය නිදහස් දිනයේ සම්මතයක් වී ඇත. පසුගිය වසරේ 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 208 ක් සහ සෙසු නිලයන් 7,790 ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරන ලදී.

විරෝධයන් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඇති බලතල ද රජය ක්‍රමානුකූලව වැඩිකරමින් සිටී. මාර්ගගත ආරක්ෂණ පනත ඔස්සේ ‘තහනම් කෙරෙන’ අන්තර්ගතයන් මොනවාදැයි තක්සේරු කිරීමට සහ ඒවා ඉවත් කිරීමට පුළුල් බලතල ලබාදී ඇත. පුළුල් පරාසයක් ආවරණය කරන මෙම  නීතිය මගින් ‘ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ’, ‘ආගමික හැඟීම් රිදවීමේ ප්‍රකාශිත චේතනාවෙන් ප්‍රකාශ කිරීම සහ වෙනත් අනිසි ලෙස භාවිත කිරීම තහනම් කරයි. මේ සියල්ල රජය විසින් පත්කරන ලද කොමසාරිස්වරුන්ගේ අර්ථ නිරූපණයට යටත් වනු ඇත. යෝජිත ත්‍රස්ත විරෝධී පනත, විකාශන අධිකාරී පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පනත මගින් රජය විසින් පත්කරන ලද කොමසාරිස්වරුන්ට තීරණ ගැනීමේදී, නිරීක්ෂණය කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග සහ දේශපාලන මතය, ස්වෛරීභාවයට හා රටේ මහජන සාමයට හානි කිරීමට අදහස් කරන බැවින්, දණ්ඩනීය ක්‍රියාමාර්ගවලට යටත් විය හැකිද යන්න තීරණය කිරීමට බලය ලබාදෙනු ඇත.

රටේ දෙමළ ආධිපත්‍යය දරන උතුර හා නැගෙනහිර ප්‍රදේශ කළු කොඩි විරෝධතා සහ සාමාන්‍ය උදාසීනත්වයේ සංකලනයකට ආපසු හැරීමක් සිදුව තිබේ. රටේ නිදහසේ පළමු දශකය තුළ වාර්ගික ගැටුම උත්සන්න වූ දා සිට මෙය සාමාන්‍ය ප්‍රවණතාවක කොටසකි. විශේෂයෙන්ම ශ්‍රීමත් වයිටියලිංගම් දුරෙයිස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි සිංහල බහුතරයේ සහයෝගයෙන් සමස්ථ රාජ්‍යය නියෝජනය කිරීමට නියෝජිතයන් තෝරාගත් දෙමළ ජනතාව නැවත විරසක වී ඇත. නිදහසින් පසු, සහ සාමාන්‍ය ජනතාව විසින් බහුතර ඡන්දය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, දෙමළ ජනතාව බල රහිත වූ සුළුතරයක් බවට පත්ව ඇත. මෙය ඔවුන්ට ගෙනා නිදහස වෙනුවෙන් ඔවුන් සමරන්නට බලාපොරොත්තු වන තත්ත්වයක් නොවන අතර, එය දැන් සිංහලයන් ඇතුළු අනෙකුත් ජන කොටස්වලටද දැනෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට වසර දෙකකට පමණ පෙර තමා ජනාධිපති වූ විට දුන් පොරොන්දුව ඉටුනොකළ අතර, එය විශේෂයෙන් බලාපොරොත්තු සුන්කරවන්නක් වේ. රටට නිදහස ලැබී 75 වැනි වසර තුළ ජනවාර්ගික ගැටුම විසඳන බවට ජනාධිපතිවරයා පොරොන්දු විය. දැන් 76 වැනි වසරට එළැඹී ඇති  අතර, පළාත්වලට සීමිත බලතල ප්‍රමාණයක් බෙදාදුන් 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමටවත් රජය කැමැත්තක් හෝ හැකියාවක් ලැබී නැත. දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා කලකිරීමට පත්වන්නේ වාර්ගික හා ආගමික සුළුතරයන් පමණක් නොවේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ අන්තර්ජාතික ප්‍රජාවගේ ඉල්ලීම් නොතකා රජය මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කළ ආකාරය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයේ කැපවීම ප්‍රශ්න කර ඇත.

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ නීතිය සම්මත කිරීමෙන් පසු රජය ත්‍රස්ත මර්දන පනත සමග දැඩි ලෙස ඉදිරියට යන ආකාරය මගින් පැහැදිලිව දැකගත හැක්කේ, ආණ්ඩුවේ පාලනයට යටත් නොවන සෑම අංශයකම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය වසාදැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ (බොහෝ රජයන්ගේ බහුපාර්ශ්වික මුලපිරීමක්) රජය සමඟ හවුල් වී සිටි සිවිල් සමාජ සංවිධාන එම ක්‍රියාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත. අපේක්ෂිත රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත සම්බන්ධයෙන් ද එවැනිම ගැටළු පවතී. කෙටුම්පත් කර ඇති නීතිය මගින් පෙන්නුම් කරන්නේ, ‘මූලික සංස්කෘතික වටිනාකම්’ සහ ‘මහජන සාමයේ ආරක්ෂාව සහ අවශ්‍යතා’ කෙරෙහි බලපාන ඕනෑම ක්‍රියාවක්, තනි තනි රාජ්‍ය නොවන සංවිධාන අත්හිටුවීමට සහ වසාදැමීමට හේතු විය හැකි බවයි. විපක්ෂය තුළ සුනාමියක් වර්ධනය වෙමින් පවතින අතර, ආණ්ඩුව සිය බලකොටු සකස් කරමින් සිටින්නේ මෙවැනි තත්ත්වයන් තුළ ය.

  • ජෙහාන් පෙරේරා

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...