ජීවිතයේ සුන්දරත්වය අත්විඳිය හැක්කේ විවිධත්වයට ගරු කරන මිනිසුන්ටය

Share post:

අද අප ජීවත් වන්නේ මිනිසුන්ගේ ලිංගික අනන්‍යතාව හෝ ලිංගික දිශානතිය පිළිබඳ බයිනරිමය (එක්කෝ/නැත්නම් )සිතීම ඉක්මවා යමින් පවතින ලෝකයකය. එවන් ලෝකයක ලිංගිකත්වය පිළිබඳ කතිකාව තවදුරටත් ස්ත්‍රී සහ පුරුෂ යන සීමාවට පමණක් ලඝු කිරීම අසංස්කෘතිකත්වයේ ලක්ෂණයක් සේ සැලකේ. එහෙත් ආගම අධිනිශ්චය වූ සංස්කෘතික සාම්ප්‍රදායිකත්වයක ඇලී ගැලී සිටින ශ්‍රී ලංකාව වැනි දූපත් සමාජයක් සමරිසි, ද්විලිංගික සහ සංක්‍රාන්ති ලිංගික යනාදී ලිංගික අනන්‍යතා සහ දිශානති සහිත ප්‍රජාවන් වෙත හෙලනුයේ නිශේධනාත්මක සහ ගර්හාතමක බැල්මකි. විෂ්ණු වාසුගේ සාරි ඇඳපු පිරිමි මෙම කාලීන සංස්කෘතික කතිකාව නිර්මාණාත්මකව පෝෂණය කරන නවකතාවකි.

මෙහි කේන්ද්‍රීය චරිතය අර්ජුන්ය. ඔහු වැල්වැටිතුරෙයි බ්‍රාහ්මණ පවුලකට අයත් ස්‍ත්‍රීමය චර්යාවන්ගෙන් යුත් පිරිමි ළමයෙකි. මෙම ලක්ෂණ හේතු කොටගෙන ඔහුට පවුලේ අයගෙන් මෙන්ම අන්‍යයන් වෙතින්ද විඳීමට සිදුවන මානසික සහ කායික ගැහැට අපමණය. මෙම අඩත්තේට්ටම්වලින් මිදීම සඳහා වැල්වැටිතුරෙයි සිට කටුනායක නිදහස් වෙලඳ කලාපය වෙතත් එතැන් සිට කොළඹ ඉහළ පාංතික සමාජය වෙතත් සිදු කෙරෙන ඔහුගේ ජීවන චාරිකාව ඔස්සේ කතාපුවත දිගහැරෙයි. විෂ්ණු වාසුම පවසන පරිදි ඔහු මෙම කතාපුවත ගොඩනංවනුයේ සත්‍ය සිද්ධි පදනම් කර ගෙනය. එහෙයින් මෙහි ඇතුළත් සමහර චරිත සැබැවින්ම ජීවත් වූවන්ය නැතහොත් තවමත් ජීවත් වන පුද්ගලයන්ය.

මෙම නවකතාවේ තේමාත්මක කතිකාව තුළ කතුවරයාගේ අවධානයට ලක්වන මූලික කාරණා දෙකක් තිබේ. එනම් , සමරිසි හෝ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් ආන්තිකකරණය කිරීමේ අසංස්කෘතික බවත් එම ප්‍රජාවන් පිළිබඳ පොදු සමාජයේ ආකල්පය ඔවුන්ගේ පංති පදනම්වලට සාපේක්ෂ වන බවත්ය. කතුවරයා තම ප්‍රධාන චරිතය සියලු වාර්ගික , පංතිමය, ආගමික හා සමාජමය ස්තර හරහා කැටුව යන්නේ එහෙයිනි. මේ අනුව ආර්ථික , දේශපාලනික , සමාජීය සහ සංස්කෘතික බලය සහිත ස්තරයට මෙකී අනන්‍යතා නිසා කිසිදු නිශේධනාත්මක හෝ ගර්හාත්මක බලපෑමක් ඇති නොවේ. සදාචාර පොලිසි, ආගමික සංස්ථා හෝ වෙනත් මර්දනකාරී ආයතන මෙන්ම පොදු සමාජය ද මොවුනට ප්‍රතිචාර දක්වනුයේ ඔවුන්ගේ පංතිමය සන්දර්භය සැලකිල්ලට ගෙනය. සමාජමය ප්‍රතිචාරයේ මෙම දෙබිඩි බව මැනවින් ඉස්මතු කිරීමට විෂ්ණු වාසු සමත් වේ. විෂ්ණු වාසු මතු කරන මෙම අදහසට සමාන අදහසක් මධුලෝලිත්වය සම්බන්ධයෙන් ජගත් මාරසිංහ ලියූ ” කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව” නම් කෘතියේ දැක්වේ.” දුප්පතා බීගත් විට පාදඩයාය. මැද එකා බීගත් විට සෝබනකාරයාය. ධනපතියා බීගත් විටත් නැතත් මහත්තයාය.”මෙයින් පෙනීයන්නේ ලිංගික අනන්‍යතාවේදී පමණක් නොව තවත් බොහෝ අංශවලදී සමාජය මිනිසුන් ලේබල් කිරීම ඔවුන්ගේ පංතිමය ස්වභාවයට අනුව සිදු කරන බවය.

කතුවරයා මෙම නවකතාවේ ද්විතීයික තේමාවක් ලෙස ආගම හා බැඳුණු සංස්කෘතික අලංකාරය වෙතට පාඨක අවධානය යොමු කරයි. විශේෂයෙන් හින්දු ආගමේ දාර්ශනික සාරය එහි සංස්කෘතික අංග සමඟ සම්බන්ධ කිරීමේ උත්සාහයක් දක්නට පුළුවන. අප ජීවත් වන්නේ පූජක තන්ත්‍රයේ (බෞද්ධ ,හින්දු , කතෝලික , ඉස්ලාම් ) මිථ්‍යාමය මෙහෙයුම් නිසා ආගම්වල දාර්ශනික සාරයත් සංස්කෘතික විචිත්‍රත්වයත් අහිමි වෙමින් යන සමාජයක බැවින් විෂ්ණු වාසුගේ මෙම අවධානය අපතේ යන්නක් නොවේ.

මෙම නවකතාව එක්තරා ආකාරයකින් විෂයාත්මක අන්තර්ගතයක් ප්‍රබන්ධමය ආකෘතියකින් ඉදිරිපත් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. මන්ද , පාඨකයාට මෙම නවකතාව කියවීම මගින් සාහිත්‍යමය රසයක් ලබා ගතහැකි වීම පමණක් නොව ස්වකීය සංස්කෘතික සාක්ෂරතාව ද ඉහළ නංවා ගතහැකි හෙයිනි. එමෙන්ම නවකතාව ලාලිත්‍යවත් සහ කාව්‍යමය බස් වහරකින් පිරී පවතී. එය මෙම ප්‍රජාවන් මිනිස් සමාජයේ ව්‍යතිරේකයක් නොවන බව දනවන භාෂාවකි. එම බස් වහර මගින් ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ජනිතවීමකට වඩා ඔවුන් පිළිබඳ වඩාත් සංස්කෘතික වූ දැක්මක් නිමවා ගැනීමට පාඨකයාට අවකාශ සැලසේ.

ජීවිතයේ සුන්දරත්වය අත්විඳිය හැක්කේ විවිධත්වයට ගරු කරන මිනිසුන්ටය. සාරි ඇඳපු පිරිමි එවන් මිනිස් සමාජයක සංස්කෘතික මහිමය පෙන්වා දෙන නවකතාවකි. විෂ්ණුගේම වචනයෙන් පවසන්නේ නම් “අතඅරින්න එපා ඒ ආනන්දය”.

උදිත අලහකෝන්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...