‘අයිලයේ තැනි බිමට ආයෙ ඇවිදින් යන්න’- සුරංගි ලියනපතිරන
සුරංගි ලියනපතිරන සිය කුළුඳුල් කාව්‍ය එකතුව නම් කරනුයේ ලාංකීය සාහිත්‍යයට බෙහෙවින් සමීප ගුරු ගීතයේ දුයිෂෙන් යළි කැඳවමිනි. ඇගේ ඒ නමට පාදක වන කවිය තුළ වනුයේ අල්තීනායි හට සැබෑ ජීවිතය දිනා දෙන්නට උපරිමයෙන් කැපව කටයුතු කර තම පෙමද සඟවාගෙන සමාජවාදී ලොවක් වෙනුවෙන් වෙහෙසුනු දුයිෂෙන් යළි අල්තීනායිට කරනා ඇයුමක ස්වරූපයෙනි. දුයිෂෙන් අල්තීනායි යනු ලාංකීය පාඨකයන් අතර නිතර කියවෙන නම් දෙකක් වුවද ගුරු ගීතය යනු අල්තීනායි සහ දුයිෂෙන්ගේ කතාව ඉක්මවා ඒ සමාජ පරිසරය පිළිබඳව පුළුල් කියවීමක් සහිතව පිවිසිය යුතු නවකතාවකි. ඒ ගැන වෙනම ලියන්නට නම් අයිත්මාතොව් ගේ සාහිත්‍ය මැදිහත්වීම ගැන ගැඹුරු කියවීමක් ඇවැසිය.
කෙසේ වෙතත් සුරංගිගේ අනෙකුත් කවි ගත් කල ඇය තුළ සිටිනා සමාජ කියවීමක් සහිත කිවිඳියක අපට හමුවෙයි. ඇගේ කවිකාරකම මෙන්ම සමාජ කියවීමත් එහිදී ඇය පලකරනා දැක්මත් වටහා ගන්නට මනාව මග සලසන අවස්තාවක් අපට පළමු කවියෙන්ම හමුවෙයි. ඒ කවිය අපේ පවුල් ඒකකය තුළ වන සම්මත ආකල්ප, දෙමව්පිය දූ දරු සබඳතාවන්හී ඇතී සීමාසහිතකම්, ඒ හමුවේ ඇතැම් දරුවන් අත්විඳිනා කටුකත්වයන් සහ ජීවිතයේ විෂමතාවන් ගැබ් වෙයි. ඇගේ කවියෙහි අපට හමුවනුයේ පොඩ්ඩි නැතිනම් බාල දියණියට ස්වර්ණමය අනාගතයක් ලැබේ යයි විශ්වාසයෙන් කටයුතු කරනා කුටුම්භයක පිටුවහල් කෙරෙනා ලොක්කි ගේ කතාවයි. එහෙත් ඒ කතාව යනු සියුම් සමාජ විවේචනයකි. පොඩ්ඩිට යහපත් අනාගතයක් උරුමය. ලොක්කි හිතුවක්කාර විවිහයක් හේතුවෙන් පිටමං කරනු ලබන්නීය. ඇගේ ජීවිතය ඉන්පසු වැටෙනුයේ කබලෙන් ලිපටය.
අප්පච්චිට හීනයක් තිබ්බා
පොඩ්ඩිට ලොකුවට උගන්වන්න
මං ගාමන්ට් ගියා
නංගි කැම්පස් ගියා
මේ දෙමවුපියන් ලොක්කි ගැන දරන මතයයි.
ලොක්කිගෙත් හොඳ කාලෙ ඒකි හොයා ගනීවි ජීවිතේ
ඒත් අපි උගන්වන්නෙපැයි පොඩ්ඩිට
ඒකි තාම පොඩි එකී……
එහෙත් ලොක්කිට සිදුවනුයේ ගෙදර බර අඩුකර පොඩ්ඩිගේ ස්වර්ණමය අනාගතය පතා තමන්ගේ මාවත සොයා යන්නටය. ඒ ඇය කබලෙන් ලිපට වැටෙන තැනයි.
අම්මලට කරදරයි ජිනේ අපි පැනල යං
එහෙත් ඒ ගමන ඇය සිතනා තරම් සුන්දර නැති.
කුඩු ඇබින්දක් තිබුනැයි ජිනෙත් ගියා මහඋළු ගෙදරට
බඩේ හිටිය ළමය වදන්න ඉස්පිරිතාලෙ ගියෙත් තනියම
ලොක්කිගෙ ජීවිතයේ සැබෑ ඛේදය වනුයේ ජිනේ අහිමිවීම හෝ තම මව පියාගේ පිලිකෙව් කිරීමට ලක්වීම නොවන බව කිවිඳිය අපට කියන්නේ ඇගේ ඉස්පිරිතාල අත්දැකීම හරහාය. එය අපේ මානව බන්ධූත්වයන්හී ශෝකී පාර්ශවයක් අනාවරණය කරන්නකි. ඇය තමන් හට නිවසෙහි බර අඩු කර පිටවන්නට හේතු වන නැගණිය යළි හමුවන මොහොත සියුම් ලෙස ඉ දිරිපත් කරන්නී පාඨකයා කම්පනයට ලක් කරමිනි.
කවුද මේ අම්මගෙ භාරකරු?
කාලෙ ගෙවිලා තිබුණ නිසා ඒකිටත්
අඳුනගන්න බැරිව ඇති මාව
ඒකි තාම පොඩි එකී නොවැ
සුරංගිගේ කවියෙහි සමත්කම මෙන්ම දැක්මද මානව විදැහෙන කවියක් ලෙස හත්පෙති මල හඳුනාගත හැකිය. ඇය මේ කවියට භාවිතා කරනුයේද සෝවියට් සාහිත කෙතෙහි පරසිදු ළමා කතාවකි. ඒ අප කවුරුත් දන්නා හත්පෙති මලයි. සුරංගිගේ කවියෙහි එන ශේන්යාද තමන් අතැති මගේ පෙති සිඳ දමමින් ප්‍රාර්ථනා කරන්නීය. ඒ පැතුම් ඉඳුරාම අයත්වනුයේ අපේ පරිහාණිගත නූතන සමාජයටය. ඇගේ ශේන්යා පතනුයේ සෘජු සමාජ ශෝධනයකි.
අම්මටත් දැන් වයසයි
පාන් වළලු නම් එපා මට
අම්මට වගේ
අප්පච්චි මළා
මහරගමදි
බේතුත් නැතිවම…..
කටකතා නම් එමටයි
කොමිස් ගහලා මහ එවුන්
මේ අපේ වර්තමාන සුවසේවාවේ අසුන්දර කතාවයි. අද අපේ හිටපු සුව ඇමති තාවකාලිකව රිමාන්ඩ් එකේය. නිලධාරී රොත්තක්ද උසාවි යති. ඇප ඉල්ලති. අපේ රටේ පවත්නා තත්වය අනුව හෙට දවසේදී චූදිතයන් වීරයන් වී යළි දියවන්නාවේ පිහිනන ආකාරය අපට දකින්නට නොලැබෙතැයි කිව හැක්කේ කාටද? සුරංගිගේ ශේන්යා තම වරය පාවිච්චි කරන්නේ මෙලෙසිනි.
බාල බෙහෙත් අතුරුදහන් කරනු
නිල් පාට පෙත්ත කැඩුවා මං
බඩු මිල අඩු කරනු
කහ පාට පෙත්තත් කැඩුවා
කොල පාට එකට හරි යන්න
අවුරුද්දක්වත් හිනාව දෙන්න හැම පවුලකටම
සුරංගිගේ කවියෙහි තියුණු බව ඇත්තේ එහි අවසානයෙහි ශේන්යා ලබනා අවබෝධය මතය. ඇය තමන් අතැති අන්තිම පෙත්ත දෙස බලන්නීය.
හොරා කන්නෙ නැති මිනිස්සු ඕනැ පාලනයට
අපරාදෙ……
මේ පෙත්ත මුලින්ම කැඩුව නම්
ඉතිරියි පෙති හයක් මට……
සුරංගි මේ ළමා කතන්දරය ප්‍රතිනිර්මාණය කර අපට පවසනුයේ බරපතල පුරවැසි පාඩමකි. ඇය තම කවිය දේශපාලන අර්ථයක් ජනනය කිරීම පිණිස අපූරුවට යොදා ගනියි. එය අද දවසේ අප සැලකිල්ලෙන් කියවිය යුතු පාඩමකි. අපේ වර්තමානය මෙන්ම අනාගතයද කීතු කර දැමූ දේශපාලන පාදඩයන් ගේ අනාගත සැලසුම් වනසා ලීම පිණිස තමන් අතැති මලේ පෙති චිවක්ෂණ ලෙස මුදන ආකාරය සැබැවින්ම අපේ පුරවැසියා යළි උගත යුතුව තිබේ.
ඇගේ දුඹුළු බැඳි මහ ගෙදර නම් කවද පාඨක ලෝකය පුළුල් කරන්නකි. සමාජ සම්මතයන් හේතුවෙන් සිය දිවියෙහි වසන්තය අහිමි කරන ලද කතකගේ ජීවිතය විවරණය කරනා ඒ කවිය සමාජයක පරිහාණියට හේතුවන බොහෝ දම්වැල් මුදාලිය යුතු බවට ඉඟ‘ කරනා උපහාසය මෙන්ම කෝපයද කැටි කළ කවකි.
අත්මිටේ හිඟ පාඩු නැති ඒ- හේනෙ මාමගෙ ලොකු පුතා
අදත් මතකයි මාව ඉල්ලන්- ආවෙ ලැජ්ජාවෙනි ඉතා
උණ්ඩ නැති තුවක්කුව ගෙන- අප්පච්චි කියු ඒ කතා
අසා සිටියා පමණි දැක්කේ-ආයෙ මං ගැන නෑ කතා
අප සමාජය විසින් නඩත්තු කරනු ලබනා ඊනියා කුලවාදය ඇතුළු විවිධ අගතීන් හේතුවෙන් තමනට අහිමිවූ යෞවනය ගැන තැවෙනා කතක සිය සැඳෑ සමයේ ඊට ප්‍රතිචාර දක්වන ආකාරය සියුම් හී පහරක් මෙනි.
ඇණ මුරුසි ගැලවී කෙඳිරි ලන-ගේට්ටුවෙ කනුවක වසා
කරව් කරනා කපුටු පවුලට-කූඩුවක් නැති එක දොසා
මාත් තනියම ගෙටම දියවී-යන්න වැඩිකල් නැති නිසා
ලියා දෙන්නම් මගේ උරුමය-උඹට පවුලක් ඇති නිසා
මේඝලතා විජ්ජු ලතා, වර්ණ, කොහු මෝලෙ මුදලාලි, ඉස්කෝලෙ එන්න බෑ වැනි කවිද ඇගේ කවිකමෙහි සමත්කම මෙන්ම දැක්මද පල කරන නිර්මාණ ලෙස හඳුනාගත හැකිය. ඇගේ කවි තුළ සංක්ෂිප්ත ගුණයද මැනවින් කැපී පෙනෙයි. එහෙත් ඇතැම් කවියකදී ඇය හුදු ප්‍රකාශන ස්වභාවය ඉක්මවා යාමට සමත්වූවා නම් මැනවැයි සිතෙයි. සත්‍ය අසත්‍ය එවන් කවියකට උදාහරණයකි. ඇගේ ඇතැම් කවියක ඇය අපූරුවට අපේ ජීවිතයේ අපටම නොදැනෙන සේ වන වෙනස්කම් මතු කර දක්වන්නේ ඒ හරහා අපට ජීවිතයම අහිමිවන ආකාරය සියුම්ව කියා පාමිනි. එවන් තැනකදී ඇගේ කවිය සියුම් මදහසකින් විඳිමින් අපට අප දෙසට හැරෙන්නට බල කරයි.
ඔය පේන නිළි වැස්සෙ
මං එක්ක නටන්නට
ඒ කාලෙ නුඹ එන්නෙ
කියන්නත් පෙර ළඟට
ඒ වැස්ස දැන් ඇවිත්
වැටුන මුත් මිදුලටම
ඔයා කියන්නෙම
පිස්සුද මනුස්සයෝ එනව ගෙට…….
ඇගේ කවිය සමාජය විචාරය පිණිස සැලකිය යුතු බරක් තබන්නකි. ඒ සමගම ඇය අපට අපේක්ෂාවේ සියුම් කිරණක ලකුණුද පල කරන්නීය. ඇය තුළ බලාපොරොත්තු තැබිය හැකි කිවිඳියක සිටින බව කීම දැනට සෑහේ යයි සිතමි.
රිදෙන තරමට පතුල පෑදෙන
නමුත් සමහර ගංගා
වසත් සමයක ගලා යනු ඇත
ඉරි තැළුණු තැන් හංගා