සුජීව සිරිමෙවන් මීට පෙර අපට හමුවන්නේ කවියකු ගුරුවරයකු ලෙස වුවත් ඔහුගේ නවතම තීරුලිපි එකතුව වන ඉසිඹුව තුළින් අපූරු ලේඛක භූමිකාවක් අපට අරන් එයි. නුගේගොඩ සරසවියෙන් පොත අරන් ,පොත දිග ඇරගත් මොහොතේ ඉඳන් මම ඒක පසෙකින් තිබ්බේ කියවල ඉවර උනාට පස්සෙයි. එක හුස්මට කියවීමට අපව බැඳගන්න හැම ලේඛකයෙකුටම කළ හැක්කක් නොවෙයි. එය එතරම්ම රසවත් . ඔහු ලේඛකයකු ලෙස අප හමුවට එන්න මෙතරම් කල් ගත්තේ ඇයි? එයට නම් සමාවක් දිය නොහැකි ය.
ඔහුට ඇත්තේ එතරම්ම සුඛනම්‍ය භාවපූර්ණ භාෂාවකි. ඔහු කියවන්නාට ඉතා පහසු කට බස අරන් ඔහුගේ හැඟුම් ගෙත්තම් කරන අයුරු අපූරුයි. මෙය කියවන විට මට තදින් හසු වූ තැන් කිහිපයක් ඇත පළමුවැන්න ඔහු තම ආත්මීය අත්දැකීම් ලොව සමග ගළපන අපූරුව ,සිය පෞද්ගලිකත්වය පොදු දෙයක් බවට පත්කරන අසිරිය. ආරම්භක ඡේදයේ සේනයා ඇසුරෙන් ඔහු අත්විඳින කුඩා දැරියක පාපතර වැඩිහිටියෙකුගේ ලිංගික ආශාවට ගොදුරක්ව මිය යන සිද්ධිය ගෙනහැර දැක්වීමේදී තම චූටි දුව එතැනට ඈඳා ගැනීම එයට එක් උදාහරණයක්.ඕනෑම දරුවෙකු තව කෙකුගේ ලිංගික ගොදුරක් වන සෑම තැනම ඇත්තේ එම දරුවාගේ අයිතිය දරන වැඩිහිටියන්ගේ වගකීම් අතපසුවීමකි.
” මගේ චූටි දූ, කිරිකවඩි හිනා තලමින් අර වැව් තාවුල්ල දිගේ දුවන්න ගත්තා. මං එයාගේ පරිස්සමට පස්සෙන් වැටිලා හිටියා. වැව් පිටියට එහා දෙණිපෙත පේන මායිමේ අර තේක්ක ගස් මණ්ඩියෙන් වට වෙච්ච කනත්තට ආයෙමත් අර මළ ඉරේ රත වැටිලා මහ මූසල හැන්දෑවක් සිත්තම් කළා.”
තම දියණියකගේ හිනාවට එහා කාගේ හෝ දියණියක් අකාලයේ සොහොනක නිදන නින්ද අතර සබැඳියාව පාඨක සිත් තවයි. ඔහු මිනිස් සංවේදන අනුකම්පා විරහිතව අවදි කරන්නේ සිය නිරුත්සාහක වචන හරඹයෙන්.
දෙවැන්න තම අතීත ස්මරණයන් ඔහු මෑතකාලීන සිදුවීම් එක්ක එක්කාසු කර ගළපන ආකාරය. ‘රස්තියාදුව’ පරිච්ඡේදයේ ළමා කල අත්දැකීම් හා භද්‍ර යෞවන අත්දැකීම් මෙන්ම ඒ දෙක හරහා මේ වන විට ඔහු එයින් පිටස්තරයෙකුව දිගු කලක් ජීවිතය දෙස අවදියෙන් සිටි මිනිසෙකුව රස්තියාදුව විග්‍රහ කරන අයුරු යන ත්‍රෛයිකාලික එකතුවක් කෙටි වචන සමූහයකින් දක්වන බුහුටිකම අගෙයි. එහි ඔහු පවසන එක් කියුමකට නම් මම එකඟ නොවෙමි. ” කොච්චර රස්තියාදු වුණත් මට යළි යළිත් මාව ම මගහරවන මා තුළ ම සිටින ඒ රස්තියාදුකාර ‘අනෙකා’ කවුද ?”
මගේ අත්දැකීමට නම් මා තුළ සිටින අනෙක් රස්තියාදුකාර එකිය මට මා මගහරවන්නිය නොව ඇය මට මාව සිහිකරවන්නියයි. සැබැවින්ම අපේ ඇතුළාන්තයෙ සැම විටම වහං වී රස්තියාදුකාරියක්, රස්තියාදුකාරයෙක් නිබඳව හිඳී. ඒ අපේ හැබෑව නොවේ ද?
තෙවැන්න ලෙස මා දුටුවේ ඔහු සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී ප්‍රකට ලේඛකයන්ගේ,කවියන්ගේ නිර්මාණ කොටස් සිය ලේඛනයට පාහන අපූරුව. ‘සංක්‍රාන්ති කාලෙ’ කතා කරන විට ඔහුගේ ශිෂ්‍යාව ,සුභාගේ ජීවිතය මස්ඉඹුලගේ ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග්‍රහයේ ‘සුබා’ කවිය සමඟ ගෙනහැර දැක්වීමත් පේරාදෙණිය සරසවි අත්දැකීම්වලදී හන්තාන පිළිබඳ ලියැවුණු ප්‍රකට ගීත එක්ක තැවරීමත්, ‘හන්තානට පායන සඳ රතු වුණු දවසක්’ කියවීම තුළ සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍ය හා ‘මළගිය ඇත්තෝ’ නවකතාව තුළින් ගන්නා අතිශය භාව සංවේදී උදෘත යොදා ගැනීමත් මත ඔහු සිය ලේඛනය උත්කර්ෂවත් කරගැනීම කෙටි උදාහරණ කිහිපයක් .
” යනව නම් දෙවෙන්දෙරා සංගෙ සිරුරේ සුවඳ, මේ ඇඳුම්වල සුවඳ තියලා යන්න මද වෙලාවකට පසු ඇය කීවාය.”-මළගිය ඇත්තෝ-
අහිමිවෙලා යන ප්‍රේමයක් ළඟ මිනිස්සුත් මොනතරම් තැවෙනවද ? එතනින් එහාට හුස්ම ගන්න හේතුවක් ඔවුන් මේ ප්‍රේමය ඇතුළෙ ම හොයන්න වෙහෙසෙන හැටි ඔහුගේ ලියවිල්ලක ඇත්තේ මෙහෙම
“කොච්චර කැමතිද කවුරු වුණත් බොරුවට හරි අපට ආදරෙන් කතා කරනවාට. ඒක එක නිමේෂ මාත්‍රයකදී උනත් අත්විඳින්න පුළුවන් සනීපයක් දැන දැනම අත්විඳින්න පුළුවන් සුන්දර රවටා ගැනීමක්”.
වරෙක මාටින් වික්‍රමසිංහ දක්වන්නේ තමා ලියන්නට කරුණු සොයා ගන්නේ තම ජීවිත කුණුගොඩ ඇවිස්සීම තුළ බවයි. දක්ෂ ලේඛකයෙකුට තම ජීවිතය තුළ ඇති අත්දැකීම් කියන්නේම රසවත් ලියවිල්ලකට කරුණු ගොන්නක්. ‘ඉසිඹුව’ තුළ සුජීව සිරිමෙවන් සිය අතීතාවර්ජන, පෞද්ගලික සංසිද්ධීන් වස්තු කර ගත්තද ඒවා තුළින් පොදු මිනිස් ගුණයන් විෂද කරවන සුරු කම, ආරම්භයේ සිට අවසානය දක්වා කියවන හිත් තදින් වැළඳ ගන්නා සිනිදු සනීප වහර,මිනිස් සිත් තුළ නැගෙන ඕනෑම නොහික්මුණු කමක් වුවද ඉතා සංයමයෙන් විනීතව දක්වන මිහිරි වචන භාවිතය මෙන්ම සිද්ධි පිළිබඳ පාඨකයා පරිකල්පනය කරමින් ජීවිතාවබෝධයකට ගෙන යන්නේ නොනවතින රසයක් සමඟය.
ඔහු ඉතා නොබෝ දිනක පාඨකයා වෙත ආ යුත්තේ එම රසවත් බසින් නව ප්‍රබන්ධයක් සමඟය. දැනටමත් එම අපූරු හැකියාව ඔහු ළඟ පමණක් මෙතෙක් කල් තබාගෙන ඔහු කර ඇත්තේ සුළු පටු අසාධාරණයක් නොවන බව කිව යුතුමය. එම රසය පොදු වී සුවහසක් වින්දනයට හේතුවිය යුතුය.