මිග් ගනුදෙනුව : මුල් ගිවිසුම නෑ – වසර 8කට පසුවත් CIDය නිහඬයි : මේ අපරාධ වළදමන්නට ඉඩදිය යුතු ද ?

Share post:

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවට අදාළ රාජ්‍යයන් දෙකක් අතර අත්සන් කළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දැනුම් දී තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක වටිනාකමක් ඇති මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි. එහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත්  සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් එයාර් වයිස් මාර්ෂල් කුමාරසිංහ විසින් මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි හෙළිකොට ඇති බවයි.

එම කරුණු හෙළිකොට වසර 8ක කාලයක් ගතවී ඇතත්, ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නොමැති බව ද අධිකරණයේ දී සඳහන් කෙරිණි. මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එම ගනුදෙනුවේ තැරැව්කරුවන් ලෙස පමණක් කටයුතු කළ පුද්ගලයන් එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති බව ද අධිකරණයේදී සඳහන් විය.

කොවිඩ් 19 වෛරසය අස්සේ උදයංග වීරතුංගත් ඇප ලබා ගෙදර ගියා ඔබට මතකද ? ඔහුට ද නීත්‍යනුකූල ක්‍රමවේදයක් යටතේ ඇප ලබාගැනීමේ අයිතියක් ඇත. එහෙත් කුප්‍රකට මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකාර උදයංග වීරතුගට කියන තරම් සැහැල්ලුවට ඇප ලැබෙන්නේ නම්, ඒ විස්මකර්ම වැඩකි.
2007 – 2009 කාලයේ සිදු කළ මේ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එල්ල වී තිබේ. උදයංග වීරතුංග කියන්නේ රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකි. නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් මාස තුනකට පසු ඔහු ලංකාවට එන්නේ ය.
ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හෙවත් ‘ඉන්ටර්පෝල්’ හරහා අවස්ථා කිහිපයක දී ම රතු නිවේදන නිකුත් කර තිබිණි. ඒ, මේ මිග් නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පැවරූ නඩුවේ දී ය. 2018 පෙබරවාරි 04 වැනිදා ඩුබායි ගුවන්තොටුපොළේ දී උදයංග වීරතුංග  අත්අඩංගුවට ගත්ත ද, ලංකාවට එවීමට අදාළ ලිපිගොනු විධිමත්ව සකස් කොට එරට රජයට භාර දී නොතිබීම නිසා නිදහස් කෙරිණි. ඉන්පසු යළිත් 2018 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු, එරට බන්ධනාගාරගත කෙරිණි. මේ සියල්ල අතරවාරයේ දී මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයා විදේශ රටවලට ගිය අවස්ථා කිහිපයක දී උදයංග වීරතුංග සමඟ ඡායාරූපවලට පවා පෙනී සිටිනු දක්නට ලැබිණි. ඒ කියන්නේ, ලිපිගොනු නොගියේ ඇයි කියන එක පැහැදිලි ය.
2020 පෙබරවාරි 14 වැනිදා ලංකාවට පැමිණි උදයංග වීරතුංග කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසු 17 වැනිදා දක්වාත්, දැන් 26 දක්වාත් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කොළඹ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දෙවැනි දිනයේ උදයංග වීරතුංග අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය සියලු ඉඩ සලසමින් ය. වසර පහක් තිස්සේ මේ මිග් ගනුදෙනුවට අදාළ සිදුවීමේ විමර්ශන සිදු කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මීගමුවට මාරු කර යවා තිබිණි. ඔහුගේ අධීක්ෂණ නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. දයාරත්නට ද ස්ථාන මාරුවක් ලැබී තිබිණි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400 සහ 403 යටතේ පොදු දේපොළ සම්බන්ධ වරදක් සිදු කර ඇතැයි පැහැදිලි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වන සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ. එසේ නොවුණ විට ඇප පනත යටතේ ඇප ඉල්ලා සිටීමේ අයිතිය විත්තියට ලැබේ.
“පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට වසර පහක් තිස්සේ විශාල ලේඛන සංඛ්‍යාවක් ගොනු කරමින් වරෙන්තු ලබාගෙන, දැන් පොදු දේපොළ පනත අදාළ නැති බව කියනවා. මෙය ගැටලුසහගතයි වගේම අසාමාන්‍යයි. සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් නොකිරීම පැමිණිල්ල හිතාමතා කරන්නක් ද යන්න සොයාබැලිය යුතුයි. රුපියල් දාහක් සොරකම් කළ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ ලිපිගොනු ඉදිරිපත් කරනවා. ඒත් ඩොලර් මිලියන හතක වංචාවක් සම්බන්ධයෙන් ඒ විදිහට කටයුතු කරන්නෙ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීමත් මෙතැන දී ගැටලුසහගතයි.”
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, තමන් සීඅයිඩීයට අනුයුක්ත වී මාසයක් පමණක් බවයි. සීඅයිඩීය නිසි පරිදි ලේඛන ඉදිරිපත් කර නොමැති නිසා උදයංග වීරතුංගට ඇප ලබා දෙන ලෙසයි, ඔහුගේ නීතිඥවරුන් අධිකරණයේ දී දිගටම ඉල්ලා තිබුණේ. මහේස්ත්‍රාත්වරයා විසින් මේ හාස්‍යජනක හැසිරීම විවෘත අධිකරණයේ දී මෙසේ විවේචනය කර තිබිණි.
“ඇතැම් නඩුවල දී විත්තිය රිමාන්ඞ් කිරීමෙන් පැමිණිල්ල සතුටු වෙනවා. ඇතැම් නඩුවල දී විත්තියට ඇප ලැබීමෙන් පැමිණිල්ල සතුටු වෙනවා.”
මෙහි දී පැමිණිල්ලට අවශ්‍ය වූයේ දෙවැන්න ඉටු කර ගැනීමටයි. එහෙත්, මහේස්ත්‍රාත්වරයා ඊට ඉඩ දුන්නේ නැත.
2006 ජුනි මාසයේ දී ගිවිසුමට අත්සන් කරන ලද අතර, ගිවිසුමේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ආසන්න වී තිබේ. එහි දී එක්වරම තුන්වැනි පාර්ශ්වයක් ලෙස ‘බෙලිමිස්සා හෝල්ඩින්ස් ලිමිටඞ්’ නම් ආයතනයක් ඉදිරිපත් වන අතර, මුදල් ගනුදෙනු සියල්ල සිදු වන්නේ ඒ හරහා ය. මෙය ලන්ඩන් නුවර ලිපිනයක් සහ ෆැක්ස් අංකයක් පමණක් සහිතව එක්වර ම පහළ වූ සමාගමකි. 2007 ජුලි මාසයේ දී ලසන්ත වික්‍රමතුංග විසින් ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතින් හෙළිදරවු කර ඇත්තේ, හඳුනා ගත නොහැකි පාර්ශ්වයක් විසින් ගුවන් හමුදාව සහ බෙලිමිස්සා සමාගම අතර ගනුදනෙුවට මැදිහත් වී තිබෙන බවයි. මේ බෙලිමිස්සා යනු, එවකට ගුවන් හමුදාපතිවරයා විසින් විරෝධය දැක් වූ ඩී.එස්. එලයන්ස් සමාගමට සම්බන්ධයක් ඇති නමක් බවත්, එය හදිසියේම නව බැංකු ගිණුමක් විවෘත කර ඒ හරහා මේ ගනුදෙනු සිදු කර ඇති බවත් ලසන්ත වික්‍රමතුංග වැඩිදුරටත් අනාවරණය කළේ ය.
කෙසේ හෝ වසර හයකට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 බැගින් චන්ද්‍රිකා ආණ්ඩුව මිල දී ගැනීමට සූදානම් වූ මිග් 27 ප්‍රහාරක ගුවන් යානා, අවසානයේ දී රාජපක්ෂ ආණ්ඩුව විසින් මිල දී ගෙන ඇත්තේ එකක් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4 බැගින් ය. එනම් එකකට එකක් වැඩි වීමකි. ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ මේ වැදගත් අනාවරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ ලසන්ත වික්‍රමතුංග අතර ගැටුමක් නිර්මාණය වන අතර, ඊට අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය විය. ඉන් පසු හදිසියේ ම ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ හිමිකාරිත්වයෙන් බහුතර කොටස් ප්‍රමාණයක් රාජපක්ෂ හිතවාදී පාර්ශ්වයක් මිල දී ගන්නා ලද අතර, ඔවුන් කොන්දේසි විරහිතව ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව ගෙන ගැටුම අවසන් කරනු ලබයි.
මේ අතරවාරයේ හදිසියේ ම උදයංග වීරතුංගගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස කටයුතු කළ නොයෙල් රණවීර නමැත්තා රුසියාවේ දී මිය ගොස් ඇත. ඔහු රුසියාවේ පිහිටි මෙරට තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකු ලෙස ද පත්වීම් ලබා ඇත. මේ පුද්ගලයා මුල දී සේවය කර ඇත්තේ යුක්රේනයේ ප්‍රධාන නගරය වන කීව් හි පිහිටි උදයංග වීරතුංගට අයත් ක්ලබ් ලංකා රෙස්ටුරන්ට් හි ය. නොයෙල් රණ්වීරගේ දේහයට අදාළ සියලු කටයුතු සිදු කරන ලද්දේ උදයංග වීරතුංග වන අතර, ඔහුගේ බෙල්ලේ තුවාල සලකුණු තිබුණ ද, ඒ කිසිවක් නිරීක්ෂණය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට අවසන් කටයුතු සිදු වන තුරු එහි සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් යැයි නොයෙල් රණවීරගේ මව වන ජොසපින් නෝනා විසින් හඳුනා ගන්නා ලද පිරිස ඉඩ දී නැත.
මේ, ඒ ඇප ලබා පිටව ගිය උදයංග ගැන කතා ය. ඒ සිද්ධිය වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මිග් ගනුදෙනුවට ප්‍රධාන වශයෙන් මැදිහත් වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ය. එපමණකි.

දැන් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් පවා නැත.

  • ශාලික විමලසේන

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...