අවසන් යුද්ධයේදී හමුදාවට බාරවූවන් පිළිබඳ තොරතුරු ලබානොදීම – යුද හමුදාවට අභියාචනාධිකරණයෙන් නොතීසි : වව්නියාව මහාධිකරණයේ නඩුවත් ඉදිරියට !

Share post:

අවසන් යුද්ධය ලෙස හැඳින්වෙන 2009 මැයි මාසයට ආසන්න කාලයේදී හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධ තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනයට ලබන මාර්තු 28දා අධිකරණයේ පෙනීසිටින ලෙස අභියාචනාධිකරණය අද (07) ශ්‍රී ලංකා යුද හමුදාවට නොතීසි නිකුත්  කළේය.

මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමකට අදාළ ව, හමුදාවෙන් තොරතුරු ලබානොදීම තොරතුරු කොමිසම මගින් අනුමත කිරීමට එරෙහිව මාධ්‍යවේදියා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී මාධ්‍යවේදියා වෙනුවෙන් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පෙනී සිටි අතර,  පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එම්. සමරකෝන් මෙසේ නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

මාධ්‍යවේදී නිරෝෂ් කුමාර්

2019 වසරේ අප්‍රේල් මාසයේදී යුද හමුදාවට තොරතුරු ඉල්ලීමක් යොමුකරමින් අවසන් යුද්ධයේදී හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් සහ ඔවුන් බාරගත් හමුදා නිලධාරීන් ගැන තොරතුරු මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් විසින් ඉල්ලා තිබිණි. එම තොරතුරු හමුදාවෙන් නොලැබීම නිසා ඔහු තොරතුරු කොමිසමට අභියාචනා කරන ලදි. 2022 වසරේදී එම අභියාචනා විභාගය ආරම්භ කෙරිණි.

නීතිඥ ස්වස්තිකා අරුලිංගම්

කොමිසම මගින් සිදු කළ විමර්ශනයේදී හමුදාව පාර්ශ්වයෙන් මුලින්ම පැවසුවේ එහිදී කිසිවකු හමුදාවට බාර වූයේ නැති බවයි. ඉන්පසු ඔවුන් සඳහන් කර තිබුණේ බාර වූ පුද්ගලයන් එල්ටීටීඊ සාමාජිකයන් ද යන්න හඳුනාගත නොහැකි වූ බවත්, බාර වූ සියල්ලන් අවතැන් කඳවුරු වෙත යොමු කළ බවත් ය.

මාධ්‍ය වාර්තා සහ ලේඛන ආශ්‍රයෙන් තොරතුරු ඉල්ලුම්කරුගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු හමුදාව හෙවත් පොදු අධිකාරිය පාර්ශ්වයෙන් සඳහන් කළේ බාර වූ පුද්ගලයන්ගේ තොරතුරු ලබානොගත් බවයි.

තොරතුරු ඉල්ලුම්කරුගේ පාර්ශ්වයෙන් නීතිඥ කේ.එස්.රත්නවේල්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිසම ඉදිරියේ පෙනීසිටියහ.

යුද හමුදාව පාර්ශ්වයෙන් නීතිඥවරුන් ලෙස බ්‍රිගේඩියර් ආර්.ඩි.ඕ. පතිරණගේ ප්‍රමුඛ ලුතිනන් කමාන්ඩර් ඩි.සී.කේ.ඩබ්ලිව්. රණසිංහ සහ මේජර් බී.ඩි.ජේ. යායවීර කොමිසම ඉදිරියේ පෙනීසිටියහ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න සමග විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ.එම්. නාහියා යන කොමසාරිස්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග කෙරිණි.

විභාගය අවසානයේදී හමුදාව විසින් ඉදිරිපත් කළ තොරතුරු නොමැත යන තර්කය පිළිගනිමින් කොමිසම තීන්දුව ලබාදුන්නේය. ඊට එරෙහිව ය, මාධ්‍යවේදියා අභියාචනාධිකරණයට ගියේ.

මේ අතර යුද්ධයේ අවසාන කාලයේදී 2009 මැයි මාසයේ මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර නියෝගයක් ලබාදී තිබේ.

වව්නියා මහාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් ඉදිරිපත් කරන ලද හේබියස්කෝපුස් (habeas corpus) පෙත්සම් 03ක් සලකාබැලීමෙන් පසුව ය.

2023 පෙබරවාරි 23දා මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන් අධිකරණයට දැනුම් දුන්නේ 2009 මැයි 18දා සිය ස්වාමිපුරුෂයන් යුද හමුදාවට බාර වූ බවත්, එදින සිට ඔවුන් අතුරුදන් බවත් ය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීන්දු කළේය. එය සමාජයේ දැඩි කතාබහට ලක්විය.

යුද හමුදාපතිවරයා, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා සහ මුලතිව් යුද හමුදා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පොන්නම්බලම් කන්දස්වාමි, සින්නතුරෙයි සසිදරන් හෙවත් එලිලන් සහ රුද්‍රකුමාර් ක්‍රිෂ්නකුමාර් වෙනුවෙන් මෙම රීට් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මහාධිකරණයෙන් මීට පෙර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

58 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ කිසිවෙකු අත්අඩංගුවේ හෝ රඳවා තබාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් 2009 මැයි 17, 18 සහ 19 යන දින තුනේදී මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් හමුදාව සතු බව ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයෙන් නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කළ වාර්තාවක් පමණි. හමුදාව විසින් ඒ මොහොතේ සකස් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැලකිය යුතු කාරණයක් බව අධිකරණය පාර්ශ්වයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ පුද්ගලයන් ශ්‍රී ලංකා යුද හමුදා අත්අඩංගුවේ සිටින බව දුටු සාක්ෂි ඇති බවයි. එම සාක්ෂි ලිඛිත ව ගොනුකිරීමට ද පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර ඇත.

මෙහිදී මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් සඳහන් කළේ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි පිළිබඳ අධිකරණය සෑහීමට පත්වන බවයි. එම නිසා අදාළ පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ වගවීමක් වගඋත්තරකරුවන්ට ඇති බව ද අධිකරණය අවධාරණය කර ඇත. ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් සමග ජී. රනීතා සහ එම්. කේතීශ්වරන් යන නීතිඥවරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් මෙදින අධිකරණයේ පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අබේවික්‍රම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටියේය.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...