ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී ඇතැමුන්ට ප්‍රචණ්ඩකාරී සංසිද්ධිවල ඇසින් දුටු සාක්ෂිකරුවන් වීමට සිදු වේ. සමහරවිට ඔවුන් මෙකී ප්‍රචණ්ඩත්වයේ කිසිදු පාර්ශ්වයකට සම්බන්ධ නොවූවන්ද විය හැකිය. මෙම සිදුවීම්වලට අදාළ ක්ෂිතිමය අත්දැකීම සහ මතකය විවිධ පුද්ගලයන්ගේ ජීවිතවලට බලපානු ලබන්නේත් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන්නේත් එකිනෙකට වෙනස් ආකාරයටය. එය කෙනෙකු හීනෝන්මාදී තත්ත්වයකට ඇද දමයි. තවත් අයෙකු ඇසට ඇසක් පන්නයේ පලිගැනීම්මය ප්‍රතිචාරයකට යොමු විය හැකිය. තවෙකෙකු උපේක්ෂාසහගත සමාවදීමක යෙදීමට පුළුවන. මේ සෑම ආකාරයකින්ම ඔවුන් උත්සාහ කරනුයේ ක්ෂිතිමය මතකයෙන් ගැලවීමට මගක් සොයා ගැනීමටය. Heart Chakra මෙවන් තේමාත්මකයක් සමඟ පොරබදන නවකතාවකි. මෙම නවකතාව ඉංග්‍රීසි බසින් රචනා කර ඇත්තේ ප්‍රමෝද් කඳනාරච්චි සහ සම්පත් (සෑම්) දිසානායක යන විප්‍රවාසී ලේඛකයන් දෙදෙනා විසිනි. සුනේත්‍රා අලුත්දුන්නේ එය හද සක් චාරිකා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.
1988 සහ 89 කාලවකවානුවත් මෙරට වාර්ගික යුද්ධය පැවති අවධියත් මෙම නවකතාවට පසුබිම් වේ. මෙහි ප්‍රධාන චරිතය වන රොහාන්ගේ පියා ඝාතනය වන්නේ ඔහුගේ දෑස් ඉදිරිපිටදීය. රොහාන් යනු යොවුන් වියේ සිටම ‘ආසයි බයයි’ වර්ගයේ චරිතයකි. මෙම ක්ෂිතිමය අත්දැකීම ඔහු තුළ යම් යම් හීනෝන්මාදී ලක්ෂණ ජනිත කිරීමට හේතු වේ.රොහාන්ගේ මෙම ක්ෂිතිමය මතකය ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවල හොල්මන් කරන ආකාරයත් ඔහු ඊට දක්වන ප්‍රතිචාරත් ඔස්සේ ලාංකීය සහ කැනේඩියානු භෞතික අවකාශ තුළ කතාපුවත ගලායයි. මෙකී ගලායාම සිදුවන්නේ මිනිස් සබඳතා, ආදරය, ලිංගිකත්වය, ආගමිකත්වය, දේශපාලනික කතිකා යනාදිය සමඟ සමෝධානය වෙමිනි.
තමන් පෙලන හීනෝන්මාදී හෝ භ්‍රාන්තිමය තත්ත්වයෙන් මිදීමට රොහාන් විවිධ ක්‍රියාමාර්ග වෙතට යොමු වේ.විටෙක ඔහු හුදෙකලාවට පෙම් බඳී. තවත් විටෙක ආගමික භාවනා වෙතට නැඹුරු වේ. තවත් අවස්ථාවකදී මනෝචිකිත්සකයෙකුගේ පිහිට පතයි. නැතහොත් ලිංගික ආලය සොයා යයි. මේ දූපත තුළ විසඳුමක් නැති කල්හි කැනඩාව වෙතට සංක්‍රමණය වේ. නවකතාව පුරාම පවත්නේ ක්ෂිතිමය මතකයෙන් මිදී මානසික සමතුලනය අත්පත් කර ගැනීමට රොහාන් නිමග්නව සිටින චාරිකාවයි. අවසානයේදී අනෙකුත් සියලු ක්‍රියාමාර්ග අභිබවා ස්වකීය ගැලවීම සොයා ගැනීමට රොහාන්ට හැකි වන්නේ තම ආශාවේ වස්තුව ( අමන්දා) වෙතට යළි සේන්දු වීමෙනි. ලෞකික ගැටලුවලට ඇත්තේ ලෞකික විසඳුම් මිස ආගමික විසඳුම් නොවන බව මතු කිරීමට මෙම කතුවරුන් දෙදෙනා ගන්නා ප්‍රයත්නය බෙහෙවින් සිත් ගනී.
කතුවරුන් හද සක් චාරිකාව ඉදිරිපත් කරන්නේ පෙරදිග සහ අපරදිග යනුවෙන් කොටස් දෙකකට වෙන්කරය. එමෙන්ම කතාපුවත ගලායන්නේ කාලවකවානු අන්තර්ඡේදනය වන අයුරිනි. එය පාඨකයාට වඩාත් අවධානයෙන් නවකතාව කියවීමට උත්තේජනයක් සපයයි. කෙසේ වෙතත් , නවකතාවේ ඉදිරිපත් කෙරෙන දීර්ඝ සමාජ දේශපාලනික පසුබිම් විස්තර එහි ප්‍රබන්ධමය මානයට අහිතකර ලෙස බලපා ඇති බව පෙනේ.තේමාත්මකයේ ප්‍රබලත්වය යම් පමණකට දියාරු වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ. අනෙක් අතට , අපරදිග කොටසේදී ප්‍රබන්ධය කැනඩාව පිළිබඳ චාරිකාමය සහ සමාජ විවරණාත්මක ස්වරූපයක් වෙතට පොලා පනී. මෙයින් සිදු වන්නේ ප්‍රබන්ධය යටපත් කරමින් පසුබිම් කතිකාව උත්කර්ෂයට නැංවීමය. මෙම දීර්ඝ සමාජ දේශපාලනික ඉදිරිපත් කිරීම් නිසා ඇතැම්විට කතුවරුන් පවා එහි ගොදුරක් බවට පත් වෙමින් සමහර සිදුවීම් පිළිබඳ විනිශ්චය සැපයීම දක්වා දුරකට ඔවුන් අවිඥානිකවම ගමන් කර ඇති බව දිස් වේ.
මෙම කතුවරුන් දෙදෙනා සතුව දේශීය මෙන්ම විදේශීය වශයෙන් සුවිසල් අත්දැකීම් සම්භාරයක් ද අපමණ ලේඛන හැකියාවක් ද පවතින බව පැහැදිලිය. ඉදිරියේදී මෙම අත්දැකීම් සහ ලේඛන හැකියාව සාර්ථකව සමෝධානය කිරීමට අවශ්‍ය කරන ප්‍රබන්ධ තාක්ෂණය වෙත මීට වඩා අවධානය යොමු කිරීමට ඔවුන් සමත් වුවහොත් ඔවුන්ගේ ප්‍රබන්ධ චාරිකාව සිංහල නවකතාවේ හෙට දවස සාරවත් කරනු නියතය. ප්‍රමෝද් සහ සම්පත් ඔබට ජය!