“කිතලේට ඩිංගක් එහාට වෙන්නයි කියමි, මට ඒ කුරුළු හඬ නැගෙන තැනින් ඇසේ”

Share post:

“තාම ඒ කුරුළු හඬ එතැන” ගැන කියන්නට වුවමනා හෙයින් කිතලේට ඩිංගක් එහාට වෙන්නයි කියමි.

කය අන් තැනකද හිත තවත් තැනකද තබා පපුවට තමන්ට තමන්ගේ කාරිය කරගන්නට ඉඩදී හුස්ම ගන්නට අමතකව ගිය ජීවිතයක් මට ඒ කුරුළු හඬ නැගෙන තැනින් ඇසේ.

එහි බොහෝ කවි කවුළුවලින් කැරලි කෙස් ඇති දේහධාරී මිනිසෙක් බලා සිටියි. මට පෙනෙන්නේ ඔහුගේ උඩුකය පමණකි. කොහේදෝ නොපෙනෙනා ඈතක් බලා ඉන්නා දෑසද, කවුරුන් හෝ නැතිනම් කිසිවක් හෝ විසින් පිටුපසට ඇද බැඳ තබා ගැනීම නිසා විතැන්ව ගිය කමිස උරහිස සහ කොළරයද දැකීම් මාත්‍රය ඉන් ඔබ්බට රැගෙන ගොස් නව අරුත් පැන නංවයි.

චූටි, ඔබත් එහි එක් බන්ධනයක් දැයි සිතේ. පිදුමක් වුවත් එවන් මට සිලිටි ප්‍රේමයක් කඩා වැටෙනා තරුවකින් දෑස් වසා ඉල්ලූ පමණකින්ම ලැබේදැයි සැක සහිතය.

“අත්හරින්නට බලන් ඔහොම අල්ලන් ඉන්න
ඔබට කලියෙන් වේවි ඇතැම්විට මට යන්න”

යන්නට ඉඩදී වහාම මා අත්හරින්නයි කියනු මිස නික්ම යන දවසක් එන තෙක් ඔහොම අල්ලා ගෙන ඉන්නැයි කියන ප්‍රේමවන්තයෙක් වෙනුවෙන් මමද බලාපොරොත්තු සහගතය.

ඔබට මා පළමුවෙන්ම පසෙකට වන්නට යැයි කීවේ එහෙයිනි.

මෙතෙක් පොත නොකියවන ලද්දෙකුට පොතට වැටීමට ඉඩ තබා උකහාගත් සියල්ල අකුරු නොකිරීමේ සිහි බුද්ධිය අතරමග සිහිසුන්ව යාදැයි මට අදහසක් නැත
එහෙත් හැකිතාක් සියල්ල නොදී ඉන්නට බලාගෙන රිදුන තැන් පමණක් මෙහි අකුරින් පිරිමදිමි.
අප සියල්ලෝම අකමැති තැන්වල පැළවී සිටින බව නිර්මාණකරුවා විවිධ කුරුලු නද ඔස්සේ අපට ඇහෙන්නට සලස්වයි. ඉන් කිචි බිචි කීපයක් පහතින් අලවමි.

ඇස් හරිනු මැන
නැවතුම්පොළ ඉදිරියෙනි
මට උරුම
නිදිමත නිසා
මගහැරී යා හැකිය
නුඹට හිමි නැවතුම (12 pg)

ආ යුතුද මා
යළි හැරී නිවසට
ඇවිද යමි මම
තව තවත් අඳුරට (13 pg)

මල් පිපුණු නගරයට සමු දෙන්න වෙලාවයි නාඳුනන ඇගෙන් මම ගෙනියන්න හිනාවයි
(14 pg)

ඉලක්කම් කීයක වැටුපක් ලැබුවත් සියල්ලන්ටම ජීවිතය වෙහෙසකරය. සියල්ලෝම නොලද යමක් වෙනුවෙන් හිස බර කරගෙන සංසාරය පුරා ඇවිදිති. ළඟ ඇති, අත ඇති මේ මොහොතේ මිහිර හැමවිටම මගහරවා ගනිති.

බ්ලොග් ගල් වලින් අවකාශය සීමාකර ඇස්බැස්ටස්වලින් ඒ සීමාව සංවෘත කළ පසු අපට ඉන්පිට සියලු සහනදායි මිහිරියාවන් මරණය දක්වාම අතහැරේ.

“සෑම නිවසකම වහලයට ඉහලින්
ලස්සනම අහසකි
නිවැසියන් කිසිදාක නොදුටුව” (21 pg)

හිස් බිම් කඩක වැතිර අහස බලා සිටීම සමාජ පන්තියකට අයත් සුඛ විහරණයක් නොවන බව අඩුම තරමේ කවි කියවන අපවත් වටහා ගත යුතුය. නිල්පාට තැඹිලි පාට අහසක් දකිමින් ප්‍රීතියට පත්වන දරුවා, වයස ඉලක්කම් වලින් වැඩි වෙද්දී මරා නොදමන්නැයි මමද ඔබගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

නින්නාද දී ඇසෙයි
ලොකු හිමිට
තදින් ගැහෙනා
මාලුන්ගේ වරල් ස්වර
පොඩි හිමිගේ හිත තුළ (22 pg)

පොඩි වරල්හි තමා තුළ උන් කුඩා දරුවා මරා නොදැමූ නායක හාමුදුරුවන්ට මගේ නමස්කාරය..!
නිර්මාණකරුවා මෙහි වෙනස් වූ කුරුලු කතා කිහිපයක් මවා දී තිබේ. මේ හඬට ඇහුම්කන් දීමෙන් පසුව තවදුරටත් එම හඬ එකක්ම මිස වෙන වෙනම තැන් තැන්හි තබන ලදුව පසුව ගෙන මුහුන් කර උපදවා ගන්නා ලද නව යෙදුම් බවට සිතන්නට කියවන්නට ඉඩක් ලැබෙන්නේ නැත. නැපි මල් පොකුරු එවැන්නකි.

එ’ගෙදර මිදුල හැමතැන
එහෙ මෙහෙ ඇදුන වැල් අතර
පිපුණ හෙල්මැලි නැපි මල් පොකුරු
සුළඟේ පාව ආ
ළා රෝස සුසිනිඳු
එක නැපි මලක්
මගේ මිදුලේ
කලක් තිස්සේ
මල් නොපිපි තුරෙක
නගයි මදහස (47 pg)

අලුත උපන් බිලිදෙකු තිළිණ ලද නිවසක පැටලිලි සහගතව එහෙ මෙහෙ අදින ලද රෙදි වැල්, තවදුරටත් මේ කුරුලු හඬට ඇහුම්කන් දුන්නෙකු තුළ අවුල් සහගත හැඟීමක් දල්වන්නට සමත් වන එකක් නැත.

කටවල් දෙක තුනකට සෑහෙන
අවසාන සහල් සුඟ
අත දමා ගන්නාවිට එක මිටට
කරකර ගා
මුට්ටියේ පපු ගැඹර වේදනාවෙන් කෙඳිරිලි නගයි (63 pg)

මැටි මුට්ටියක පතුලේ ඇති “අන්තිම දෙය” හූරා ගන්නාවිට ඒ ඇසෙන හඬ මේ තරම් වේදනා බර වන්නේ ඇයි දැයි ඔබටද සිතී ඇතිනම් ඒ සඳහා පිළිතුර මෙහි ඇතැයි සිතමි.

ඉතින් කුරුලු හඬ අසමින් කරන රස්තියාදුවේදී අවට කිසිවක් නෑසී හාත්පස ගුප්ත නිහඬතාවයක ගිල්ලූ කවියක් අවසන් උපුටනය වශයෙන් පහතින් දක්වමි.

පාසල නිමාවී පොඩි දුව, දුවගෙන එන
ඇය දෝතට ගෙන කම්මුල් සිඹින අතර
හොරෙන් ගිහින් මිර තනකා දුවගෙන එන කවුද ළමුන්ගෙන් ගුටි කන චන්ඩි කොලුව (66 pg )

පැටි වියේ පටන් අප හුස්ම ගත් පරිසර සුළඟ ඇතුලේම සල්ලාලකම් කළ කොල්ලෙක් අද ඒ වාතලය තුළම පරිණත පියවරුන් ලෙස හුස්ම ගන්නා අයුරු දැකීම පුදුම එළවන සුලුය.

උනුන්ගේ කෙරුවාවන් පිළිබඳව ඒ තරම්ම එකල බොහෝ තැන්වල අණ බෙර වැයිණි.

ඔවුන් අද සිඟිත්තියකගේ අතින් අල්වාගෙන පාසලට ඇරලවන්නට යන ගමනේදී ඒ මුහුණුවලින් වෑහෙන පීතෘ ගුණය ඔවුන් තුළ එදාද තිබුණාදැයි සෙවීමට මාද අතීතයට විසි වුණු වාර අනන්තවත් තිබී ඇත මේ මොහොත ඇල්ලුවාට නිර්මාණකරුවාට ස්තුතියි කීමට මම වැකියක ඉඩ ගනිමි.

අතීතය පිළිබඳව අබමල් රේණුවක තරම් දෙයක් නොදන්නා මල් සූටික්කියක වැනි කුඩා කෙල්ලකගේ මුළු ලෝකයම බවට අද ඒ රස්තියාදුකාර කොල්ලන් පත්ව ඇත. ඔවුන්ගේ ගෙල වැරෙන් බදාගෙන ඒ සූටික්කියෝ මුහුණට තුරුළු වී සිටිති. මහ සෙනඟ ඇති බසයක වුව සුව පහසුවට පපුවට තුරුළු වී සුවසේ නිදති.

මේ කව එවැනි අතීතයක් ඇති තාත්තෙකුගේ ඇස ගැටෙන මොහොතක ඒ මුහුණේ ඉරියව් දිහා බලා ඉන්නට මට විශ්‍රාම ලබා ගනිමි.
තව නේක වර්ණිත බොහෝ කූජන මේ පොත තුළින් ඇසේ. වඩා උස්වත් මිහිරිවත් ඇසුණු හඬ බොහොමයකින් අතලොස්සක් පමණක් ඔබ වෙනුවෙන් මෙසේ තබා යමි.

ඔබටත් ඇහුම්කන් දෙන්නට ඉස්පාසුවක් තිබේ නම් ” තාම ඒ කුරුලු හඬ එතැන” ඇත.

රසිකා ප්‍රනාන්දු

Related articles

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...