මෙම නවකතාවෙන් ලෝකනාත් භට්ටාචාර්ය පෙන්වා දෙන්නේ පීඩකයාට වෛර කිරීම අත්‍යවශ්‍ය බවය

Share post:

වත්මන් පරිභෝජනවාදී ජීවන රටාව සමාජය කායිකව සංවේදී සහ මානසිකව අසංවේදී තත්ත්වයක් වෙතට රැගෙන යමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලාංකීය සමාජය ද මේ සඳහා අපමණ නිදසුන් සපයමින් සිටී. මේ අනුව කායවර්ධන හෝ ව්‍යායාම් මධ්‍යස්ථාන, රෑපලාවන්‍යාගාර, ඇවිදින මංතීරු හතු පිපෙන්නාක් මෙන් බිහි වේ. එහෙත් මිනිසුන්ගේ මානසික සංවේදීත්වය දිනෙන් දින පරිහානිගත වේ. ඇතැම් විට පරිභෝජනවාදය පැමිණෙනුයේ සංවර්ධනයේ හෝ නවීකරණයේ වේශයෙනි. එමෙන්ම එය මර්දනයේ ආකෘතියක් ද විය හැකිය. මෙම කායික සංවේදිත්වයේ සහ මානසික අසංවේදිත්වයේ සංකලනය දේශපාලනික දෘෂ්ටාන්තයක් ලෙස ප්‍රබන්ධගත කළවිට දැනෙන තැතිගැන්ම අතිමහත්ය. බෙංගාලි ජාතික ලේඛක ලෝකනාත් භට්ටාචාර්යගේ The virgin fish of Babughat අපට එවන් දේශපාලනික තැතිගැන්මක් ඇති කරවන නවකතාවකි. මෙම නවකතාව සත්‍යපාල ගල්කැටිය විසින් බාබුගාට්හි කන්‍යා මැසින්න නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ.

මෙහි කතාපුවත දිගහැරෙනුයේ නමක් නොදන්නා සිරකඳවුරක් තුළය. කථකයා එහි රැඳවියෙක් වන ලේඛකයෙකි. මෙම සිරකඳවුරේ විශේෂත්වය වන්නේ එහි සිටින සියලුම ස්ත්‍රී සහ පුරුෂ රැඳවියන් අමු නිරුවතින් සිටිය යුතු වීමය. රැඳවියන්ගේ රැකවලුන් හොඳින් ඇඳපැලඳ සිටී.මෙම රැඳවියන්ට බෙහෙවින් පෝෂ්‍යදායක ආහාර ලැබේ. ඕනෑම පිරිමියෙකුට ඕනෑම ස්ත්‍රියක සමඟ රමණයේ යෙදිය හැකිය.එයට වයස බාධාවක් නොවේ. මෙම ස්ත්‍රීහු කඳවුරේ දීම දරුවන් ප්‍රසූත කරති. එහෙත් මෙම දරුවන්ගේ කවරෙකුට ජාතක වූයේදැයි කිසිවෙකුත් නොදනී.මන්ද, සැවොම සැවොම සමඟ රමණයේ යෙදී ඇති බැවිනි.මෙම රැඳවියන් කව්ද , කවර හේතුවක් නිසා සිරගත කර ඇත්ද යන්න කිසිවෙක් නොදනී. මෙහිදී සිදුවන්නේ රැඳවියන්ගේ කායික අවශ්‍යතා පමණක් සංතර්පණය කිරීමය. මෙය 1970 දශකයේ මුල්භාගයේ රචිත නවකතාවකි. එහෙයින් මෙය අනාගතවාදී දේශපාලනික දෘෂ්ටාන්තයක් ලෙස ද හැඳින්විය හැකිය.

මෙම රැඳවියන් ආහාරපානවල මෙන්ම ලිංගික ක්‍රියාකාරකම්වලද අධිපරිභෝජනයක් වෙතට යොමු කර තිබේ. මෙවන් අධිපරිභෝජන චර්යාවක් තුළ ඔවුන්ට සිය කායික අනන්‍යතාව මෙන්ම චින්තනමය අනන්‍යතාව ද අහිමි වෙමින් යයි.සියල්ලන් නිරුවතින් සිටින විට හෙලුව සාමාන්‍යකරණය වේ. නම්, ඇඳුම් , සබඳතා, මතකය, භාෂාව වැනි අනන්‍යතාවට සම්බන්ධ සියලුම හැඟවුම්කාරක දියව යමින් පවතී. රැකවලුන් රැඳවියන්ගේ විස්තර ලබා ගැනීමේදී ඔවුන්ගේ නම් සටහන් කර නොගනී.මෙය සැබැවින්ම මානව සබඳතා නොමැති මනුස්ස වාසස්ථානයකි.

මර්දනයේ පරිභෝජනවාදී ආකෘතියත් පරිභෝජනවාදයේ මර්දනකාරී ආකෘතියත් අතිශයින් ප්‍රබල ලෙස නිරෑපනය කිරීමට කතුවරයා සමත්ව තිබේ. මෙහිදී ඔහු භාවිත කරන අධියථාර්ථවාදී ප්‍රහසනාත්මක ශෛලිය එකී නිරෑපනය තවදුරටත් තීව්‍ර කරයි. මේ අනුව ඒකාකාරී පරිභෝජනයට ඇබ්බැහිවීම නිසා නිදහස පිළිබඳ හැඟීම අහිමි වන ආකාරය පාඨකයාට නිරාවරණය වේ. මෙහි කථකයා වන ලේඛකයාට පවා භාෂාව සහ වචන ක්‍රම ක්‍රමයෙන් අමතක වෙමින් පවතී. පොදුවේ රැඳවියන්ට ආහාර ගැනීම, නිදාගැනීම, මලපහ කිරීම, සංවාසයේ යෙදීම වැනි දිනචරියාගත කාර්යයන්හි හැඟීමකින් තොරව නිමග්න වීමට සිදු වේ.

සත්‍යපාල ගල්කැටිය

මෙය සැබැවින්ම වර්තමානයේ අප පත්ව ඇති තත්ත්වය නිරුවත්ව අපට දැක ගැනීමට සලස්වන නවකතාවකි. ඒ බව එහි සඳහන් මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. ” උන් අපිට කෙළින්ම අහවල් දේ කරපල්ලා කියලා අණ දෙන්නෙ නෑ. උන් පරිසරය නිර්මාණය කරලා අපිව ඒකෙ අතරමං වෙන්න අරිනවා.ඉතිං, අපි ස්වයංක්‍රීයවම උන්ගෙ අරමුණුවල ගොදුරු බවට පත් වෙනවා.” මෙහි උන් කියන්නෙ පීඩකයන්ට හෝ පාලකයන්ට බව නිසැකය.මෙම නවකතාවෙන් ලෝකනාත් භට්ටාචාර්ය පෙන්වා දෙන්නේ පීඩකයාට වෛර කිරීම අත්‍යවශ්‍ය බවය.එසේ නැතහොත් ඉතිහාසය යළිත් වරදිනු ඇති බවය.
වෙළඳපොළ රැල්ලට ගොදුරු නොවී මෙවන් කෘතියක් සිංහල පාඨකයා වෙතට රැගෙන ඒම ගැනත් කියවීමට පොලඹවනසුලු බස්වහරකින් පරිවර්තනය සිදු කිරීම ගැනත් සත්‍යපාල ගල්කැටිය වෙත පාඨක ප්‍රණාමය හිමි විය යුතුය. මෙය මෙම නවකතාව පිළිබඳ අසම්පූර්ණ සටහනක් වන අතර බාබුගාට්හි කන්‍යා මැසින්න වැඩිදුර කතිකාවට බඳුන් විය යුතුම කෘතියකි.

උදිත අලහකෝන්

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...