‘බිංගෙය පසුකර බිංගෙය’ – ධනංජය බණ්ඩාර

Share post:

කවිය පළමුව හදවතටද ‍දෙවනුව මොළයටද ආමන්ත්‍රණය කරයි යනුවෙන් දයාසේන ගුණසිංහ වරෙක ලිවීය. ඔහු ඉන් අදහස්කළේ කවිය බුද්ධිගෝචර මෙන්ම හෘදයග්‍රාහීද විය යුතු බවයි. ධනංජය බණ්ඩාරගේ බිංගෙය පසුකර බිංගෙය කවි එකතුව කියවන විට එක්වරම සිතට නැගුණේ දයාසේන ගුණසිංහගේ ඉහත අදහසය. ඔහුගේ ගිලුනෙමි ගුහාව ඇතුලට නම් කවිය මේ සම්බන්ධයෙන් එලෙසින්ම අදාලය. ඔහුගේ කවියෙහි වාච්‍යාර්ථය අයත්වනුයේ ආදි කල්පික සිතුවම් ඇති ගුහාවක් තුළට වන් පුද්ගලයෙකුගේ සිතුවිලි කලාපයටය. ඔහු තමන් ඉදිරියේ ඇති පුරාණ සිත්තම් දැක කල්පනා කරන්නට ගනියි.

මේ දැන් ගුහාවක් ඇතුලතය
තනි නොතනියට කිරි වවුලොත් එක්ක මම
ආදි මුතුන් මිත්තන් දඩයම් කළ සතෙකුය
මා ඉදිරියේ ආලෝකයෙන් දිස්වන සිතුවම

හරකෙක්ද ඌරෙක්ද
එහෙමත් නැත්නම්
කල්පනා කළෙමි මම
ඒ චිත්‍රය ගැන

කෘන්තක රදනක
පුරස්චාර්වක චාර්වක
ඇයි අපිට එහෙම දත්
ගිලුනෙමි ගුහාව ඇතුලට

සැබෑ ගුහාව ඇත්තේ කවියා ගේ සොයා යාම තුළමය. ඒ ගුහාවෙහි සැරුම යනු මිනිස් ඉතිහාසය වෙත යොමනා අවධානයකි. අපවම සොයා යාමකි. අපට අප හමුවන මෙවන් නිමේෂයන් යනු ජීවිතය දෙස වඩා ගැඹරින් බලන්නට අපට පෙළඹවීම් ඇති කරනා අවස්ථාවන්ය. ධනංජය කවියා සිය කවිය හරහා එවන් පිවිසුමක් තනාදෙයි.

ධනංජයගේ කවි සංක්ෂිප්ත ගුණයෙන් පොහොසත් වන අතරම පරිකල්පනීය ඉඩ හසර විවර කිරීම අතින්ද එලෙසම සාර්ථකය. කවිය එක්වරක් දෙවරක් නොව දෙතුන් වරක් කියවන්නට පාඨකයා පොළඹවන අතරම එහි ඇති සියුම් ඉඟි පාදා ගන්නට පාඨකයාට බල කරන ගුණය ඒ කවි තුළ ගැබ්ව තිබේ. ඔහුගේ කවි අතර විටින් විට අපට බිංගෙයක් හමුවෙයි. ඔහු සිය කවියෙහි බිංගෙය විවිධ අවස්ථා සංකේතවත් කරන්නට යොදා ගනියි. ජීවිතේ සංකේතය යනුවෙන් එන කවියෙහි ඔහු පුළුල් පරාසයක් කවියෙන් ආවරණය කරයි. එක් අතකින් එය ස්නේහයේ කවියකි. ඒ අතරම එය සමාජ කියවීමක් බවටද පරිවර්තනය වෙයි. එසේ සිය කවිය විවිධ කෝණයන්ගෙන් පොහොසත් කිරීමට කවියා සමත් වෙයි. ඒ කවිය පිය සෙනෙහස, යුද්ධයෙන් ආතුර වූ සමාජයක කම්පිත ස්වරය අප වෙත කැටුව එයි.

සාමය පැතිරුණ දා සිට ඊයෙ දිනයෙත්
හෙලිකොප්ටර් ශබ්දෙට
එහි දැඩි බියකරු හඬටම
නංගිලා දෙන්නත් මල්ලිත් එක්කර
හනිකව බැස්සා බිංගෙය අස්සට
තවමත් බිය හද ගැස්සෙයි

මෙය එක් අතෙකින් යුදවන් සමාජයෙක භීතිය මුහුවන මොහොතක නිරූපණයක් සේ ගත හැකිය. අනෙක් අතින් සම්සත කවියම යළි කියවන විට එහි පවුල් ඒකකයක නෙක අර්බුද සහ ඊට මැදිවන සාමාජිකයන්ගේ ආරක්ෂිත බිංගෙයකට ගාල් වීමක් ලෙසද කියවන්නට විටෙක කවුළු විවර වෙයි.

මෙසේ සිතන්නට අප පොළඹවන්නේ මේ කොටසිනි

එනමුත්
වන්නි වනාන්තරේ
දරුණු යුද ගිනි ඇවිලුණු
හඬ පැතිරුණු දවසක
අප්පච්චි පොලට ගියා මතකයි
තාමත් ඔහු
නිවසට එන්නේ නැති එක ගැන
මගෙ හද කකියයි

මෙහි නිවසට ආවේ නැති වෙනුවට තවමත් නිවසට එන්නේ නැති එක ගැන යනුවෙන් පවසද්දී ඊට පෙර අප්පච්චි පොලට ගිය බව මතකයි යන්න හා එකට ගෙන කියවන විට එහි දැනෙනුයේ නිවෙසක යුදයක් නොවේදැයි සිතන්නටද පාඨකයා පොළඹවයි.

ධනංජය කවියා කෙටි කවියෙහිදී වඩා තියුණු අරුත් මතුකරන්නට සමත් නිර්මාණ බිහි කරයි. ඒ ඇතැම් කවි වඩා දේශපාලනික වෙයි.

සර්පයෙකු දමා ගිය
සුන්දරම පණිවුඩය
නව මගක් තිබේ නම් නුඹ
හැරදමා යා යුතුය හැව

අප ජීවත්වන සමාජය හඳුන්වන්නට අප යොදා ගන්නා නිර්වචන බෙහෙවින් රැවටිලි සහගතය. එහෙත් අපි ඒ යොදන්නටම පෙළඹෙමු. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී යනුවෙන් එය සරසන වදන් ඇතද සමාජය යනුම රැවටිල්ලකි. ඒ වෙනුවට අප ඉදිරියෙහි ඇත්තේ ස්වාර්ථයටම යොමුවන හුදෙකලා සල රූ පෙලක් පමණි. ලෝකයම ගමන් කරනුයේ කේවල සිතුම් පැතුම් සමගිනි. එහෙයින් ලෝකය තාක්ෂණය හමුවේ විශ්ව ගම්මානයක් වෙතැයි කීවද අපි වේගයෙන් හුදෙකලා වෙමින් ඈත් වෙමින් සිටිමු. කවියා මේ නූතන සමාජයෙහි අපේ අරහමුණ කුමක්විය යුතුද යන්න විමසන්නට තැත් කරයි. තම භූමිය හොයාගෙන නම් කවියෙහිදී ඔහු ඒ සඳහා යත්න දරයි.

ඇලක දොලක ගඟුලක
දිය කඳුරක ප්‍රධාන කාරිය
තම භූමිය හොයාගෙන
ගලාගෙන යෑමය…..

එසේම එහි පරාර්ථයද ගැබ්ව තිබේ.

විටෙක නෙතට මිහිරක් වන්නට
තම හතර හන්දි කඩාගෙන
දිය ඇල්ලකින් ඇද වැටීමය
අලුත් ගමනක් ආරම්භ කිරීමය

එසේම ඒ ගමන යනු පොදු අරමුණක් වෙත සමීප වීමක්ද විය යුතුය.

හරස් කළ කල ජලාශයකට යෑමය
විදුලි බලයට අත්වැලක් වීමය
වැව් පොකුණකට ගොඩවීමය
ඉන් නොනැවතී කුඹුරකට යෑමය

විටෙක අප කවියා වියෝගය සිත්තම් කරන්නට යුහුසුළු වෙයි. පෙමෙහි අසිරිය විඳි හදකට වියෝගය සිසිරයකි. ඒ සිසිරයෙන් බැටකන සිත යෙදෙනා අතීතාවර්ජනය පසුතැවිල්ල, වෛරය නොව සියුම් සංවේගයක් දනවන ලෙස නිරූපණය කරන්නට ධනංජය උත්සුක වෙයි. ඔහුගේ අද මෙතන එ දවස නම් කවිය රසිකයාගේ මනසෙහි නෙක චිත්ත රූප මවන්නට සමත් බසකින් පොහොසත්ව තිබේ. ඔහු කවිය අරඹනුයේ තමන් එක්ව ගත කළ අතීත තතු සිහි කරමිනි.

කතා නැති සිනා නැති
ග්‍රෙගරි වැව ළඟ මීදුම
චණ්ඩ වූවා මතකද
අඳුර අස්සෙන් හිරිකඩ
එබී බැලුවා මතකද…..

ඒ සියළු මතකයන්ගේ අවසානය ගැන කවියා කියන්නේ මෙලෙසිනි.

අද මෙතන එ දවස
ඒ මහා තුරු සෙවන යට
මා සිටිනවා දැක ගස
නුඹ ගැන පැණයක් නැගුවොත්
පිළිතුරු දෙන්නේ කොහොමද?

ධනංජයගේ කවියෙහි කැපී පෙනෙනා ලක්ෂණය වනුයේ එහි ඇති ව්‍යංගාර්ථවත් බවයි. එහෙයින් ඒ කවි වඩා සාවධාන කියවීමක් ඉල්ලා සිටියි. රසිකයා ඒ සඳහා සූදානම් නම් ඔහුට කවි තුළින් විවිධ මං තනාගත හැකිය. ඒ අතරම ඔහු විටෙක මිනිස් ස්වභාවයේ ඉසියුම් නිලයන් අල්ලමින් කෙටි කවියකින් එල්ලය ගනියි.

ඔලුව කෙලින් කරගෙන
කන්දක් ඔහොම හිටියට
දියණියක දීග දෙන දවසට
බැලුව හැකි නාය යන අන්දම

චූලානන්ද සමරනායක

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...