“අපි නොස්ටැල්ජික උණු දිය හැළියක ඉන්න කකුළුවො වගෙයි”

Share post:

අපේ රටේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය කියන්නෙ අළු යටක තියෙන ගින්දරක් වගේ එකක්. වතාවක් කවුරු හරි ඇවිල්ලා මේ ගින්දර අවුලලා යනවා, ඒත් හරි ඉක්මනට ඒ ගින්දර නිවිලා නිශ්චල වෙනවා. මේ වගේ වටපිටාවක තමයි ‘කාලාන්තරාව’ ලියවෙන්නෙ. විද්‍යා ප්‍රබන්ධ හැම තිස්සෙම ජනප්‍රිය ශානරයට නෑවිත් වෙනත් මොකක්දෝ තැනක හිරවෙලා හෝ හිරකරලා කියලා ඔබට හිතෙනවද?

තවමත් විද්‍යා ප්‍රබන්ධ හෝ සාහිත්‍ය තුළ තිබෙන බොහෝ උප ශානර; fantasy, Horror, Mystery, Thriller, Suspense එකකටවත් අපේ සාහිත්‍ය තුළ ජනප්‍රිය වෙන්න හෝ ඇගයෙන්න ගැලපෙන වටපිටාවක් හැදිලා නැහැ. ඒකත් හරියට අපේ රටේ සිනමා කර්මාන්තයේ තත්ත්වය වගේමයි. අපි Art House ෆිල්ම්වලින් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණත් වානිජ ගණයේ චිත්‍රපට නිර්මාණකරණයෙන් ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපේ සාහිත්‍ය තුළත් සාහිත්‍ය ප්‍රබන්ධවලට (Literary Fiction) විශාල අවධානයක් දුන්නත්, අනෙකුත් උප ශානරවලට ලොකු අවධානයක් ලැබෙන්නේ නැහැ. මෑතක් වෙනකම් මේ ශානරවලට වැටෙන නිර්මාණ බිහි වුණෙත් ඉතාම අල්ප වශයෙන්. ඔබ කිව්වත් වගේ ඒ වගේ විද්‍යා ප්‍රබන්ධ සහ අනෙකුත් උප ශානරවලට අයත් නිර්මාණ පවතින්නේ හුදෙකලා කඳු වගේ.

මේ හිරවීම හෝ හිර කිරීම නැති වෙන්න නම් අපි හැකි තරම් ආධුනික, තරුණ නිර්මාණකරුවන් ලිවීමට යොමු කරවිය යුතුයි. සාහිත්‍ය සම්බන්ධ සාම්ප්‍රදායික මතවාදවලට එරෙහිව තරුණ ලිවීම් කැරැල්ලක් ඇති වෙන්න ඕනෑ මේ රටේ නිර්මාණකරණයේ නිරත තරුණ ප්‍රජාව තුළින්මයි. එයාලා වැඩි වැඩියෙන් විවිධ ශානර ඔස්සේ, පර්යේෂණාත්මක ලිවීම් එක්ක ඉස්සරහට යන්න ඕනෑ. හැම ලිවීමක්ම හෝ හැම ලියන්නාම අති සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් ඒ හැම කෙනාගෙම දායකත්වයෙන් අනාගතයේ දී අපේ මේ චූලකරණයට එහෙමත් නැත්නම් දූපත්කරණයට ලක්වෙලා තියෙන අපේ නූතන සාහිත්‍ය ක්‍රමයෙන් වඩ වඩාත් පුළුල් කරගන්න මඟ සැලසේවි. මගෙනුත් කිහිප දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ඔබ කෙටිකතාකරණයෙන් සාහිත්‍ය කටයුතුවලට පිවිසිලා, ඇයි මේ විද්‍යා ප්‍රබන්ධයක් පස්සෙ දුවන්නෙ කියන එක. මම විශ්වාස කරනවා, එක් ශානරයක් තවත් ශානරයකට වඩා උසස් ය, උසස් බවින් අඩුය කියල එකක් නැහැ කියලා. අදාළ වෙන්නේ ඒ නිර්මාණය ගුණාත්මක බවින් සිදුකළ යුතුයි යන්න පමණයි. ලියන්නෙක් විදිහට යම් යම් ප්‍රතිරූප නඩත්තු කරගෙන යාමට උත්සාහ කරනවාට වඩා දැනෙන දේ හැඩට ලියන එක තමයි වඩාත් වැදගත් වෙන්නෙ කියල මම විශ්වාස කරනවා.
ඉතින් මේ ඔබ අහන හිර වීම හෝ හිර කිරීම නැති වෙන්න හෝ නැති කරන්න නම් අලුතින් හිතන, තරුණ රචකයින් හැකිතාක් ලේඛනයේ යෙදෙන්න වුවමණායි. දවසක අපේ සාහිත්‍ය තුළත් Bram Stoker Awards, World Fantasy Awards, British Fantasy Society Awards වගේ ඇගයීම් ලබා දෙන්න පුළුවන් විදිහට මේ හැම උප ශානරයක්ම රූස්ස ගස් බවට, දැවැන්ත කඳු පන්තීන් බවට පත් වේවි කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මොකද අපට පාඨකයින් නැහැ කියන්න බැහැ, මේ සියලු උප ශානරවල ඉංග්‍රීසි පොත් සහ ඉංග්‍රීසි පරිවර්තන ආශාවෙන් කියවන පාඨකයින් අපට ඉන්නවා. ඒ නිසා මේ ශානරවලින් වැඩි වැඩියෙන් ගුණාත්මක නිර්මාණ බිහිවීම තමයි සිදුවිය යුත්තේ.

පශ්චාත් කොරෝනා සාහිත්‍යයක් කියලා වෙනම නම් කරපු එකක් ලංකාවෙ දකින්නට නැති වුණත් ඔබේ මේ කාලාන්තරාව ලියවෙන්නෙ එහෙම පශ්චාත් කොරෝනා අවදියක. ඒ වගේ කාලයක වැඩියෙන් ලිවීමට පෙළඹවීම ගැන සතුටක් තියෙනවද?

ලංකාවේ පශ්චාත් කොරෝනා සාහිත්‍යයක් කියලා වෙනම නම් නොකළත් ලෝකයේ නම් පශ්චාත් කොරෝනා සමයේ ලියවුණු, ඒ අවධිය පදනම් කරගත් නවකතා බොහොමයක් තිබෙනවා. ඒ වගේම තමයි ලෝක සාහිත්‍ය පුරාම විවිධ අවධීන්ට අදාළව පැන්ඩෙමික් සාහිත්‍යක් (Pandemic Literature) කියලා වෙන්කොට හඳුනාගන්න ලිවීමක් තිබෙනවා. Daniel Defoeගේ A Journal of the Plague Year, Mary Shelleyගේ The Last Man, Alessandro Manzoniගේ The Betrothed, Edgar Alan Poeගේ The Masque of the Red Death, Thomas Mannගේ Death in Venice, Jeanette Wintersonගේ Sexing the Cherry වගේ කෘති පැන්ඩෙමික් සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනයට ගැනෙන පොත් කිහිපයක්. කොරෝනා වසංගත සමය සහ පශ්චාත් කොරෝනා වසංගත සමය කියන දෙකම බොහෝ ක්ෂේත්‍රවල වෙනස්කම් වීමට හේතු පාදක වුණා. මේ කාලයේ ඇතිවන පෞද්ගලික, සමාජයීය, මානසික උච්චාවචනයන් මගේ ලිවීමට බොහෝ බලපෑම් කරන්නට ඇතැයි මම හිතනවා. සාමාන්‍යයෙන් ලේඛකයින්ට අත්දැකීම් කියන දේවල් හරිම වැදගත්. ඒවා විවිධ ආකාරයෙන් අපේ ලිවීමට බලපෑම් කරනවා. වසංගත සමය කියන්නේ මේ වගේ බලපෑම් සහගත, සෘජු සහ වක්‍ර අත්දැකීම් ගොනුවක්. ඒවායේ බලපෑම ශරීර සෞඛ්‍යයේ සිට මානව සංවර්ධනය පිළිබඳ ආකල්ප දක්වා දැවැන්ත වපසරියක පවතිනවා. එවන් කාලයක් තුළ ලේඛනයෙහි නිරත වීම ලියන්නෙක් ලෙස විශාල අත්දැකීමක් කියල මම හිතනවා.

‘කාලාන්තරාව’ හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක්ම නෙවෙයි නේද? ෆැන්ටසි වර්ගයත්, විද්‍යා ප්‍රබන්ධත් එක්ක මුහු වුණු නූතන ලිවීමක් මට මේ ඇතූළෙන් පේනවා. ඒ අතරෙම යටි පෙළින් විශාල දේශපාලන කතාවකුත් ගලාගෙන යන බවක් පේනවා. මේ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ?

කාලාන්තරාව තුළ විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ හැරුණු කොට වැඩි හා අඩු වශයෙන් දිස්තෝපීය ලක්ෂණ සහ ෆැන්ටසි ලක්ෂණත් අඩංගු වෙනවා. ලිවීමේදී විවිධ ශානරවලට හෝ රාමුවලට කොටු නොවී, ඒ සීමාවන් ඉක්මවා යමින් ලියන නිසා මේ ලක්ෂණ කාලාන්තරාව තුළ ඇතුළත් වෙන්න පුළුවන්. ඒ නිසාම, ඔබ යෝජනා කරනවා වගේ මෙය යම් “මොඩර්න්” ලිවීමක් ලෙස දකින්න පුළුවන්. කෙනෙක්ට මෙහි පශ්චාත් නූතන ලිවීම් ප්‍රවර්ගයේ ලක්ෂණත් දකින්න පුළුවන්.
කාලාන්තරාව ඇතුළෙදි ඉඳහිට මම යම් යම් භූ-දේශපාලන සහ සමාජ කරුණු අන්වීක්ෂයකින් ලොකු කර බලනවා වගේ ඉස්මතු කර පෙන්වා තිබෙනවා. ඒ සියල්ල තිබෙන්නේ කතාවේ පසුබිමින්. මම නිර්මාණයක් තුල සෘජුව දේශපාලනය කතා කරන්න්නේ නැහැ. නමුත් කලාව කියන එක ඇතුළෙ නිරායාසයෙන්ම දේශපාලනයක් තිබෙනවා. ඒ පක්ෂ දේශපාලනයක් හෝ යම් දේශපාලන චින්තනයක් උත්කර්ෂයට නැංවීමක් නොවෙයි. කලාව දේශපාලනයේදී නියෝජනය කළ යුතු යමක් වේ ද ඒ මහජනතාවම පමණයි කියලා මම විශ්වාස කරනවා. ටෝනි මොරිසන් කියලා තිබෙනවා “හොඳම කලාව දේශපාලනික වන අතර එය අවිවාදිත ලෙසම දේශපාලනික සහ අති- අලංකෘත කිරීමට ඔබට හැකි විය යුතුය.” කියලා. (“The best art is political and you ought to be able to make it unquestionably political and irrevocably beautiful at the same time.”- Toni Morrison) මමත් උත්සාහ කරනවා මගේ නිර්මාණ ඊට ආසන්න තලයක හෝ තබා ගන්න.

සාහිත්‍ය අනාගතකාමී බවක් වෙත යනවට වඩා වැඩිපුර අතීතකාමය වැළඳගන්න යන බවක් පහුගිය කාලය පුරාම දකින්න තිබුණා. නමුත් ඔබ වගේ ලේඛිකාවන් ඒ අතරෙත් උඩුගං බලා පීනනවා. ගිලෙන්න වෙයි කියලා බයක් නැද්ද?

ගොඩක් වෙලාවට අපි දකිනවා ලංකාවේ සාහිත්‍ය බොහෝ විට අතීතකාමය වැළඳගෙන උත්කර්ෂයට නංවන ආකාරයක්. වෙලාවකට හිතෙනවා අපි අපේ රට බංකොලොත් වෙනකම්ම කළෙත් මේ වගේම අතීතකාමයේම ඇලෙමින් අතීත සිරිය ගැන නොස්ටැල්ජිකව උණු දිය හැලියක කකුළුවන් සේ සිටීම නේද කියලා. ඒ කෙසේ නමුත් මේ ලිවීම තෝරාගෙන තියෙන්නේ ඒ ලිවීමට මම බොහොම අවංකව ආදරය කරන නිසා, කතාන්තර කීම මගේ අනුප්‍රාණය නිසා. අනිත් අතට ගිලෙයි කියල බයේ රැල්ලට අසුවෙනවට වඩා, උඩුගංබලා පීනලා ගිලුනත් මොකද කියල මම හිතනවා. අද අපි යම් වෙනසක් කරන්න උත්සාහ කළොත් විතරයි, ඉදිරි අනාගත පරම්පරාවකට ඒ උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් වෙන්නෙ. එහෙම නොකළොත් අපි වගකීම් විරහිත, ආත්මාර්ථකාමී මහල්ලන් මැහැලියන් ලෙස ගිලිලා, මැරිලා, අමතක වෙලා යාවි.

ලිවීම කියන මේ ව්‍යාපෘතිය ඇතුළෙ ඔබට වඩාත් බලපෑම්සහගත ලේඛකයො සහ අභියෝගාත්මක ලේඛකයො වුණේ කවුද? මේ අයව අතික්‍රමණය කරන්න වැඩපිළිවෙළක් තියෙනවද? නැත්නම් ඔබ එවැනි දෑ තකන්නියක් නෙවෙයිද?

මට කිසිම ලේඛකයෙක්ව අතික්‍රමණය කරන්න අවශ්‍යතාවක් නැහැ. ලේඛකයන්ව අභියෝගාතමක තරගකරුවන් ලෙස දකින්නෙත් නැහැ. මට වුවමණයි ගුණාත්මක නිර්මාණ බිහි කරන්න, සාහිත්‍ය ලෝකය තුළ මගේම, මටම ආවේණික ලිවීම් අනන්‍යතාවක් සලකුණු කරන්න. කිසිම දවසක මට අවශ්‍ය වෙලා නැහැ මම අර ලේඛකයට වඩා හොඳට ලියනවා, අර ලේඛකයා වගේ ලියන්න ආසයි වගේ දේවල් හිතන්න. ලිවීම මට හරිම පෞද්ගලික ව්‍යාපෘතියක්. මම කැමතියි ඒක හුදෙකලාව කරගෙන යන්න. ඒ වගෙම මගේ හිතමිත්‍ර ලියන්නන් ද ගුණාත්මක ලිවීම් වැඩි වැඩියෙන් කරාවි කියල මම බලාපොරොත්තු වෙනවා. රටක සාහිත්‍ය ගොඩනැංවෙන්න නම් එක ලේඛකයෙක් හෝ දෙන්නෙක් සාර්ථක වෙලා වැඩක් නැහැ. අවුරුද්දට එක හොඳ පොතක් හෝ දෙකක් පළවෙලා ප්‍රයෝජනයකුත් නැහැ. අපිට දක්ෂ ලේඛකයන් ගොඩක් අවශ්‍යයි. හොඳ පොත් බොහෝ ලියැවී, ප්‍රකාශනය විය යුතුයි. එතකොට තමයි අපිට චූල සාහිත්‍යකින් මහා සාහිත්‍යකට පරිවර්තනය වෙලා ලෝක සාහිත්‍යයේ අපේ සලකුණ වඩා හොඳට තබන්න පුළුවන් වෙන්නෙ.

ලිවීමෙන් පස්සෙ එළෙඹෙන සංස්කරණ කටයුත්ත ගැන ඔබේ අදහස මොන වගේද? සංස්කරණය ලේඛකයාගේම වගකීමක්ද? එහෙමත් නැත්නම් ලේඛකයාට වෙනම සංස්කාරකවරයෙක් ඕනෑද?

මගේ මතය අනුව නම් ලිවීම සහ සංස්කරණය අතිශය වැදගත්. මොකද ලිව්වේ නැති නම් සංස්කරණය කරන්න දෙයක් නැහැනේ. නමුත් ලිවීම ප්‍රකාශනය වෙද්දි සංස්කරණය ලොකු හැරවුම් ලක්ෂයක්. ප්‍රකාශනයේ ගුණාත්මකභාවය බොහෝ විට තීරණය වෙන්නෙ සංස්කරණයත් එක්ක. මම මේ කතා කරන්නේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස දෝෂ යනාදිය ගැන පමණක් නොවෙයි, මම කතා කරන්නෙ අන්තර්ගතය සම්බන්ධව. ගොඩක් නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණය කපන-කොටන වැඩේට අකමැතියි. නමුත් අන්තර්ගතයේ සිදුකරන සියුම් සීරුමාරු, වෙනස් කිරීම්, ඉවත් කිරීම් ආදිය නිර්මාණයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ දමන්න ලොකු හේතුවක් වෙනවා.
මෙහෙමයි, සංස්කරණය සම්බන්ධව කතුරයෙකුට මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. අපි ලියනදේට, අපේ කතාවට, අපේ චරිතවලට අපි හරිම කිට්ටුයි. අපි ඒවාත් එක්ක මනසින් සම්බන්ධයි. ඒ නිසා මේ බැඳිම (emotionally attached) එක්ක අපිට සංස්කරණ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නෙ සීමාසහිතව. අපිට අපේ නිර්මාණයෙන් සම්පූර්ණයෙන්ම ගැලවිලා ඉවත් වෙලා පිටකෙනෙක් වගේ ඒකට සලකන්න හරි අමාරුයි.
ඉතින් මේ වගේ තැනකදි තමයි ලේඛකයාට වෙනම සංස්කාරකයෙක් අවශ්‍ය වෙන්නෙ. එයා ඉතාම පළපුරුදු, හොඳ ඇසක්, හොඳ කියවීමක් තියෙන අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනෙ. සංස්කාරකයෙකුට පුළුවන් අපේ නිර්මාණයක් වඩාත්ම සුදුසු විදිහට පාඨකයාට ලබාදෙන අයුරින් යම් යම් වෙනස් කිරීම්වලට භාජනය කරන්න. මොකද එයාට අපිට වගේ ඒ නිර්මාණයත් එක්ක හැඟීම්-බන්ධනයක් නැහැ. එතකොට සංස්කාරකවරයා අපේ නිර්මාණය දිහා බලන්නෙ සම්පූර්ණයෙන්ම වෘත්තීයමය ප්‍රවේශයකින්. ලංකාවේ ප්‍රකාශන ප්‍රවාහය තුළ සංස්කරණයට දෙන්නෙ හරිම අඩු අවධානයක්.

මාධ්‍යවේදිනියක් වීමෙන් ඔබේ ලිවීමට යම් ආලෝකයක් ලැබුණාද? නැත්නම් එය හිරිහැරයක්ද?

ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට මට විවිධාකාරයේ පුද්ගලයින්ව හමුවෙන්න, නොයෙක් තැන්වලට යන්න, තොරතුරුවලට ප්‍රවේශය තීබීම ආදී විවිධ මානවලින් අත්දැකීම් සහිත කෙනෙක් බවට පත්වෙන්න මට හැකියාව ලැබුණා. බොහෝ දේවල් දිහා වෙනස්ව බලන්න, දකින්න පුරුදු වුණා. ඕනෑම ආතති අවස්ථාවක වුණත් ලියන්න හුරුව ලැබුණා. මම ලියන දේ ගැන වගවෙන්න, සංස්කරණය කරන්න පුරුදු වුණා. පත්තරකාරියක් විදිහට මට ඒ ලැබුණු අභ්‍යාසය වෙන කිසිදු වෘත්තියකින් ලබාගන්න බැහැ. ඒ අභ්‍යාසය මට ලියන්නෙක් ලෙස සාර්ථක වීමටත් ඉවහල් වුණා කියලා මම විශ්වාස කරන්නවා. ලියන්නා වෙනුවට අවිඥානිකව මාධ්‍යවේදියා මැදිහත් වුණු අවස්ථා සාහිත්‍යකරණයේදී නැතුවාම නොවෙයි. නමුත් ඒ ලිවීම් දෙවර්ගයේ වෙනස හඳුනාගත්තාට පසුව ඉන් ලොකු බාධාවක් සිද්ධ වුණේ නැහැ.

ඔබ ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරන්නියක් විදිහටයි අප හඳුනාගන්නේ. කෙටිකතාවෙන්, කවියෙන්, විද්‍යා ප්‍රබන්ධයෙන් සහ පරිවර්තනයෙන් ඊළඟ පිම්ම පනින්න සැලසුම් කරගෙන ඉන්නේ කුමකටද?

ඊළඟට මම මොන විදිහේ ව්‍යාපෘතියකින් ප්‍රකාශනය කරාවි දැයි මට පැහැදිලි අදහසක් නැහැ. හැකියාවක් ලැබුණොත් ආපහු කෙටිකතා පොතක් කරන්න ආශාවක් තියෙනවා. සංස්කරණය කළ යුතු අත්පිටපතක් තිබෙනවා. කාලයක් තිස්සේ ලියා අතහැර දැමූ බ්ලොග් එකක් තියෙනවා. මේ වගේ කුමන හෝ යම් ලියන වැඩක නිරත වෙමින් ඉන්න තමයි බලාපොරොත්තුව.

සංවාදය – කාංචනා අමිලානි

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...