‘සුළං මාමා’ – චතුරිකා රසාංගනී , චිත්‍ර – චන්දිමාල් ජයකොඩි

Share post:

තම දරුවන්ට ඇති ආදරය ගැන දෙමවුපියන්ගෙන් ඇසුවහොත් ඔවුන් ඒ පැහැදිලි කිරීමට දක්වන සාධක විවිධය. දරුවන්ගේ සිත් නොතලා ඔවුන්ට අවශ්‍ය සෑම දෙයම ලබාදීමට ඇති කැපවීම, දරුවන්ගේ ශාරීරික පෝෂණය, ඔවුන් ඉහල රැකියාවක් කරා යොමු කිරීමට ඇවැසි පසුබිම හදන්නට දරන උත්සාහය ආදී වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු විවිධාකාරය.

එහෙත් දරුවන්ගේ මනස යහපත් කිරීම උදෙසා අපේ බොහෝ වැඩිහිටියන් තුළ ඇත්තේ මද උනන්දුවකි. නැතිනම් වැරදි භාවිතාවකි. බොහෝ අය විශ්වාස කරනුයේ දහම් පාසල් යැවීම, දරුවා ප්‍රශ්න නොඅසන කීකරු තත්වයක තබා ගැනීම, තමන්ගේ වැඩක් බලාගැනීමට හුරු කිරීම, ආදී කාරණා සංතෘප්ත කරගැනීම හරහා තම දරුවා ඉදිරියට යැවිය හැකි බවකි. මේ නිසාම දරුවන්ට ළමා විය අහිමි කෙරෙන අතරම විෂය කරුණු වලින් දෙවුර මෙන්ම හදවත සහ මොලයද බර කරගත් අකාලයේ වියපත් වන දරු පරම්පරාවක් අපට සිටිති. කොතෙක් කීවද දෙමවුපියන් මේ මගින් වෙනස්ව දරුවාට සිය ලෝකය තුළ නිදහසේ වැඩෙන්නට හැරීමට සූදානම් නැත.

ළමයින් උදෙසා වන සාහිත්යනයද එහෙයින්ම මේ කොදෙවුවේ ජනප්‍රිය නැත. අනෙක් අතින් බොහෝ අය ළමයින් උදෙසා කෘතියක් රචනා කිරීම යනු තමන් හට ලේඛකයෙකු වීමට ඇති පහසු මග යයි විශ්වාස කරති. එහෙයින්ම ළමා මනසට කෙසේවත් ගෝචර නොවන, ඔහු නොමග යවනා කෘති ළමා කෘති ලෙස සමාජගතවීමද දක්නට ලැබෙයි. දරුවා සහ පරිසරය අතර මෙන්ම සමාජය අතරද තැනිය යුතු පාලම වෙනුවට අද සිදුවන්නේ දරුවා වේගයෙන් සමාජයෙන් කොන් කර හුදෙකලා සත්වයෙකු ලෙස හදන්නට තැත් දැරීමය. විශේෂයෙන්ම දරුවා රේස් අශ්වයකු බවට පත් කරන සමාජයක් සහ අධ්‍යාපන ක්‍රමයක් පවතින රටක දෙමවුපියන්ද එකී තරගයේ උද්යෝකගී නරඹන්නන් මෙන්ම සංවිධායකයන් බවටද පත්වන විට ළමා ලෝකය යනු අසහනයෙන් පිරි නරකාදියක් බවට පත්වීම වලක්වාලිය නොහැකිය.

චතුරිකා රසංගනී සිය කෘතිය රචනා කරනුයේ මෙසේ තරගයට, යාන්ත්‍රික බවට පමුණුවනු ලබනා ළමයින් හට යළි ජීවිතය සොයා යාමට ඇවැසි පෙළඹවීම ලබා දීමේ අදහසිනි. එසේම ඒ කෘතිය ළමයින්ට පමනක් නොව ළමයින් සමග දෙමවුපියන්ටද කියවන්නට වටනා රචනයකි. චන්දිමාල් ජයකොඩිගේ සිත්තම් මගින් හැඩ කරන ලද කෘතියෙහි සමස්ත නිමැවුම ළමා ලෝකයට බෙහෙවින් උචිතය. ඇය සිය කෘතියට පදනම සකසා ගනුයේ වේගයෙන් පරිසරයෙන් සහ සමාජයෙන් ඈත් කරනු ලබමින් සිටිනා දරුවන්ගේ ලෝකයයි. කෙළිදෙලෙන් ගත කළ යුතු ළමා ලෝකය අහිමිව, වේගයෙන් ජංගම දුරකථනය සහ පරිගණකය ඇතුළු තාක්ෂණික මෙවලම් හී සිරකරුවන් බවට පත්වන ළමා පරපුරට යළි සොබා දහමෙහි අගය, සොබා දහම සමගින් වන සංවාදයේ අසිරිය පෙන්වා දීමට ඇය මෙහිදී උත්සුක වන්නීය.

සුළඟ සහ විවිධ පාර්ශව අතර වන සංවාදයක ආකාරයෙන් රචිත කෘතිය ළමුනට ගෝචර වන බස් වහරින් පෝෂිතය. කුතුහළය ඇති වන අයුරින් දිගහැරෙන කතන්දරය අවසන් වනුයේ දරුවන්ගේ ලෝකය විචිත්‍රවත් කරන්නට හැකි අත්දැකීමක් වෙත ඔවුන් කැඳවමිනි. ඒ දක්වා දරුවා ගෙන යාමට ඇය උපයෝගී කරගනුයේ පරිසර සාධක, සත්ව ලෝකය සහ සුළඟේ විස්සෝපයක කතන්දරයයි.

දරුවන්ගේ පිඟාන විචිත්‍රවත් කරන්නට වෙහෙසෙන අතරම දෙමවුපියන් ඔවුන්ගේ මනසද අසිරියෙන් පුරවන්නට ඇවැසි මං කෙරේ අවධානය යොමු කළ යුතුව තිබේ. එහි ලා ළමයින් උදෙසා වන කෘති විශේෂිතය. චතුරිකා සිය පළමු කෘතිය මගින්ම තමන්ට ළමයින් උදෙසා කතන්දර රචනයට සමත්කම් ඇති බව පෙන්වා සිටින්නීය. සැබැවින්ම ඒ ළමයින් හට සමීප කල යුතු කෘතියකි.

චූලානන්ද සමරනායක

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...