ලබන බදාදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ වාසිය කාටද?

Share post:

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය මෙම මස 24දා වාර අවසාන කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත ව ඇත්තේ පෙබරවාරි 07දා ය. මෙම පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ 23 – 24 දිනවල ය. පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ 25දා පොහොය යෙදී ඇති නිසා ය.

2023 ජනවාරි 27දා නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරය අවසන් කෙරිණි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේය. එම කමිටු අහෝසි වී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයන් පත්කළ යුතු වේ.

ඒ අනුව විශේෂයෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද විමර්ශනවලට ද මෙමගින් බලපෑම් එල්ල වේ.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ.

මෙහිදී, වාරාවසාන කිරීම මාස 02කට නොවැඩි විය යුතු අතර, එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගිනි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතුය.

වාර අවසාන කර ඇති අවස්ථාවල කතානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) :

යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිමකරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.’

නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතුය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාර අවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි එහිදී ජනාධිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ හැක.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුවද සිදුකිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුළත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතුය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවලදී කතානායකවරයාට පාර්ලිමේතුව නැවත කැඳවිය හැකිය.

1958 මැයි 27 දින වාර අවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලාහල පැනනැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.

නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේදී එය හැඳින්වුණේ රාජාසන කතාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත්කරනු ලබන කාරක සභා, වාර අවසාන කිරීමත් සමග අක්‍රීය වේ.

නව සැසිවාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වේ.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව
  • ශාලික විමලසේන

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...