නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් දුක් ගීයක් ලියන්නැයි ඉල්ලූ, මහගම සේකර

Share post:

දුරුතු මාසය සීතලය. අදින් වසර 48කට පෙර එක්තරා දුරුතු මාසයක් වඩාත් සීතල කඳුළු බිංදුවක්වී සිත රිද වූ අයුරු මතකයේ තිබේ. ඒ ළබැඳි කිවිඳු මහගම සේකරයන් අප අතැර ගිය දුරුතු මාසයයි. ඒ දුරුතු මහේ පිණි කඳුළු කඩා හැලුණේ සේකරයන්ගේ නික්ම යාම දරාගත නොහැකිවය.

“මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ
අත් අකුරෙන් ලියනු මැනව
එතකොට ඒ ගී නාදය
රෑහි හඬන රැව් අතරින්
හීන් හඬින් මට ඇහේවි”

ඔහු සුවහසක් සහෘදයන්ගෙන් ඉල්ලා තිබුණි. නන්නාඳුනන රසිකයින් තනිකර සේකර ඉක්මණින් පැමිණ ඉක්මණින් පිටව ගියේය. ඔහු හිස් අතින් ගිය නමුදු අපට මනුෂ්‍යත්වයේ සෞන්දර්යය, සොබා දහමේ අපූර්වත්වය, සත්‍යයේ රමණීයත්වය, පිළිබඳ මහා කාව්‍යාවලියක් ඉතිරිකොට ගියේය. මළ හිරු බසිනා එක් හැන්දෑ යාමයක සිංහල සාහිත්‍යයේ නිම්වළලු පුලුළු කළ සොඳුරු කවියා රදාවාන තුංමං හන්දියේ ධවල චිතකයෙන් නැගුණු දුම්රොටු අතරින් සැන්දෑවළාවන්ට මුසු විය.

කූඹි ගුලක් සේ ඇවිස්සුණු කලබලකාරී මිනිසුන්ගෙන් මිදුණු කොළඹ නගරයෙන් මොබ, තිත්ත පැටව් පීනන
වෙල් ලියදි, කුඹුරු සහ කුඩා වන රොදින් ගැවසුණු සෞන්දර්ය ප්‍රවාහයක් බඳු රදාවාන ගම්මානයේ සරල ජීවන අන්දරය, ගීතයේ, කවියේ , නව කතාවේ, සිනමාවේ තවරා තිළිණ කොට අප දෝත මත තබා සේකර අපෙන් සමුගත් බව කෙසේ නම් අමතක කරන්නද.

මහගම සේකරගේ නිර්මාණ ගැන ඒවායේ දාර්ශනික පදනම ගැන විද්වත්හු බොහෝ දේ ලියා ඇත. විවිධ දෘෂ්ටිකෝණ වලින් සේකර විනිවිද දකිමින් ඔවුන් හෙටත් බොහෝ දේ ලියනු ඇත. නොමියෙමි කියා ලියූ සේකර මියෙන්නට
මොහොතකට පෙර ඔහුගේ ලියන මේසය මත සුදු කඩදාසියක එක්තරා මිනිසෙක්…., යනුවෙන් සටහන් කර කිසිවක් ලියන්නට ආරම්භ කළ කල්හි පෑන සුරතින් ගිලිහී තිබුණි. ඔහුගේ සිතිවිලි පරම්පරාව කෙතරම් ගැඹුරුද, කොපමණ පරාසයක පැතිර තිබුණාද ඔබට මට අනුමාන කළ හැකිද.

මහගම සේකර නම් උස් කඩවසම් සිරුරක් හිමි නිහඬ මිනිසාගේ සැබෑ ජීවන අන්දරය ගැන ලියැවී තිබෙන්නේ ඉතාමත් අඩුවෙනි. සේකරගේ වියෝගයෙන් වසර 48ක් පිරෙන අද වැනි දිනෙක තුරුණු වියේ ඔහු ඇසුරෙන් ලද ජීවන සෞන්දර්යයේ මතකය පිළිබඳ වචනයක් දෙකක් ඔහුගේ වර්තමානික සහෘදයන් වෙත තිළිණ කිරීම මැනව යැයි හැඟේ.

සේකරගේ සියලු නිර්මාණවල පාත්‍ර වර්ගයා ඔහු අහුලා ගත්තේ රදාවාන, කිරිඳිවැල, කන්නිමහර, ආදී නගරයේ දුම්රොටු වලින් අපවිත්‍ර නොවූ, කුරුල්ලන්ගේ ගී හඬ පමණක් ඇසෙන ගම්වලිනි. එකල රදාවානේ ඇවිද යන අපට තුන්මං හන්දිය, මනෝමන්දිර, නවකතාවල හා සේකරගේ කාව්‍ය යන්හි චරිත නිරන්තරයෙන් හමුවේ. එහෙත් අප නොදුටු එම චරිතවල ජීවන සිත්තම කඩදාසි මත පින්තාරු කළේ සේකර විසිනි.

සේකර ජීවත් වූ මහවත්තේ ගෙදර පිහිටා තිබුණේ රදාවාන තුං මං හන්දියෙන් කිරිඳිවැලට දිවෙන පාරේ කුඩා රෝහලටත්, මුදුන් පිට කන්දටත්,
ඔබ්බෙන් වූ කුඩා කඩමණ්ඩියෙන් වම් ඇලයේ පිහිටි කඳු ගැටයක් මතය. සේකරගේ ඥාති සොයුරු ජීවන්දර මගේ සමීප මිතුරෙකු වූ බැවින් පාසල් සිසුවකු වූ මම එකල නිතර මහවත්තේ ගෙදරට ගියෙමි. රෙද්දත් හැට්ටයත් ඇඳි සේකරගේ අම්මා සේකර සහ තාත්තා මෙන්ම කාල වර්ණ සිරුරැතිය. ඈ සුදු පැහැ ගැන්වුණු කොණ්ඩය බැඳ සිටියාය. මහවත්තේ ගෙදරට ගිය හැම දිනකම වාගේ මගේ මතකයේ තිබෙන්නේ වත්ත පහළ සිට කිසිවක් රැගෙන පැමිණ එය බිතක්කන දමා පෑල දොරින් ගෙට ඇතුළුවන සේකරගේ අම්මාය.

සේකරගේ තාත්තාට සේකරට මෙන්ම උස්ව වැඩුණු සිරුරක් තිබූ අතර ඔහු සරම ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. ඔහු ද සුදු පැහැ ගැන්වුණු කොණ්ඩය බටු ගෙඩියක් තරමට බැඳසිටි අයෙකි. දකින හැම විටම වාගේ කුඩා තුවායක් ඔහුගේ උරහිසෙහි විය. අම්මා මුළුතැන්ගෙට ගොස් නොබෝ වේලාවක් යන්නට මත්තෙන් ජීවන්දර අත වයිරන් වැටුණු පැරණි පීරිසි කෝප්පයක නොවැරදීම හකුරු සමග තේ කහට ලැබුණි. මහවත්තේ ගෙදර මිදුලේ විසල් අඹ ගසක් විය. අඹ ගස වෙලාගෙන ඉහලට නැගුණු රසකිඳ වැලකි. රූරා වැටෙන රසකිඳ රැහැන් අඹ ගස මුදුනේ සිට බිමට පාත් වී මඳ සුළඟේ ලෙලෙමින් පැවතිණි. සුළඟේ පාවී විත් මිදුලේ සිටින අප වෙලා ගන්නා රස කිඳවැල් අපට හංකිති කවන්නේය.

මහවත්තේ ගෙදරට කිසිවෙකු පැමිණෙන්නේ නම්. එසේ පැමිණෙන තැනැත්තා කුඩා කඳු ගැටය නැග ආ යුතුය. නිවසේ ආලින්දයේ අසුන්ගෙන සිටින කෙනෙකුට නිවසට පැමිණෙන තැනැත්තාගේ හිස් ගෙඩිය ප්‍රථමයෙන් දිස්වේ. කඳ කොටස ක්‍රමයෙන් පෙනෙන්නේ ඔහු කන්ද නගිමින් නිවසට සමීප වන විටදීය. සේකර ගුවන් විදුලියට
සම්බන්ධව සිටියදී එවකට තනිකඩයකුවූ
ඩබ්ලිව්. ඩී. අමරදේව ඇතැම් දිනක සේකර සමග මහවත්තේ ගෙදරට පැමිණියේය. එවිට ගෙදර ඇත්තන් සේකරගේ හිස දැක සෑහෙන වෙලාවකට පසු අමරදේවගේ හිස දකින්නට ඇත.

අප මහවත්තේ ගෙදරට යන්නේ සති අන්තයේ දිනක බැවින් බොහෝවිට අපි එහි යන විට සේකර නිවසේ සිටියේය. එක් දිනක් ඔහු තියුණු කෙටි පිහියක් ආධාරයෙන් තරමක් ඝනකම් කෝටුවක මල් කපමින් සිටියා මතකය. ඉස්තෝප්පුවේ තබා තිබූ
කුඩා ටීපෝවක දිය සායම් පෙට්ටියක්
යොදා ගනිමින් ඇතැම් දිනෙක ඔහු සුදු කඩදාසියක සිතුවමක් අඳිමින් සිටියේය.
ඔහු චිත්‍රය අඳින අයුරු මා බොහෝ වෙලා බලා සිටින විට සේකර මෙසේ පැවසීය.

“ලංකාව වගේ උණුසුම් රටවල දියසායම් චිත්‍ර අඳින්න අමාරුයි. පින්සලය
උඩ සිට පහළට ගෙනෙන්නට පෙර තීන්ත වියලෙනවා. එතකොට අපිට උවමනා අන්දමට වර්ණ ගන්න බෑ.”

නිවසේ ඉදිරිපස කාමරයේ සේකර නිදන ඇඳ, ලියන මේසය සහ පොත් අල්මාරිය තිබුණි. පොත් අල්මාරිය අවුස්සන්නටත්
කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත ගෙන එන්නටත් අප ඉදිරිපත් වූයේ සේකර නිවසේ නැති දිනවලය.
සේකරගේ ඇඳ යට පොත්මිටි කිහිපයක් තිබුණි. එහි වූයේ ඔහු විසින් පරිවර්තනය කරන ලද ධවල සේනාංකය නම් ග්‍රන්ථයයි. ඇඳ යට දූවිලි බැඳුනු සපත්තු ජෝඩුවක් ද තිබුණි.

” ඔය සපත්තු ජෝඩුව අයියගේ. ඕක අයියා ගත්තේ ඇමරිකාවේ යන්න. අයියා ඒ ගමනින් පස්සේ කවදාවත් ඕක දැම්මේ නෑ. අයිය සපත්තු දාන්න කැමති නෑ. සෙරෙප්පු තමයි දාන්නේ. ඕක මටත් ලොකු වැඩියි.”
ජීවන්දර කීවේය. ජීවන්දර සේකරගේ තාත්තාගේ මල්ලිගේ පුතාය. ඔහු මහවත්තේ ගෙදරට වැටී තිබෙන්නේ කුඩා කාලයේමය. පුංචි අම්මාගේ තනි නොතනියට මහවත්තේ ගෙදර නතර වූ ඔහු එහිම සිට පාසල් ගියේය. සේකර ජීවන්දරව ඇමතුවේ කුරුඳු කියාය.
ඒ මන්දැයි මම නොදනිමි.

සේකරගේ පොත් අල්මාරියේ කෙළවරක
ඔහු කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගත්
කුඩා සමරු පොත් කිහිපයක් තිබුණි. ඒවායේ තිබුණේ කාබන් පෑනෙන් ලියන ලද නිසදැස් කවි හා ගී පදය. ඇතැම් දිනක මම සේකරගේ ඇඳ මත වාඩි වී එම කවි කියවා ඇත්තෙමි. එකම එක කවියක් යන්තම් මගේ මතකයේ රැඳී තිබේ. එම කවියේ සඳහන් වූයේ මෙවැනි අදහසකි.

මරදාන ස්ටේෂමේ කෙළවරක
කුඩා සුදු අරලිය මල් ගසක
පිපුණු එකම එක මල් පොකුර
කළු පාට වී තිබුණා…,

ඩබ්ලිව් ඒ සිල්වාගේ, මාර්ටින් වික්‍රමසිංහගේ, බොහෝ පොත්
කිරිඳිවැලේ අනුර විද්‍යාලයට යන අවදියේ මා කියවූයේ සේකරගේ පුස්තකාලයෙනි.

සේකර විවාහ වන්නට ප්‍රථම ජීවන්දරත් සමග මහවත්තේ ගෙදර සිටියේ වැඩිහිටියන් සිව් දෙනා පමණය. එයින් ද කාන්තාවක හැටියට සිටියේ අම්මා පමණි. ඔවුන් සියල්ලෝම බිනීමෙහි ලොබය. ජී. බී. සේනානායකගේ වචන වලින් කිවහොත් ඔවුන් වචන මසුරෝය. මහගම සේකර ස්වකීය සිතුවිලි සියල්ල සිංහල භාෂාවේ වචන වලට පෙරලන්නට මෙම නිහඬ බව උපස්ථම්භක වී යැයි මට සිතේ.

සේකර මහා කවියකු වුවද ඔහු ලියූ ප්‍රථම කවි පදයට වේවැල් පහර තුනක් කා
තිබේ. එය සිදුව තිබෙන්නේ කිරිඳිවැලේ කන්ද උඩ ඉස්කෝලේ ගිය දිනවලය. පන්තිභාර දසනායක ඉස්කෝලේ මහත්තයා කුකුල් කේන්තිකාරයෙකි. පොඩි වැරැද්දක් අසුවුණහොත් පන්තියේ ළමුන් සියල්ලන්ටම කෙළවරක සිට අතින් පහර දෙයි. එක් දිනක් එසේ පහර දීගෙන එන විට සේකර කඩදාසියක කිසිවක් ලියමින් සිටියේය. දසනායක ගුරුතුමා එය දුටුවේය. සේකර වහා කඩදාසිය ගුලිකොට බිම දැමීය. එය දුටු ගුරුතුමා එය රැගෙන දෙන ලෙස ළමයෙකුට අණ කළේය. සේකර ලියා තිබුණේ,

“දසේ පිටට බැට දෙතේ” යනුවෙනි.

සේකරට වේවැල් පහර තුනක් ලැබුණි.
කිරිඳිවැලේ කන්ද උඩ ඉස්කෝලය එකල ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලකි. සේකර කන්ද උඩ ඉස්කෝලයට ඇතුළත් වුවාට පසු නොබෝ දිනකින්ම පාසලේ ශිෂ්‍ය නායකයෙකු බවට පත් විය. ඊට ප්‍රධානම හේතුව වූයේ ඔහු ඔහුගේ පන්තියේ අනෙක් ශිෂ්‍යයින්ට වඩා උස හැඩි දැඩි
පෙනුමින් යුතු තරුණයකු වීමය. සේකර පාසලට ඇන්දේ සරම සහ අත්කොට කමිසයයි. එකළ පාවහන් භාවිතයක් නොතිබුණි.

ශිෂ්‍ය නායකයා ලෙස සේකරට පැවරුණු වගකීම් දෙකක් වූයේය. ඉන් පළමුවැන්න
පන්ති කාලසටහනට අනුව සීනුව නාද කිරීමයි. දෙවැන්න ටිකක් බාරදූර එකකි.
ටුවිඩ් කෝට් එකක් සහ අළු පැහැයට හුරු සරමක් අඳින කන්ද උඩ ඉස්කෝලේ ලොකු මහත්තයා දියවාලේ සිට පාසලට පැමිණියේ තිරික්කලයකිනි. එය පදවන ලද්දේද ඔහු විසිනි. ලොකු ඉස්කෝලේ මහත්තයාගේ තිරික්කලේ හඬ හොඳින් අඳුණන පාසල් සිසුහු ශබ්දය කන වැකුණු හැටියේම පාරේ දකුණු පැත්තට වී නිහඬව ගමන් කරති.

කන්ද උඩ ඉස්කෝලේ පඩිපෙළ පාමුල තිරික්තලය නතර කරන ලොකු මහත්තයා ඉන් බැස යයි. සේකරගේ දෙවන රාජකාරිය වූයේ තිරික්කලය විශාල මාර ගස යට නවත්වා.
ගොනා ලිහා පාසැල් වත්ත පාමුලට ගෙන ගොස් තණ කෑමට හැකි වන අයුරු දිගේලි කිරිමය. එය සිරිතක් ලෙස සෑම දිනකම සිදුවේ. හවස් වරුවේ ලොකු මහත්තයා ගෙදර යන වෙලාවට ගොනා ලිහාගෙන විත් තිරික්කලේ බැඳ පඩිපෙළ පාමුලට ගෙන එන්නේද සේකර විසිනි. සේකර ද එය දේවකාරියක් ලෙස සලකා වගකීමෙන් යුතු කළේය.

පසු කලෙක අප කිරිඳිවැල අනුර මහා විද්‍යාලයට නොදුරු මිල්ලතේ පදිංචිව සිටියදී සේකර නිතර අපේ නිවසට පැමිණියේය. එකල ඔහුට මොරිස් මයිනර් රථයක් තිබිණි. ඔහු පැමිණියේ අපේ අම්මා හා තාත්තා සමග සතුටු සාමීචියේ යෙදෙන්නටය. තාත්තා ,සේකර සමඟ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරුන් ලෙස සේවය කරද්දී එකට ගුරු නිවාසයේ සිට ඇත. ඔවුන් දෙදෙනා මිතුරන්ය. ගුරුවරියක මෙන්ම කිවිඳියක වූ මගේ අම්මා කිරිඳිවැල ශ්‍රීමතී සේනාරත්න කුඩා කල සිටම සේකර හඳුනයි.

දිනක් සේකර අම්මා සමග පවසා තිබුණේ තුං මං හංදිය නවකතාව චිත්‍රපටයක් කරන්නට අදහස ඇති බැවින්
බෙන්ඩික් දොඩම්පේ ගමට භාරදුන් බවය. එවිට අම්මා පවසා තිබුණේ

“ඇයි ඉතින් කාටවත් දුන්නේ චිත්‍රපටිය ඔයා කරන්නකෝ. අයියෝ ලස්සන කතාව සවුත්තු කරයි” ඇය පසුතැවිලි වූවාය.

ඊට පසු දිනක පැමිණි සේකර පවසා තිබුණේ ෆිල්ම් එක තමාම කරන්නට තීරණය කළ බවය.
“සේකර මහත්තයා ෆිල්ම් එකක් හදනවා” යනුවෙන් සුභ ආරංචිය අම්මා අපට කීවේය.
චිත්‍රපටයේ වැඩ පටන් ගන්නට පෙර
සේකර මොරිස් මයිනර් රථයෙන් ලොකේෂන් බලන්නට යන ගමන්වලට යන්නට මට ද අවස්ථාව ලැබිණ.
“හෙට අයියා සමග ලොකේෂන් බලන්න යනවා”යැයි ජීවන්දර අනුර විද්‍යාලයේදී කී විට මමද ඔවුන්ට එකතු වුනෙමි. එවැනි ගමන්වලදී බොහෝ විට අපට සිදු වුණේ
මොරිස් මයිනරය තල්ලු කරන්නටය.
තුන් මං හංදිය රූගත කරද්දි දෙල් ඕවිටේ දියවාල පාරේ ගෙදර මිදුලේ
මහගම සේකර කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහත්, ජෝ අබේවික්‍රමත්
දෙපැත්තේ තියාගෙන ෆයිල් කවරයක් මත සුදු කඩදාසියක් තබා ඊළඟ දර්ශනයේ කටු සටහන ඇඳ පෙන්වන අයුරු තවමත් මගේ මතකයේ තිබේ. මහගමසේකර තරම් ලතෙත් හදවතක් ඇති සංවේදී කලාකරුවකු මේ බිමේ යළි උපද්දන්නට මගේ රටේ මහපොළොව තවමත් සමත් වී නැත.

“ඔප් නැගූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින් ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට
ඔබ සමග සෙනගින් පිරි ගිය දුම්රියක අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින් කුරුටු ගාන්නට මට ඇත කවියක්

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන මා ලියන ඒ කවිය ඔබගෙන් බොහෝ දෙනෙකුට අද දින නො වැටැහෙන බව දනිමි.
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි.”

යනුවෙන් සේකර “ප්‍රබුද්ධ” කාව්‍යයේ ලියා තිබිණි. සේකර වඩාත් හොඳින් කියවන්නට ලෝකය මීට වඩා යහපත් වන දිනය එනතුරු අපි ඇඟිලි ගනිමින් සිටිමු.

උදේනි සමන් කුමාර (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...