ළහිරු කිතලගම සාහිත්‍යකරුවා කවියෙක් ලෙස හැඳින්වීමට මම ප්‍රිය කරමි. ඒ ඔහුගේ ගද්‍යමය ලියවිලි තුළද වරින්වර මතුවීමට දඟලන කවියාව සැඟවීමට ඔහුට හැකියාවක් ලැබී නොතිබූ නිසාය. කවුළු ඇස පාමුල කාව්‍ය සංග්‍රහයට පසුව ළහිරු කිතලගම කවියාගෙ කාව්‍ය සංග්‍රහය මෙය ය. මෙහිදී ඔහු කවුළු ඇස පසුකර බෝ දුර ගොස් ඇති බව පසක් වනු ඇත.
එහා ගෙයි සාලයේ
දැල් වී නිවී ගිය පසු
ගිනිගොඩ
රස්නය රැදී තිබේ
වට අවට තැන්වල
එළඹෙන කාලය
කල්පනාවන් සඳහා උචිතය
සුළඟෙන්
පරිස්සම් විය යුතු ය
එගිනි රස්නය
මගේ වත්තේ කහලගොඩ
අවුළුවන්නට බැරි නැත.
(17. ඇවිළෙනසුලුයි; පි.45)
සංයමය කවියෙක්ට වැදගත් ය. එය භාෂාව හැසිරවීමේ හැකියාව ය. භාෂාව යනු පරිස්සමින් භාවිත කළ යුතු උපකරණයක් නම් එකී පරිස්සම දැකිය හැකි කවියක් ලෙස මෙය අගය කළ හැකි ය. කවිය සංක්ෂිප්තය. එහෙත් කියවා ගැනීම දිගු ය. ශ්ලේෂාර්ථවත් ය. රූපකාර්ථවත් ය. මිනිසා යනු සමාජීය සත්ත්වයෙක් ය. අපි ජීවත් වන්නේ කොතැනද අපි එතැන සමාජය සමග බොහෝ දෑ හුවමාරු කර ගනිමු. ඒ සිනහවක සිට වඩා තදින් දැනුණු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සමග අතිශය පුද්ගලික කාරණා දක්වාම විය හැකි ය. ඉහත කවිය තුළ මතු වන්නේ එවැනි සමාජ වටපිටාවක සිදු විය හැකි කාරණාවක් ය. කවිය සියුම්ව කියවා ගැනීමේදී අපිට නැවතිය හැකි තැන් බොහෝ ය. විටෙක අල්ලපු ගෙදර ඇතිවී තිබෙන ගැටුමට හේතුව අපේ නිවසේ යමක් විය හැකි ය. එනම් එකී ගැටුමට වග කිව යුතු තවත් පාර්ශවයක් වේ නම් එකී පුද්ගලයා කවියේ කතකයා වියහැකි ය. නොඑසේ නම් එවැනිම වූ කාරණයකට කතකයාගේ නිවසේද ගැටුමක් ඇති වීමට අවස්ථාවක් පැවතිය හැකි ය. මේ අයුරින් විවිධ මං ඔස්සේ කවිය විඳගත හැකි ය. එමෙන්ම මේ කව සමාජයේ වෙනම පැතිකඩක්ද නිරූපණය වන අයුරු කියවා ගත හැකි ය. බොහෝ අර්ධ නාගරික සමාජවල අනුකරණය දැක ගත හැකි ය. අසල්වාසියාට තමා පරයා නොයෑමට ඉඩ දීම එහි උඅටි අරමුණ විය හැකි ය. අසල්වැසි නිවසට රූපවාහිනී යන්ත්‍රයක් ගෙනාවොත් අනිත් නිවාසවලටද එය බෝ වීමේ හැකියාවක් ඇත. එයට හොඳම නිදසුනක් ලෙස බොහෝ නිවෙස්වල මිදුලේ කොණක ඇති කොන්ක්‍රීට් පුටු දැක්විය හැකි ය. කෙසේ නමුදු කවියාගේ අරමුණ මැනවින් ඉටු වී ඇත.ඔහුගේ කාව්‍ය අද්දැකීමඔස්සේම ගොස් කවිය විඳිනවාට වඩා මෙලෙස කවිය විඳීමට උත්සාහ ගැනීම තුළින් වැඩි රසයක් විඳිය හැකි ය. එහෙත් කවියේ
රසම මග අතහැරගත යුතු නැත
“…මැලවුණු කුසුමක්ව
ඈ උවන බේරෙයි සෙමෙන්
මා උර මත
සියුමැලි මුදු පෙනුම
වසාගෙන ඇත විසල් බර
දිනපතා මේ රියෙහි
එහෙ මෙහේ යන අපට
උරුමය ඔය සංසාර නිදිමත…”
(1. සංසාර නිදිමත; පි.11)
කවියා බස් එකක ගමනක්, නින්දක් සහ නිදන්නට උර දෙන මිනිසෙක් මුල් කරගෙන ජීවිතය කවියට නගා ඇති අයුරු අපූරු ය. ජීවිතය යනු මේ යැයි කිව නොහැකි නමුත් ජීවිතය තුළ ඔබට මට පොදු ධර්මතාවක් ලෙස තාවකාලික නැවතුම් හමුවීම් විඳ ගැනීම් දැක්විය හැකි ය. අප මේ ජීවිතය තුළ ස්ථිර නවාතැනක සිර වී ඇතත් ඒ ඒ මොහොතවල් ඒ ඒ තැන්වල ගත කිරීම දැකිය හැකි ය.නේ අතරින් මෙවැනි ඉතාමත් තාවකාලික ගනුදෙනුවක් තුළින් වුව ජීවිතයට යම් සැනසුමක් අර්ථයක් එකතු කර ගැනීමට හැකි ය. මෙම කවිය ගැන නැවතිල්ලේ සිතන විට මාතර කොළඹ වැනි දිනපතා දුම්රියේ වැඩට යන පුද්ගල කණ්ඩායම්වල තාවකාලික නවාතැන්පළවල් මෙන්ම රැකියා ස්ථානය ආදියද නිතැතින්ම සිහිවන්නේ ය. කවියා භාවිත කරන අපූරු යෙදුම් ළගන්නා සුළු අතර
“…මැලවුණු කුසුමක්ව
ඈ උවන බේරෙයි සෙමෙන්
මා උර මත..”
යන යෙදුමට මම පුද්ගලිකවම ඇලුම් කරමි. එකී මොහොත සජීවීව මනසේ චිත්‍රණය කිරීමට ඔහු සමත්ව ඇති අයුරු ප්‍රශංසනීය ය. වෙහෙසට පත් සෙනග පිරි බසයක වාඩි වී සිටින යුරු දැනෙන ආකාරයේ මෙකී ප්‍රභල කවිය, සංසාර නිදිමත මනා ගැඹුරකින් යුතුව කියවා ගත යුතු වුවත් මෙම සීමිත අවකාශය තුළ එයට ඉඩ නැත.
“…එගෙදර මිදුල හැම තැන
එහෙ මෙහෙ ඇදුණ වැල් අතර
පිපුණ හෙල්මැලි නැපි මල් පොකුරු
සුළඟේ ආඅව ආ
ළා රෝස සුසිනිඳු
එක නැපි මලක්
මගේ මිදුලේ කලක් තිස්සේ
මල් නොපිපි තුරෙක
නගයි මඳහස”
( 19.එහා ගෙදරින් එන කුරුලු සංගීත සුවඳ)
සමාජයේ සංවේදී මාතෘකාවක් මේ තරම් සංවේදීව සහ මේ තරම් ප්‍රභල අයුරින් කවියට නගා තිබීම අගය කළ යුතු ය. විවාහය සමග විවාහයට පත්වන යුවළ වැඩි ප්‍රමාණයකගේ බලාපොරොත්තුව වන්නේ දරුවන් ය. දරු සම්පත ප්‍රමාද වීම නිසා දැවෙන තැවෙන සිත් අනන්තය. ඔවුන් දරුවන්ට ඔයි තරම් ප්‍රේම කරනවාද? ඔවුන් ඕනෑම දරුවෙක් දිහා බලන්නේ අනන්ත ප්‍රේමයකින් ආදරයකින් ය.එය බොහෝ විට සත්‍යමය. ඉතින් එවැනි දරුවෙකු බලාපොරොත්තුව ඉන්න කාන්තාවකට දරුවෙකුට අන්දන නැපියක් ‘නැපි මලක්’ වන්නේමය. එසේ නම් දරුවෙකුට ඇය දෙන වටිනාකම කෙබඳු විය යුතු ද? දරුවන් නොමැති නිසා ඇය සමාජයෙන් විඳින් වේදනාවන්ද මෙහි යටි පෙළක් ලෙස කියවා ගත හැකි ය.
“…කළු කෝපි උගුරක
තිත්ත රස’තර කිමිද…” වැනි තැන්වලදී එකී වේදනාව හඬනගන්නේ ය.
ඔහු නැවුම් කාව්‍ය ආකෘති අත්හදා බලමින් ලියා ඇති කවිවලින්ද නැවුම් භාෂාමය අත්හදා බැලීම්වලින් මෙන්ම ඉතා ක්ෂුද්‍ර අද්දැකීම්වලින් විසල් කවි නිර්මාණය කර ඇති බුහුටිබාවයෙන්ද ‘තාම ඒ කුරුලු හඬ එතැන’ නම් කාව්‍ය සංග්‍රහය පෝෂිතය. බොහෝ දිගට ලිවීමට සිත් දෙන කාව්‍ය සංග්‍රහය ගැන ලියූ කෙටි සටහනට තිත තබන්නේ මෙය විඳීමට ඔබටද ආරාධනා කරමින් ය. ඔහුට සුබ පතමින් ය.