පොලිස් රාජ්‍යයේ මෙහෙයුම් ගැන නීතිඥ සංගමය ප්‍රශ්න කරයි !

Share post:

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ දීපව්‍යාප්ත ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන බවත්, ඒ ගැන ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ උපදෙස් මත 2023 දෙසැම්බර් 17 දින ‘යුක්තිය’ මෙහෙයුම දිවයින පුරා ආරම්භ කරන ලදී.

පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව වැනි අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ද ඇතිව එය ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා සිදුකළ වැටළීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන සැකකරුවන් දහස් ගණනක් මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න පවසන්නේ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අවධානයෙන් පසුවන බවයි.

“පොලිසිය සිය-දහස් ගණන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරමින්, රැඳවුම් නියෝග ලබාගනිමින්, දේපළ කඩා බිඳදමමින්, දේපළ පවරාගනිමින් සිටිනවා. මූලික වශයෙන් පොලිසියයි තීරණය කරන්නේ, කුමක් කළ යුතුද කියලා. ඔවුන්ට එය කළ නොහැකියි. මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි.” යැයි ඔහු පැවසීය.

මේ සඳහා ක්‍රියාවලියක් සහ නීතියක් අනුගමනය කළ යුතු බව අවධාරණය කරන ඔහු පෙන්වාදෙන්නේ එම මෙහෙයුම නීති පද්ධතිය හරහා යා යුතු බවයි.

“රටේ විනිසුරුවරුන් සිටිනවා, මෙය නීතිමය ක්‍රියා පටිපාටිය හරහා යා යුතුයි. මේ සම්බන්ධයෙන් අපි වරක් නොව බොහෝ වාරයක් අපගේ කණස්සල්ල මතු කළා. නමුත් ඔවුන් දැන් මේ මෙහෙයුම් වැඩිකරලා. මෙම කාරණය සම්බන්ධයෙන් සිදුකළ යුතු යම්-යම් සන්නිවේදනයන් අවසන් කිරීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අපි මේ ප්‍රශ්නය ඇමැතිතුමා සමග විතරක් නෙවෙයි ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනවා.” යැයි ද ඔහු ප්‍රකාශ කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයට අනුව මෙහෙයුමේ පළමු දින 14 තුළ, එනම් 2023 දෙසැම්බර් 17 සිට 31 දක්වා සැකකරුවන් 20,797කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් ඇතැමුන් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර තිබේ.

නීතිවිරෝධී වත්කම් සම්බන්ධ චෝදනා මත සැකකරුවන් 189 දෙනකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ විශේෂ අපරාධ විමර්ශන අංශයට අවශ්‍ය සැකකරුවන් ලැයිස්තුවේ සිටි සැකකරුවන් 1625 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැකකරන පුද්ගලයන්ගේ නිවාස, වාහන ඇතුළු දේපළ පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවායේ ආසන්න වටිනාකම රුපියල් මිලියන 558.5කට අධික බව පොලිස් නිවේදනවල සඳහන් වේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...