මා දුටු , ‘විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනල්”

Share post:

විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල් චිත්‍රපටිය මුල්වරට මට නරඹන්න ලැබුණේ ඊයේ (3/1/2024). මං චිත්‍රපට විචාරකයෙක් නොවේ. නමුත් මනල් ගැන මට මගේ කියවීමත් ලියන්න හිතුණා.

මුලින්ම කියන්න ඕනේ මනල් චිත්‍රපටියට හොඳ නිරවුල් පිටපතක් තියෙනවා. තමුන්ට පිටපත හරහා කියන්න ඕනේ කරුණු මොනවද කියලා පිටපත් රචකයා දන්නවා. පිටපතෙන් පිටපත් රචකයා ප්‍රේක්ෂකාගාරයට වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යන්නේ නැහැ. කැටපෝලයක් අරගෙන කඩාගන්න ඕනේ අඹගෙඩි වලට එල්ලය බලලා ගල් විදිනවා. ඒ ගල් හරියටම වැදෙනවා. ඒ ගල් වැදුනම කාට වුණත් රිදෙනවා.

තමුන් දකින දේ නිර්මාණයට ගේන්න පිටපත් රචකයාගේ තියෙන දක්ෂතාවය අගය කරන්න ඕනේ. ඒ වගේම ඔහුගේ අධ්‍යක්ෂණය තුළ වින්දිතයන්ගේ මූණුවල වගේම චූදිතයන්ගේ මූණුවල තියෙන හැඟීම් මතු කිරීම වගේම හැඟීම් මතු නොකිරීම මනල් චිත්‍රපටිය ප්‍රේක්ෂකයාට දැනෙන චිත්‍රපටියක් කරලා තියෙනවා.

විසාකේස චන්ද්‍රසේකරම්

මනල් පටන්ගන්නේ ‘2009’ අවුරුද්ද මුල්කරගෙන. දැඩිව තුවාල වුණු තරුණයෙක් වැල්ලේ වැටිලා ඉන්නවා. ඒ වැල්ලේ වැටිලා ඉන්න තරුණයට සයනයිඩ් මාලයක් බෙදන්නේ පොඩි පිරිමි ළමයෙක්. පොඩි ළමයෙක්ගේ අතට සයනයිඩ් මාල කොහෙන්ද? හරියටම සයනයිඩ් කරල තියෙන මාලය බෙදන්න ඕනේ කාටද බෙදන්න ඕනේ නැත්තේ කාටද කියලා ඒ ළමයට තේරුම් යන්න තරම් පුහුණුවක් ලැබෙන්නේ කොහොමද කොහෙන්ද කියන කාරණාව ගැන ඒ කුඩා රූප රාමුව ප්‍රේක්ෂකයාගේ හිතේ කුතුහලයක් ඇති කරනවා.

තරුණයා සයනයිඩ් කරල වෙනුවට ජීවිතය තෝරා ගන්නවා. ඒ පිරිමි ළමයා බිම වැටිලා ඉන්න තරුණියකටත් සයනයිඩ් කරල සහිත මාලයම අරගෙන යනවා. ඊට පස්සේ කාන්තාවකගේ අනාවැකියක් . උතුරු නැගෙනහිර ජනතාව නන්දිකඩාල් කලපුව හරහා ගමන් කිරීම ඊට පස්සේ පෙන්වනවා.
බිම වැටිලා හිටපු තරුණයා තමයි රුද්‍රන් ( සිවකුමාර් ලින්ගේෂ්වරන්.) රුද්‍රන් එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ වෙලා හිටිය තරුණයෙක්. රුද්‍රන්ට චෝදනා ගාණක් එල්ලවෙනවා. උසාවියේදී එල්ලවෙන චෝදනාවන්ට තමුන් නිවැරදිකරු කියලා තමයි රුද්‍රන් කියන්නේ..

ඒ එල්ල කරපු චෝදනාවන්ට රුද්‍රන්ලා නිවැරදිකරුවෝ තමයි. මොකද රුද්‍රන්ලාට ඒ වගේ චෝදනා එල්ලවෙන තැනට මීට අවුරුදු හතලිස් ගානකට කලින් ලස්සනට වැඩටික කරලා දීපු, අවස්ථාවාදී තීන්දු තීරණගත්තු, ඒවා වෙනස් කරන්න වැඩ නොකරපු හැම දේශපාලකයෙක්ම වැරදිකරුවෙක්.
රටේ මිනිස්සුන්ට භාෂා තුනක් කෙසේ වෙතත් රාජ්‍ය භාෂාවන් දෙක බැරි වීමත් රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අධ්‍යාපන ක්‍රමයේ අසමත්කම. තමුන්ගේ ජාතිය නිසා තාමත් එක පිරිසක් පීඩාවට පත්වීම අසමත්කම. ජාතිය නිසාම තමුන්ගේම රටේ අනෙකා දිහා රාජ්‍ය ආරක්ෂක අංශ තවමත් සැකයෙන් බැලීම සහ ඔවුන්ව වරින්වර පීඩාවට පත් වීම රටේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය සැමට සමානද කියන එක ගැන ප්‍රේක්ෂකයාට මතක් කරනවා.

උසාවිය කතාකරන්නේ ඉංග්‍රීසියෙන්. පොලිසිය කතාකරන්නේ සිංහලෙන්.රුද්‍රන්ගේ අම්මටයි , රුද්‍රන්ටයි පොලිසිය එක්ක හමුදාව කතාකරන්න වෙන්නේ සිංහලෙන්. රුද්‍රන් දන්න දෙමළ විතරයි. මට මතක් වෙනවා බැද්දේගම සිළිඳුව.

රුද්‍රන් කටඋත්තරය දෙන්නේ දෙමළෙන් . රුද්‍රන්ගේ කටඋත්තරය පොලිසියේදී ලියාගන්නේ සිංහලෙන්. ඒ සිංහලෙන් ලියපු කට උත්තරයකට තමයි රුද්‍රන් අත්සන් කරලා තියෙන්නේ. ඒ කට උත්තරයට අනුව රුද්‍රන්ට තියෙන්නේ රුද්‍රන් ඉපදෙන්නත් කලින් සිද්ද වුණු ඝාතනවලටත් චෝදනා එල්ල වෙලා. පොලිසිය සමහර සැකකරුවන්ගෙන් කටඋත්තර ගන්න ආකාරය ගැන දකුණටත් අදහසක් නැහැ කියන්න බැහැ . එතකොට රුද්‍රන්ලා වගේ ලේබලයක් වැදුණු රැඳවියන්ට ඇත්තටම වෙන්නේ සහ වෙනවා ඇත්තේ මොකක්ද කියන එක රටකට මග ඇරලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි.

ඕනෑම වර්ගයක අරගලයක සාමාජිකයන්ගේ විවිධ නියෝජන තලයන් තියෙනවා. එක පිරිසක් ඉන්නවා ඒ අය තමන් ඇප කැප වෙලා ඉන්න කටයුත්ත ගැන ඒ කටයුත්තට බලපාපු හේතු කාරණා ගැන අතිශය සවිඥානිකයි. ඒ වෙනුවෙන් තමුන් කරන්න ඕනේ කාර්යභාරය ගැනත් ඒ හා සමානව සවිඥානික යි.වගකීම් සහගතයි. ඒක නිසා තෝරා ගැනීම් මොන තරම් තිබ්බත් ඒ අය තෝරාගන්නේ සටන් කරන්න. ඔවුන් දිවි පරදුවට තියලා සටන් කරනවා. ඔවුන්ට තියෙන්නේ පොදු අරමුණු. මොන පාර්ශවය නියෝජනය කළත් ඒ අයට කියන්නේ සැබෑ සටන්කරුවන් කියලා. ෆිදෙල් කස්ත්‍රෝව අපිට මේ පළවෙනි කැටගරියට දාන්න පුළුවන්.

සැබෑ සටන්කරුවන් ලෙස හඳුනාගත් පිරිස වීරත්වයෙන් යුතුව දකින තවත් පිරිසක් කාලයකදී මුල් පිරිසට එකතු වෙනවා. ඔවුන් සැබෑ සටන්කරුවන් වීම වෙනුවෙන් සටන් කරන අය . දීපචෙල්වන්ගේ ස්මරණ ශිලාවත එහෙමත් නැත්නම් නඩුගල්වලදී මුණගැහෙන්නේ මේ දෙවෙනි පෙළ .
තුන්වෙනි පිරිස සාමාන්‍ය ජනතාව. ඒ අයට ඕනේ සාමාන්‍ය ජීවිතයක්. ඒ අයගේ ලෝකය ඉතාම කුඩායි. ඒ ලෝකය තමුන් සහ තමුන්ගේ පෞද්ගලික හීන වටා කරකැවෙනවා. චන්දය දෙන්න ඇරුණුකොට ඒ අයට දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න උවමනාවක් නැහැ. මේ ඒ අය ඕනෑම සටනකට එකතු වෙන්නේ සටන් කිරීම එකම ඔප්ෂන් එක වුණාම . මග ඇරලා යන්නම බැරි ඔප්ෂන් එකක් වුණාම .
තවත් අය සටන්වලට අරගලවලට එකතු වෙනවා ඒවා වවාගෙන කාලා තමුන්ගේ මඩිය තරකරගන්න පුළුවන් කියලා තේරුම්ගත්තම. කල දුටු කල වල
ඉහගන්න පුළුවන් කියලා තේරුණාම. තමුන්ට පොරක් වෙන්න පුළුවන් කියලා තේරුම්ගත්තම.
මේ කාණ්ඩ හතර ගැන දකුණට පහසුවෙන් තේරුම් ගන්න වැඩි දුර යන්න ඕනේ නැහැ. 2022 අවුරුද්දේ ලංකාවේ ඇති වුණු සාමකාමී ගෝල්ෆේස් අරගලය දිහාවට හැරෙන්න.

අපි කැමති වුණත් අකමැති ඕනෑම අරගලයක මේ කාණ්ඩ හතර ඉන්නවාම තමයි. තවත් අය ඇති. චිත්‍රපටිය ගැන මගේ කියවීම ලියන්න මේ හතරදෙනා ගැන කියන එක විතරක් ප්‍රමාණවත් .

තමන්ගේ කකුල සනීප කරගන්න හැටි ගැන, තමුන් කැමති ගෑනු ළමයා ගැන, තමුන් කන්න කැමති කෑම ගැන තමුන්ගේ ජීවිතේට තියෙන හීන බලාපොරොත්තු ගැන තමුන්ගේ අම්මා එක්ක තමුන්ගේ යාලු මිත්‍රයෝ එක්ක කතාකරන රුද්‍රන් ප්‍රේක්ෂකයාට ආගන්තුක නැහැ. මොකද ඒ සාමාන්‍ය තරුණයා සහ ඒ තරුණයාගේ අහිංසක ආශාවන්ම තමයි අපිට දකුණේ තරුණයා ළඟදිත් මුණගැහෙන්නේ.

මනල් චිත්‍රපටියේ ඉන්න රුද්‍රන් නියෝජනය කරන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය තරුණයව. ඒ තරුණයට තියෙන්නේ අතිශය සාමාන්‍ය ආශාවන්. . උතුරේ දකුණේ කියලා නැහැ සාමාන්‍ය තරුණයාගේ ආශාව එකයි. ආගම , ජාතිය ,භාෂාව සංස්කෘතිය හැරුණු කොට මිනිස්සු එක වගෙයි. මිනිස් ආශාවන් එක වගෙයි. හැබැයි ප්‍රශ්නේ තමයි දකුණේ තරුණයන්ට තරම් පහසුවෙන් උතුරේ තරුණයන්ට සාමාන්‍ය ජීවිත ගත කරන්න බැරි වීම. ඒ බැරි වීමට හේතු දේශපාලනික වීම.

දකුණේදී හිරෙන් එළියට එන කෙනෙක්ට ගොඩක් වෙලාවට යන්න තැනක් තිබ්බත් ”පුනුරුත්තාපනයට” ලක්වෙලා යන්න ගෙයක් රුද්‍රන්ට නැහැ. යුද්ධේ ඉවර වුණා කියලා රුද්‍රන්ගේ අම්මලට උන් හිටි තැන් ආපහු හිමි වෙන්නේ නැහැ. රුද්‍රන්ගේ ගේ තියෙන්නේ තහනම් කලාපේ. ඒ තහනම් කලාපෙත් ඒ ගෙවල් ඉතුරු වෙලා නැහැ. රුද්‍රන්ලා ඉන්නේ අත ඇරලා දාපු අයිතිකාරයෙක් නැති ගෙදරක. ඒ ගෙදර අයිතිකාරයෝ ආවොත් රුද්‍රන්ලට ආයෙත් යන්න වෙනවා. රුද්‍රන්ගේ ගෙදර හිටපු පිරිමි හතරදෙනාගෙන් දැන් ඉන්නේ රුද්‍රන් විතරයි. ඒත් අබ්බගාත වෙලා. හරියට රුද්‍රන්ගේ ජීවිතය වගේ.
රුද්‍රන්ගේ ආබාධිත බවෙන් සංඛේතවත් කරන්නේ හිටපු එල් ටී ටී ඊ සාමජිකයන්ගේ පශ්චාත් යුධ ජීවිතයේ තත්ත්වය කියලයි මට හිතුණේ . සාමාන්‍ය ජීවිතයකට මොන තරම් කැමති වුණත් ඒ සාමාන්‍ය ජීවිතය ගතකරන්න ඔවුන්ට අතීතය විසින් ඉඩ දෙන්නේ නැහැ. අතීතය ඔවුන්ගේ වර්තමානයට බලපෑම් කරමින් අනාගතයටද තවමත් ප්‍රශ්න ඇතිකරනවා

රුද්‍රන්ට යම් වෛද්‍ය සායනයක් හරහා කිහිලිකරු වෙනුවට පා ආධාරකයක් ලැබෙනවා. ඒ පා ආධාරකයෙන් සංඛේතවත් කරන්නේ සාමාන්‍ය ජීවිතයකට බලාපොරොත්තුවේ ආලෝකයක්. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න උදව් කරන්න හොඳ මිනිස්සුත් මේ ලෝකේ නැත්තේමත් නැහැ. ප්‍රධාන වශයෙන් රුද්‍රන්ගේ අම්මා , රුද්‍රන්ට පා ආධාරකයක් ලබා දෙන රාජ්‍යය නොවන සංවිධානය , රුද්‍රන්ගේ හොඳම යාළුවා , රුද්‍රන්ගේ නීතිඥවරිය , රුද්‍රන්ට සිද්ද වුණු තුවාල ගැන කියලා හරියටම අධිකරණ වාර්තා ලබා දීපු අධිකරණ වෛද්‍ය නිලධාරීන් , රුද්‍රන්ට නිවැරදි විනිශ්චයක් ලබාදීපු උසාවිය, රුද්‍රන්ට කරුණාවන්තව සලකන වෙනත් නිලධාරීන් සහ සමහර අසල්වැසියන් රුද්‍රන්ගේ ජීවිතයට බලාපොරොත්තු ගේනවා.

හැබැයි පා ආධාරකය ලැබුණා කියලා රුද්‍රන්ගේ කිහිලිකරු දෙක රුද්‍රන්ගේ අම්මා විසිකරලා දාන්නේ නැහැ. බලාපොරොත්තු ඇතිවෙනවා වගේම එයාලගේ ජීවිත ඇතුලේ ඒවා නැති වෙලා යන්නත් බොහොම පහසුවෙන් කියලා රුද්‍රන්ගේ අම්මා අත්දැකීම්වලින් දන්නවා.
රුද්‍රන්ට ඕනේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. එයාගේ පෙම්වතිය වානිව විවාහ කරගෙන දරුවෝ හදාගෙන ජීවත් වෙන්න. ඒ දෙන්නගේ ප්‍රේමය ඇතිවෙන්නේ ඉස්කෝලේ යන කාලේදී. රුද්‍රන් කියන විදිහට වානි කියන්නේ දඟකාර, ලස්සනට සිංදු කියන්න පුළුවන් ,සජීවී , ක්‍රියාශීලී කෙල්ලෙක්. කොටි සංවිධානයට බඳවා ගත්තට පස්සේ ඉල්ලකයට වෙඩි තියාගන්න බැරි තමුන් වපර නිසාය කියලා බොරුවට පෙන්නපු කෙල්ලෙක්. ඉලක්කෙට වෙඩි තියන්න බැරි වුණාට හයියෙන් දුවන්න පුළුවන් කෙල්ලෙක්. රුද්‍රන්ගේ ලොකුම බලාපොරොත්තුව වානි . එයා තමුන්ගේ බෙල්ලේ වානිගේ පින්තූරයක් එල්ලගෙන හැම තැනම යන්නේ වානිව හොයාගන්න. දෙවියන් ගැන ලොකු විශ්වාසයක් නැතත් දෙවියන්ව විශ්වාස කරන යාළුවා එක්ක කෝවිල් යන්නේ වානි වෙනුවෙන්.. වානි වෙනුවෙන් සාමන්‍ය ජීවිතයක් ගතකරනවා කියලා පෙන්නන්න බයිසිකල් පදින්න වොලිබෝල් ගහන්න රස්සාවක් හොයාගන්න රුද්‍රන්ට ඕනේ කරනවා. රුද්‍රන් මේ ඔක්කොම කරන්නේ තමුන්ගේ ප්‍රේමය ජයගන්න.

හැබැයි පුනුරුත්තාපන කඳවුරේ ඉඳලා ගෙදර එන වානි රුද්‍රන් විස්තර කරපු ජාතියේ දඟකාර කෙල්ලෙක් නොවේ. හැඟීම් විරහිත කෙල්ලෙක්. වානි හිනාවෙන්නෙත් නැහැ. සින්දු කියන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. අඩු තරමේ අඬන්නේවත් නැහැ. ඒ අතරේදී හමුදා බටයන් පිරිසක් රාත්‍රියේදී මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි කියලා සිංදු කියනවා. යුද්ධය ඉවර වුණු රටක යුද්ධයට සහභාගී වුණු දෙපිරිසටම එක වගේ සිංදු කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක විසාකේස චිත්‍රපටිය හරහා ප්‍රේක්ෂකයාට කියනවා.

රුද්‍රන් වානිගේ අතට වළලු දාලා පරණ ජීවිතය අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න කතාකරනවා. ඒත් වානි ආයෙත් ඒ වළලු රුද්‍රන්ට දෙන්නේ රුද්‍රන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක පෙන්නන සංඛේතයක් වගේ. වානිගේ ගෙදරින් රුද්‍රන්ට කැමති නැහැ. එකක් කුලය. අනිත් එක රුද්‍රන්ගේ අතීතය. වානිගේ දෙමව්පියෝ රුද්‍රන්ලට වඩා යමක්කමක් තියෙන අය. ඒක නිසා කොහොම හරි වානිව එයාලා කැනඩාවට යවනවා. වානිගේ අය්යාව වානිටත් කලින් තමයි කැනඩාවට යවන්නේ. රුද්‍රන් සහ වානි හරහා උතුරේ සමාජය තුළ තියෙන පන්ති පරතරය, කුල භේදය , දෑවැද්ද වගේ දේවලුත් විසාකේස මනල් හරහා සියුම්ව කතා කරනවා.

මේ අතරේ රුද්‍රන්ගේ යාළුවා බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රුද්‍රන්වත් ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න හීන දකිනවා.
බෝට්ටුවේ හරි ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන ඉන්න රුද්‍රන්ගේ මිතුරා සහ ඒ විදිහටම ඕස්ට්‍රේලියාවට යන්න හදන දකුණේ තරුණයා අතර වෙනසක් තියෙනවා. බහුතර දකුණේ තරුණයා වෙන රටකට යන්න හදන්නේ ජීවිතය සුඛිත මුදිත කරගන්න. උතුරේ මේ කියන තරුණයා වෙන රටකට යන්නේ මානසික වදයක් නැතිව සාමාන්‍ය ජීවිතයක් වෙන රටකදී හරි හොයාගන්න. තමුන් දිහා සැකයෙන් නොබලන තැනක ජීවත් වෙන්න. යුද්ධයක් ඉවර වෙලා දශක දෙකකට කිට්ටුවෙත්දීත් එකම රටක ඉන්න එකම පන්තියකට අයිති දෙපිරිසක් අතරේ බලාපොරොත්තුවල එහෙම පරතරයක් තාමත් තියෙනවා කියන්නේ සමහර ප්‍රශ්නවලට ලැබිය යුතු දේශපාලනික විසඳුම් තාම ලැබිලා නැහැ කියන එක.

සිංහල හා දෙමළ රාජ්‍ය භාෂාව වුණු රටක රාජ්‍ය සේවකයන් කීයෙන් කී දෙනාටද සිංහල දෙමළ කියන භාෂාවන් දෙකම හොඳට කතාකරන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරේ රාජාකාරීකරන ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරින් කීයෙන් කීදෙනෙක්ට ඉතාම හොඳට මේ භාෂා දෙකම පුලුවන්ද? උතුරේ බහුතරයකට සිංහල භාෂාව කතාකරන්න බැහැ . දකුණේ බහුතරයකට දෙමළ බැහැ . හැබැයි දෙමළ සහ ඉංග්‍රීසි බැරි වීම තුළ සිංහල ජනතාවට ඇති නොවෙන ප්‍රශ්න සිංහල සහ ඉංග්‍රීසි බැරි වීම නිසා දෙමළ ජනතාවට ඇතිවෙනවා කියන කාරණය පිළිගන්න ඕනෙම කාරණයක්.
වොලිබෝල් ගහන්න ගිහිල්ලා උතුරේ දේශපාලකයාගේ පින්තූරේ බෙල්ල කැඩුන රෑ රුද්‍රන්වයි එයාගේ යාළුවයි පැහැරගන්න හදන්නේ සහ පැහැරගන්නේ උතුරේ සහ දකුණේ පක්ෂ දේශපාලනික සමානකම් ගැන ඉඟි දෙමින්. අහේතුක බියගැන්වීම් කියන්නේ තරුණ ජීවිතයක කොටසක් විය යුතු දෙයක් නොවෙයි.
විශේෂයෙන්ම යුද්ධයට සෘජුවම සම්බන්ධ වුණු දෙමළ තරුණයට සිද්ද වෙලා තියෙන්නේ වරදක් ඇතිව හෝ නැතිව හිරේ ඉඳන් එළියට එන දකුණේ තරුණයට වෙන දේමයි. හුළඟට කොළයක් වැඩිපුර වැනුනත් සැකයට භාජනය වෙන්නේ ඔවුන්.

රුද්‍රන්ලා කෝවිල් ගානේ ගිහිල්ලා දෙවියන්ට භාරහාර වෙනවා. දකුණේ පිරිස් පන්සල්වල පල්ලිවල දේවාලවල භාර හාර වෙලා පිහිට ඉල්ලනවා. දකුණේ අය උතුරට ගියාම ඒ කෝවිල්වලටත් භාරහාර වෙවී පිහිට ඉල්ලනවා. හැබැයි දකුණේ ප්‍රාර්ථනාවන්වල ඉල්ලීම්වලයි , උතුරේ රුද්‍රන්ලගේ කන්නලව් සහ ඉල්ලීම්වලයි ආයෙත් වෙනසක් තියෙනවා. රුද්‍රන්ලගේ ඉල්ලීම් කන්නලව් ගෙයක් ඉඩමක් වාහනයක් ගන්න චන්දයක් දිනන්න වගේ ඒවා නොවෙයි. තමුන්ගේ අතුරුදහන් වෙච්ච ළමයින්ව හොයාගන්න කරන ඉල්ලීම්. තමුන්ට අහිමි වුණු සාමාන්‍ය ජීවිතය ආපහු ඉල්ලන ඉල්ලීම්. රජයෙනුයි දෙවියන්ගෙනුයි අවුරුදු පහළවක් තිස්සේ ඒ ඉල්ලීම් කර කර ඉඳලා මැරිලා යන අම්මලත් උතුරේ ඉන්නවා.

රුද්‍රන්ගේ අම්මා ඉතුරුවෙලා ඉන්න එකම දරුවා ජීවත්කරවන්න අප්‍රතිහත ධෛර්යයෙන් ජීවත් වෙන අම්මා කෙනෙක්. ඒ අම්මා රුද්‍රන්ට ජීවත් වෙන්න උදව්කරනවා. රුද්‍රන්ට ජීවත් වෙන්න හේතු දෙනවා. අතාරින්නෙ නැතිව අල්ලාගෙන ඉන්නවා. වේදනාව කඳුළු එලියට පෙන්නන්නේ නැතිව ජීවිත සාමන්‍ය කරගන්න සාමන්‍ය ජීවිතයක් ගෙනියන්න සටන් කරනවා. හැබැයි එයා අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. තමුන්ගේ දරුවන්ව ආරක්ෂා කරගන්න ලෙඩ ගැන හිතන්නේ නැතිව වැඩකරන්න ඒ අම්මටත් සිද්දකරලා තියෙනවා.

රුද්‍රන්ගේ අම්මාගේ රස්සාව තමයි සාස්තර කියන එක.. ඒක නිසා ඇයට යම් බලයක් ඇති බව ගම්වැසියන් විශ්වාස කරනවා. ඇයට තියෙන්නේ අම්මා කෙනෙක්ට තියෙන බලය. අම්මා කෙනෙක්ට තියෙන ශක්තිය. වානිට රුද්‍රන්ව දාලා යන්න වුණාට පස්සේ රුද්‍රන් තමුන්ගේ පා ආධාරකය ගින්නට විසිකරන්න හදද්දී අම්මා ඒ ආධාරකය ආපහු ඇහිඳගන්නවා. ගමේ තව ගෑනු ඉන්නවා කියලා කියනවා.. කිහිලිකරුව වගේම පා ආධාරකයත් අම්මා තියාගන්නවා. රුද්‍රන් ආයෙත් කිහිලිකරු පාවිච්චි කරද්දී පා ආධාරකය දාගන්න කියලා අම්මා කියන්නේ නැහැ. හැබැයි එයාටම හිතිලා ඒක දාගන්න වෙලාවක් එනවා කියලා අම්මා දන්නවා. රුද්‍රන්ට ජීවිතය අහිමි වෙන්න හදන හැම තැනකදීම එයාව බේරාගන්නේ අම්මා. එයාගේ ජීවිතයට බලාපොරොත්තු ඇතිකරවන්න උදව් කරන්නේ අම්මා. වෙඩි වැදුණු රුද්‍රන්ගේ අතට දේව පිළිමයක් දීලා රුද්‍රන්ගේ ජීවිතේ බේරගන්න හැමදෙයක්ම කරන්නේ ඒ අම්මා.

රුද්‍රන්ලට තියෙන එකම පිළිසරණ වෙන්න ඕනේ එයාලගේ අම්මලයි නොපෙනෙන දෙවියනුයි විතරයිද කියන එක චිත්‍රපටිය අවසානයට හිතෙද්දී ඇති වෙන්නේ පවතින ක්‍රමයන් ගැන සහ පවත්වාගෙන යන ක්‍රමයන් ගැන තවත් කලකිරීමක්.

දේව ඉල්ලීම් කන්නලව් සහ ඒ පසු පස හඹා යන තරුණයන් පිරිසක් චිත්‍රපටිය පුරාවට විවිධ අවස්ථාවලදී ප්‍රේක්ෂකයාට මුණගැහෙනවා. ඒ දිහා මිත්‍යාව කියලා ගර්හාවෙන් යුතුව බලනවට වඩා මානුෂික මුහුණුවරකින් බලන්නයි මං කැමති.. ආගම් ඇදහිලි විශ්වාස පසුපස වැඩිපුර යන ජනතාවක් ඉන්නේ ‘ආර්ථිකව, සමාජීයව , දේශපාලනිකව සහ අධ්‍යාපනිකව නොදියුණු රටවල්වල. තමුන්ට තමුන්ගේ පාලන තන්ත්‍රයෙන් සහ රාජ්‍ය යාන්ත්‍රණය හරහා නොලැබුණු රැකවරණය සුඛ විහරණය ,නොපෙනෙන දෙවියන්ගෙන් හරි ලබාගන්න තමයි මිනිස්සුන්ට අවශ්‍ය.

තමුන් නොගත්තු දේවල් ආපහු දෙන්න තමුන්ට බැහැ කියලා දෙවියො රුද්‍රන්ගේ අම්මට එක තැනක කියනවා. ඇත්ත තමයි .. මිනිස්සු මිනිස්සුන්ට කරන අපරාධවල පව් දෙවියෝ කරගහන්නේ මොකටද?
රටේ යුද්ධය අවසන් වීම රටේ තිබුණු දේශපාලනික ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම අවසන් වීම නොවෙයි. ප්‍රශ්න පොකුරක එක ප්‍රශ්නයක් අවසන් වීම විතරයි. උතුරු නැගෙනහිර යටිතල පහසුකම් දියුණුකරනවා වගේම, ඇසට නොපෙනෙන සංවේදී ප්‍රශ්නවලට මීට වඩා සංවේදී වෙන්න උතුර සහ දකුණ නියෝජනය කරන සියලුම නායකයින් ක්‍රියාකරන්න ඕනේ කියන එක මනල් චිත්‍රපටිය ආයේ ආයෙමත් අපිට මතක් කරනවා.
අම්මාගේ හදිසි අසනීපය නිසා ඇයව ජීවත් කිරීමට ඇති වන අවශ්‍යතාවය රුද්‍රන්ව ආයෙත් පා ආධාරකය දෙසට යොමුකරනවා. රුද්‍රන්ගේ අවධානයට ලක් නොවුණත් ඔහුට කැමති ,වෙනත් තරුණියක්ව අවස්ථා දෙකකදී ප්‍රේක්ෂකයාට දැකගන්නට ලැබෙනවා.

රුද්‍රන් කියන්නේ වින්දිතයෙක්ම විතරක් නොවෙයි. රුද්‍රන්ලා නිසා වින්දිතයන් බවට පත් වුණු පිරිසකුත් ඉන්නවා. වින්දිතයෙක් වෙන රුද්‍රන් චූදිතයෙක් වෙන්නේ එතැනදී. උසාවියේදී තමුන් නිවැරදිකරු කියන රුද්‍රන් කඩයකදී තමුන්ගෙන් පොලිතින් බෑග් එකක් ඉල්ලන ගැහැනියකට බය වෙනවා. ඒ ගැහැනිය රුද්‍රන්ගේ අම්මට කියනවා රුද්‍රන්ලා ඇයට ද්‍රෝහියෙක් ලෙස සලකපු බව . . පොලිතින් බෑග් එහෙකින් අපරාධ කරන්න පුළුවන් කොහොමද කියලා රුද්‍රන් එක තැනකදී රුද්‍රන්ගේ අම්මට කියනවා. ඒ ඉඟිය රුද්‍රන් සිදු කරනු ලැබුවා කියලා සැකකරන්න පුළුවන් අපරාධයන් ගැන මනල් අපිට ඉඟි සපයනවා. විශේෂයෙන්ම රුද්‍රන් පසු පස හඹා යන ගැහැනියගේ ජීවිතයේ අහිමි වීම් පිළිබඳ වගකීම රුද්‍රන්ලා මතට පැටවෙනවා. ඒ සම්බන්ධව තමුන් චූදිතයෙක් බව පිළිගන්නවා කියන ඉඟිය රුද්‍රන් මේ කාන්තාවට බිය වීම සහ ඇයව මගහැරීම හරහා ප්‍රේක්ෂකයාට පෙන්වනවා.

රුද්‍රන්ලගේ පොලිතින් බෑග් නිසා නිසා වින්දිතයන් වුණු අයගේ ජීවිතවල වගකීම ගන්නේ කවුද? සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නම විතරක් ආසා වුණු රුද්‍රන්ලව චූදිතයා බවට පත්කිරීමේ චූදිතයා වෙන්නේ කවුද?ඒ චූදිතයන්ව නිර්මාණය කරපු මහා චූදිතයා කවුද? මහා චූදිතයා තමුන්ගේ වැරදි නිවැරදි කරන්න කටයුතු කළොත් විතරයි චූල චූදිතයන් නිර්මාණය වීමට තිතක් තියන්න පුළුවන් වෙන්නේ.

ලෝකේ කියන්නේ නරක මිනිස්සු විතරක් නොවෙයි හොඳ මිනිස්සුත් ඉන්න තැනක්. ඒ අය ඉන්නේ සාමාන්‍ය ජනතාව අතර. විසාකේස තමුන්ගේ චිත්‍රපටිය ඇතුලේ ඒ මිනිස්සුන්ටත් ඉඩ වෙන්කරපු එක ඉතාම ප්‍රශංසනීය කාරණාවක්. යුද්ධය පිළිබඳව හෝ පශ්චාත් යුධ සමය අලලා බිහිවෙන චිත්‍රපටිවල ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ කළු චරිතයි සුදු චරිතයි විතරයි. එතැනදී දුෂ්ටයෙක්ව සහ වීරයෙක්ව නිර්මාණය කරනවා. විසාකේස මේ චිත්‍රපටිය ඇතුළේ වීරයන්ව නිර්මාණය නොකර ඉන්න තරම් පරිස්සම්වෙලා තියෙනවා. ඔහු ඒ වෙනුවට වින්දිතයන්ව සහ චූදිතයන්ව විවිධාකාර මුහුණුවරවලින් ප්‍රේක්ෂකයාට මුණගස්වනවා.

ඉතිහාසය තියෙන්නේ අමතක කරලා දාන්න නොවෙයි. ඉතිහාසයක් අමතක කරලා දැම්මම ඒක ආයේ ආයෙත් සිද්ද වෙනවා.නිවැරදි ඉතිහාසය සහ වර්තමානය දැනගන්න එකේ වැදගත්කම තමයි ඉතිහාසයේ සිද්ද වුණු වැරදි වර්තමානයේ සිද්ද වෙන්න නොදී ඉන්න පුළුවන් වීම සහ වැරදි නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න හැකිවීම. හැම මිනිහෙක්ම සුරක්ෂිතභාවයකින් යුතුව බයක් නැතිව ජීවත් වෙන්න තමයි කැමති. හැම මිනිහෙක්ම සාමන්‍ය ජීවිතයක් ගතකරන්න කැමතියි. සාමාන්‍ය මනුස්සයට ඕනේ තුවක්කුවක් අරගෙන යුද්ධකරන්න නොවෙයි. පවුල් පන්සල් වෙලා නිදහසේ සතුටින් ජීවත් වෙන්න.
සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව රටේ හැම පුරවැසියෙක්ම රජයේ වගකීමක්. ඉතින් උතුරටයි දකුණටයි වෙනසක් නැතිව සමානව සලකන දවසට උතුරෙයි දකුණෙයි මිනිස්සුන්ට අනිත් මනුස්සයව ඒ ඒ අයගේ භාෂාවෙන් තේරෙන්න ගත්තු දවසට, රටක් විදිහට හැමෝටම තියෙන්න ඕනේ පටු අරමුණු නොවෙයි පොදු අරමුණු කියලා පොඩි කාලේ ඉඳලම කියාදෙන ක්‍රමයක් රටේ ස්ථාපිත වුණු දවසට විතරක් රටේ ඉතිහාසය අලුතින් ලියන්න පුළුවන් වේවි.

කාංචනා ප්‍රියකාන්ත

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...