“එකම ගලින් කුරුල්ලො දෙන්න මරන්න නෙමේ, දෙන්නාගෙම අවධානෙ ගන්න ඇය කුඩා කල සිටම දක්ෂ බව ඇයම දන්නවා. ඇය එය දකින්නෙ කපටිකමක් හැටියට නෙමෙයි. කෙටි මනුෂ්‍ය ජීවිතයක ලැබෙන සීමිත ජීවන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගෙන දිගටත් පළලටත්, ගැඹුරටත් විහිදුණ විශාල ජීවිතයක් ජීවත්වෙන්න එවැනි කුසලතා අවශ්‍යයි.”
‘කැළලිකාරයෝ’- ලියනගේ අමරකීර්ති
දීපිකාගෙ චරිතය මැදි කරගෙන කතුවරයා ගොඩනගන ප්‍රබන්ධය අකුරක්වත් අතාරින්න හිතෙන්නෙ නැති තරම් රසවත්. ඔහු ඒ තරම්ම ශූර කතාකරුවෙක්. පරඬැල් ව ඉහිදැල් ව එල්ලා වැටෙන කිසි ම සිද්ධියක්වත් චරිතයක්වත් නැතුවයි මේ කතාව කියාගෙන යන්නෙ. අතර මැද මුණ ගැහෙන සිද්ධි පවා සමස්ත වියමනත් එක්ක සමෝධානික වන විදිහ නියමයි.
ආදරය පිළිබඳ අත්‍යවශ්‍ය ම, මග නොහැරිය යුතු ම සංවාදයක් මේ නවකතාවේ තියෙනවා. ඒක එක්තරා විදිහක ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු අපේ දූපතට මග හැරුණු කතිකාවකට ඉසියුම් කණිකා විවර කරන සුලු යි. ආදරය, ලිංගිකත්වය සහ විවාහය කියන එකිනෙක බැඳුණු කාරණා වෙත සංස්කෘතික හා දේශපාලනික ප්‍රවේශයකින් කිසියම් සංකථනමය අවකාශයක් ගොඩ නගන්නත් මේ නවකතාවෙන් උත්සාහ අරන් තියෙනවා.
අභිනවයෙන් ද්වීතීක අවස්ථාවට පත් ව සිටින යෞවන යෞවනියන් හා කරන පයුරුපාසානයේ දී මම නිතර ම මතක් කරන පොත් දෙකක් ගැන මේ නවකතාවෙත් සඳහන් වෙනවා.. ඒ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ ‘නිරුවත් වානරයා’ සහ ‘මනුසත් උයන’. ආදරය ගැන තවමත් ඇකඩමියාව තුළ කෙරෙමින් තිබෙන නිම නොවන සම්භාෂණය වෙත අපේ දූපතේ කවුළු තවමත් වැහිලයි තියෙන්නෙ. ඒ හින්ද ම මා වටා සිටින සියලු ම කෙල්ලන්ට කොල්ලන්ට, ‘කැළලිකාරයෝ’ කියවන්න මම බලකරනවා..විශේෂයෙන් ඔය සමාජ මාධ්‍යවල ආදරය ගැන හැම දේම දන්නෙ තමන් කියල හිතා ගෙන හිතලු වමාරන මහත්තුරුත් මේ පොත සීරුවෙන් කියවනවා නම් ඒ දේවල් ගැන විද්‍යාත්මක ව, තේරුම් ගන්න පුළුවන් වෙනවා.
මේ නවකතාවෙන් මතු කෙරෙන ආදරය පිළිබඳ නිම නොවන සංලාපයට කතුවරයාගේ සහෘදශීලී සංවාදමය ආඛ්‍යානයත් විශාල පිටුබලයක්…
ලියනගේ අමරකීර්තිගේ මම කැමති ම නවකතාව බවට ‘කැළලිකාරයො’ පත් වෙන්නෙ ඒ විදිහට.