කේ කවි – ආදරය සහ දේශපාලනය පිළිබඳ ප්‍රබුද්ධ දෘෂ්ටිවාදයක්

Share post:

කේ කවි යනු,එක්තරා දවසක රාත්‍රියේ මා, අනුර අයියාව කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ඉදිරිපිට බස් නැවතුමෙන් බස්සන විට ඔහු පුරුදු පරිදි කියනවා “සල්ලි තිබ්බ කාලෙක මං සංජීවනීට කාර් එකක් අරන් දෙනවා,” එහෙම කියලා බහින අතර ඔහු මා අත තැබූ පොත. මං ඒක අරන් ගිහින් ඒ රැයේම කියවන්න පටන් ගත්තා. ඒත් විසි එක් වෙනි කවියේදී මගේ හිත නැවතුණා. හුස්ම ගන්න බැරි වුණා. තද කම්පනයක් ඇති කළා. ආපහු මේ පොත කියවන්න බැහැ කියලා හිතලා මං පොත පසෙකින් තැබුවා.

ඒත් පස්සේ දවසක මේ පොත ගැන කෙරෙන සංවාදය වෙනුවෙන් අනුර අයියා මට කතා කළා. දැන් මං මුලු පොතම කියවන්න ඕන. ආපහු අර වගේ මගේ මුලු ඇඟම හිරි වැටෙන කවියක් ඇති කියලා හිත බයයි. කවියකට පුළුවන් වෙනවා කියන්නේ අපිව කම්පාවෙන් සළිත කරන්න ඒක අතිශය ප්‍රබල ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශනවලින් මේ කුඩා පොත පිරී ගිහින්. දේශපාලනය ගැන කතා කරන හැම දේම මගේ මතවාද සමඟ සමපාත වෙද්දී ඔව් ඒක මටත් කියන්න ඕන කළ දෙයක්. ආදරය ගැන කියද්දී මටත් ඒක ඒ විදිහට දැනුණු තැන් තියෙද්දී අපි මේ කවි එක්ක අපේ මතකවල සැරිසරනවා. දුක් වෙනවා. නතර වෙනවා. ඒත් මේක ගැන කතා කරන්න මට දෙන්න පුළුවන් පැය බාගයයි කිව්වා. මං කොහොමද පැය බාගෙන් මේ ගැන කතා කරන්නේ.
ආපහු මං කියවන්න ගත්තා. මේ සංවාදයට මට ආරාධනා කළ චමින්ද සොහොයුරා සහ අනුර සහෝදරයාටත් සංවිධායක මණ්ඩලයටත් ස්තුතියි. පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි.

මං පටන් ගන්නම් මේ වගේ මං දන්න පොඩි පොත්වලින්. එකක් තමා තාඕ තේ චින් කියන්නේ. මං කියවලා තියන පිටු 83ක පොඩි පොතක්. ඒත් විශ්වවිද්‍යාලයේ මං ඒ පොත ගැන සෙමෙස්ටරයක් උගන්වනවා. ගුරු ගීතය ඔබ දන්නවා පොඩි පොතක්. ඒත් ඒක ලෝකයට කරපු බලපෑම ඔබ දන්නවා. කේ කවි පොඩි පොතක්. එහෙත් එය දිගු නිහැඬියාවකට පසුව වැටුණු පොළොව සරු කරන වැස්සක්.

මං ගත්තේ මාතෘකා දෙකයි. ඒ ආදරය සහ දේශපාලනය. ජීවිතය ගැන, බලාපොරොත්තු ගැන, මානව ස්වභාවය පිළිබදව, පාළුව, විශ්‍රාමික දිවිය, මත්වීම තුළ ඇති නිදහස්වීම, සාමාන්‍යකරණය කර දේවල් තේරුම් ගැනීමේ ඇති අවුල, ජීවිතයේ ගලා යාම සහ අඛණ්ඩතාවය, ඇතැම් විට ජීවිතය යනු කුමක්ද? වගේ ප්‍රශ්න, සදය උපහාසය තුළින් සමාජයේ ඇතැම් සංසිද්ධීන් දෙස බැලීම, වගේ තවත් හුඟාක් මාතෘකා ඔස්සේ කේ කවි ගැන කතා කරන්න පුළුවන්.
කවියක් කියන්නේම ආත්ම ප්‍රකාශයක්. ඒත් ඒක අපේ ආත්මයටත් දැනෙන විට ඒකට අපි ස්වාත්මීකරණය කියලා කියනවා. ස්වාත්මීකරණය හොඳද නරක ද වගේ දේවල් මෙතන මං අහන්නේ නැහැ. මං ආසයි මේ කවි අස්සේ උන්මන්තක වෙලා මේවා විඳගන්න. ක්‍රිටිකල් වෙනවට වඩා මේවා අස්සේ හිර වෙන්න මං ආසයි. ඒවා ඇතුළෙන් මගේ වෙනවට මං ආසයි. මං කතා කරන්නේ ලොකු බරසාර සාහිත්‍ය රසාස්වාදයක් නෙමෙයි. මට දැනුණු දේ සහ මට හැඟුණු දේ.
මං පටන් ගන්නම් මගේ හිත හිරි වට්ටලා ඇඟ පණ නැති කරපු කවියෙන්ම. ඒක ඇතුලේ තියෙන්නේ ලංකාවේ අපේ ඛේදවාචකය. ඒක දේශපාලනිකයි. ඒත් ඒ ඇතුලේ තියෙන්නේ ආදරය. ආදරය වැනි පෞද්ගලික කාරණාවක් පවා දේශපාලනික බව මේ පොත අපිට වරින් වර කියා දෙනවා.
පොත කොටස් දෙකකින් යුක්තයි. පළමු කොටස තුළ කවි 41ක් තියනවා. දෙවන කොටස ආකෘතික අත්හදා බැලීම්වලින් යුක්ත කවි 10කින් යුක්තයි. එක්කොම කවි 51යි. මොනවද මේ කවි පනස් එක තුළ තියෙන්නේ.

අනුර කේ එදිරිසූරිය මහතා පුවත්පත් කලාවේදියෙකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ග්‍රන්ථ ගණනාවක් රචනා කළ මහා පුරුෂයෙකු ගනයේ සැලකිය හැකි ලේඛකයෙක්. ඒත් ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය 1998 නගරයට ආ මුවැත්තිය ලෙසත් 2003 “නිශ්ශබ්ද” ලෙසත් එළි දක්වා වසර විස්සක් ගෙවී ගිහින්. නිශ්ශබ්ද ඔහු නිහඬ කරලා තියෙනවා වසර විස්සක්ම. ඒත් ඒ කාලය අපතේ ගිහින් නැති බව මේ කෘතිය අපිට කියා දෙනවා මන්ද යත් වසර විස්සකින් ඔහු අරන් එන්නේ සරුසාර අස්වැන්නක්.

මං පටන් ගන්නම් විසි එක්වෙනි කවියෙන්. ඒක මගේ හද නතර කළ කවිය.

“ඇසිණ
දොර අසල
පා හඬක්

වසාපල්ලා වහා දොර
විය හැකියි ඔත්තුකාරයෙක්

ඇසිණ
දොර අසල
අත් හඬක්

තට්ටුවක්

දමාපල්ලා දොර අගුල්
වන්නට පුළුවනි සොල්දාදුවෙක්
අතින් ගත් T 56ක්

තර කරමු අගුල්
විය හැකියි ගරිල්ලෙක්
අතින් ගත් AK 47ක්

පාත් විය
බරැති නිහැඬියාවක්..

බැලී මිනිසෙක්
ඈත් කර සෙමෙන්
ජනෙල් තිරයක්

සිටී දොර අසල
මඩ වැකුණු කෙසින්
අළු තැවරී මුහුණින්
වැටී උඩුබැල්ලෙන්
උණු ලේ ගලන සිරුරෙන්
මේ දැන් හුස්ම ගිය ළමයෙක්

මේ කවියේ ප්‍රබලම තැන අන්තිම වචනය. මේ දැන් හුස්ම ගිය ළමයෙක්. තරුණයෙක් කිව්වා නම් මේ කවියෙන් මේ කම්පනය එන්නේ නෑ. තරුණයෝ මරපු තරම් අපි දන්නවා. අපිට ඒවා සාමාන්‍යකරණය වෙලා. ඒවා එහෙම තමයි වගේ. ළමයෙක් කියපු නිසායි ඒ පීඩනය එන්නේ. මේ රහසිගත දේශපාලන කණ්ඩායමක් සැඟවී සිටි ගෙදරක ඇතුළත. එදා තිබ්බ තත්ත්වය. අතිශය දරුණු මර්දනය. බය. පීඩනය. ඒත් දරුවෝ මිය ගියා. වැරදි නොකළ දරුවෝ මිය ගියා. වරද ආණ්ඩුවේ විතරක් නෙමෙයි. විකල්ප සියලු කණ්ඩායම් පවා ඒකට වග කියන්න ඕන කියලා කවියා කියනවා. අපි දන්නැතිව දරුවෝ මැරුවා. සූරියකන්දේ මැරුවා හයක් හතරක් නොදන්න ළමයි. පන්තියක්ම. එල්ටීටියෙන් මැරුවා ළමා සොල්දාදුවෝ කරලා. රණවිරුවෝ මැරුවා. බංකර් යට වැළලුවා. එයාලා නිදහස් වුණා. මොකද රණවිරුවෝනේ. යුද්ධය නම් වූ පැකේජ් එක ඇතුලේ තිබ්බ දේවල් ඔහු මේ කියන්නේ. මේවා අතිශය කාලකණ්ණි දේවල්. ඇතැම් විට මෙහි සැඟවී ඉන්න අය මරන්න එල්ල කරපු ඉලක්කයක් වෙන්න පුළුවන්. එවිට දොරවත් නොහැර ගෙයි සිටි කණ්ඩායමට දැනෙන පශ්චාත්තාපය ජීවිතය පුරා ඔවුන්ට ඉතිරිවෙනවා. වරදකාරී හැඟීම මකන්න බැහැ.

මට පොඩි කතාවක් මතක් වෙනවා. සාමය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පාඨමාලාව උගන්වලා අවසන් දවසේ කුමක් හෝ උදාහරණෙකට මං ගත්තා ප්‍රභාකරන්ගේ වයස අටක් වූ දරුවා මරා දැමීම. එක්වරම ශිෂ්‍යාවක් කිව්වා“ මරන්නැතිව මක් කරන්නද මිස් නයාගේ පැටව් නයි පැටව් කියලා” මට එදා රෑ නින්ද ගියේ නැහැ. මං තේරුම් ගත්තා මං කිසි දෙයක් ඒ ළමයින්ට උගන්වලා නැහැ කියලා. අපේ සමාජයේ අපි ලර්න් කරන දේට වඩා අන්ලර්න් කරන දේයි වැදගත් වන්නේ. ඔබට මේ පොත කියා දෙනවා කුමක්ද අන්ලර්න් කළ යුත්තේ කියලා.

එහෙම සමාජයකට අනුර සහෝදරයා මේ කියන්නේ මේ දැන් හුස්ම ගිය ළමයෙක් ගැන. එහි ඇති කම්පනය සුළුපටු නැහැ.

දෙවනියට මං ගන්නේ වතු ක්ෂේත්‍රය ගැන කියන කවියක්.

“එකමුතුව මෙන් පෙනෙන
වෙන් වෙන්ව දණ නැමුව
තේ පඳුරු
හිස නගන්නෙත් නැතිව
බෙලි කැපෙන

ගෙඩි ගෝවා මෙන්
අත් පොරවගෙන
හිතේ ගින්දර
බඩේ ගින්දර
නාසයේ දුම්
වැඩට යන අය

නැගෙන හිරුටත්
බසින හිරුටත්
බර අඳුරු සෙවණැල්ලෙ
යටවෙන
හරක් පැටවුන්
කුකුළු පැටවුන්
මිනිස් පැටවුන්
ලැයිං කාමර

රොටි දෙකකට
වඩා බර නැති
ඉරුණු මල්ලක් කරේ
කොල්ලෙක්
නගින කොළඹට
කබල් බසයට
කුලී වැඩකට”

“එකමුතුව මෙන් පෙනෙන
වෙන් වෙන්ව දණ නැමුව
තේ පඳුරු
හිස නගන්නෙත් නැතිව
බෙලි කැපෙන”

මේ කියන්නේ තේ ගස් ගැන වගේ. ඒත් ඒක ප්‍රබල සංකේතාර්ථයක්. දණ ගහගෙන ඉන්න තේ ගස් වගේ මේ බයාදු මිනිස්සු. එයාලාගේ ආත්ම ගෞරවය ආත්ම සම්මානනය නැහැ. ඔවුන් දෙවෙනි ජාතියක් නෙමෙයි තුන්වන හතරවන ජාතියක් කරලා. සමකාලීන වහල් ජනතාවක්. මේ ඔවුන්ගේ ඛේදවාචකය. එකට ඉන්නවා වගේ පෙනුනට වෙන් වෙන්ව. උන් උන් තනිව දුක් විඳිනවා. ලැයිං කාමරයක බල්ලෝ පූසෝ හරක් එළුවෝ කුකුළෝ එක්ක ඉන්න දුක්ඛිත ජීවිතය. රොටියක් කාලා දවසම ගත කරන බඩගින්න හුරු පුරුදු ජීවිතය. ඉන්පසුව ඔහු කියන්නේ ඔවුන්ගේ ඊළඟ පරපුරේ ඛේදවාචකය. මේ වත්තෙන් මිදිලා ඔවුන් යනවා. ඒත් එයාලාගේ ඉරණමත් ඒ තරම් සුබ නැහැ. ඉරුණු මල්ලක් කරේ දාගෙන කොළඹ යන කබල් බස් එකක කුලී වැඩකට යන තරුණ පරපුර. තව කොටසක් කවියාට මඟහැරිලා ඇත්තටම. ඒ වැඩකාරකමට ඇවිත් අත් පා පුළුස්සාගෙන මියයන දියණිවරු. මේක තමයි අපිත් එක්ක ඉන්න තවත් ජන කොටසක ඛේදවාචකය.

ජාතිවාදය නමැති විස බෝම්බය විසින් අවුලුවන ලද නූතන පරපුර ගැන ඔහු මෙහෙම කියනවා. එකට හැදී වැඩුණු දරුවෝ පවා පසුව ජාතිවාදය ඉගෙන ගන්නවා. ඒක සමාජීය ඉගෙනීමක්. සංස්කෘතික බලහත්කාරයක්.

මේ කවියේ ඉන්නේ සිංහල අම්මෙකුට දෙමළ තාත්තෙකුට උපන් දරුවෝ. එකට කෙළි සෙල්ලම් කරපු ළමයි. ඒත් කාලයත් එක්ක එයාලාට ජාතිවාදය එන්නත් කරලා.

“බොකුටු කෙස් ඇති
මහලු තල් ගස
බේරෙ වැව ළඟ
කල්පනාවක”

අපිට මැවෙනවා බොකුටු කෙස් ඇති දෙමළ මිනිසෙක්. මහලු තල් ගස නිරූපණය කරන්නේ මේ උතුරෙන් ආපු මිනිසා.

“සමසමාජේ පක්ෂෙ වැඩකට
කොළඹ ආවේ බොහොම ඉස්සර
දෙහිවලින් හිරයකුත් කරගෙන
බින්න බැස්සා ගෑනි සිංහල

ඉහ වටේ මල් පිපෙන ගාණට
දරු පැටව් ලැබුණා
අක්කෙ මල්ලියේ කියාගෙන උන්
අසල්වැසි දරු පැටව් එක්කලා
පන්දු වැලි සෙල්ලම් කළා

උන්ගේ වයසෙම
කොල්ලො අවිදිති
සිංහලේ කියමින්

උන්ගෙ වයසෙම
කෙල්ලො ඇවිදිති
මිනිස් බෝම්බලු උන්”

එකට කෙලි සෙල්ලම් කළ ළමයි බෙදා වෙන්කළ ජාතිවාදය අපි කඩන්නේ කොතනින්ද කියලා කවියා ප්‍රශ්න කරනවා.
ජාතිවාදය විසින් අවුලුවා ලූ යුද්ධය ගැන කවියා මෙහෙම කියනවා

“දුටුගැමුණු ප්‍රතිමාව
හන්දියේ නැංවුවේ ජයකොඩි
ප්‍රතිමාව නංවන්න
හන්දියේ දෙමළ කඩ
ෆ්ලැට් කළේ ජයකොඩි

දෙමළ කඩ ෆ්ලැට් කළේ
හන්දියේ ජය කොඩිය
නැංවූවේ ජයකොඩි

ප්‍රතිමාව නංවාපු හන්දියේ
දුටුගැමුණු ජය කොඩිය ජයකොඩි

හොර පාරේ ඊළමට තෙල් ඇද්ද
දුටුගැමුණු බවුසරය
හිමිකරුගේ නම තිබුණේ ජයකොඩි
නමක් නැති හන්දියට
දුටුගැමුණු නම තිබ්බේ ජයකොඩි

හොර පාරේ තෙල් බලෙන්
දුටුගැමුණු හන්දියේ
ජය කොඩිය නැංවුවේ

දෙමළ කඩ ෆ්ලැට් කෙරුව
හොර පාරේ තෙල් ඇද්ද
දුටුගැමුණු නග්ගාපු ජයකොඩි”

හොර පාරේ තෙල් ඇදලා උන් ජය කොඩි දැම්මා. තෙල් විතරක් නෙමෙයි ආයුධ දීලාත් උන් ජය කොඩි දැම්මා. යුද්ධය බිස්නස් එකක්. ඒකෙන් ජය කොඩි දාලා රටක් මංකොල්ල කාලා රටක් හිඟමනට ඇදලා දාලා ඒත් උන් ජය කොඩි දාගෙන ඉන්නවා. දුටුගැමුණු ප්‍රතිමා හදලා හන්දිවලට පාරවල්වලට නම් දාලා ජාතිවාදය බිස්නස් එකක් කරන් උන් කළේ මොනවාද? ජය කොඩි දාපු එක.

මගේ දෙවනි මාතෘකාවට මං ගියොත් ඒක තමයි කේ කවි ඇතුලේ කියවෙන ආදරය කුමක්ද?

ආදරය ගැන අපි කතා කළොත් මේ කෘතිය තුළ ආදරයේ විවිධ ප්‍රකාරයන් අපිට හමුවෙනවා. කවි පොතේ කවරේම තියනවා “ආදර වස්තුවක් කියන්නේම පිස්සුවක්” ඒ උමතු ආදරය ඔහු අප වෙත අරන් එනවා. ආදරය කියන්නේම උමතුවක්. එවැනි උමතු ආදරයක් නැති තැනක කුමන ජීවිතයක් ද? ඒක එහෙම තමයි කියලා හිතන, දේවල් සාමන්‍යකරණය වුණු, ඔහේ ඇවිදින ගාටන රස්සාවට යන මිනිස්සු. ඇති පලේ මොකද්ද? ජීවිතේ අපූර්ත්වය රැදෙන්නේ ආදරය තුළ. උමතුව තුළ. කවියා මේ උමතුව වරින් වර අරන් එනවා.
ඔහු කියනවා

“එක වරයි
වැලඳ ගත්තේ වුණත්
ඔය පපුවේ ඌෂ්ණය
ලේ වගේ රත්වෙලා
ඇඟ පුරා දුවනවා
රංජනී”

ඇයි ඔහු රංජනී කියන්නේ? මේ ප්‍රේමයේ රංජනය ඔහුට කියන්න ඕන නමින් පවා. පපුව හුස්ම හිර කරන ආදරේ ගැන ඔහු කියනවා මෙහෙම.

“මහමෙරක් තරම් බර ආදරේ
පපු හුස්ම
ආයෙමත් හිර කළා
රංජනී”

මෙවැනි ප්‍රේමයකින් උන්මාද වූ මිනිසෙක්, මුළු ලොවට ආදරය කරන්නට තරම් ඒ ප්‍රේමය ජීවිතය තුළ පරාවර්තනය වන්න ගන්නවා. ඒක ආනන්දයේ උපරිමය.

“ලෝකයම එක පැහැර
වැලඳගෙන
ආදරය කරන්නට
හිතෙනවා
මේක මහ පිස්සුවක්
රංජනී”

මේ උන්මාදය මිනිසෙකුට ගැහැනියකට වැලඳිය යුතුයි. ඒක අත්විඳිය යුතුයි. ජීවිතයේ කවදාවත් ආදරය නොකළ ආදරය නොලැබූ මිනිසුන් කොපමණද? ලෝකයට අවශ්‍ය කරන්නේ ආදරයයි. මේ රෝමාන්තික ප්‍රේමය එහි එක කොටසක්.
ඔහුගේ උන්මන්තක ආදරය මම තවත් එක කවියකින් කියන්නම්.

“ඔයා දන්නේම නැති බව ඇත්ත
මකා දමන බව සියලු වත්මන් මතක

මුල්වරට හෝඩිය කියා දුන්
ටීචර් කෙනෙක්
මකනවා වගේ
කළුලෑල්ලම එකවර

හිතක අඳුරින්ම බර මුල්ලක
කාගේ වුවත්
තියනවා ආදරයේ වස්තුවක්

කනට ඇහෙන් නැති ගාණට
කතා කරන
ලැජ්ජා හිතුණම
අතින් තොල් තද කර ගන්න
බයට කෝපයට දෙකටම බිම
බලා ගන්න

මේ මොන පිස්සුවක් ද
කියන්නත් පුළුවනි සමහර විට
ආදර වස්තුවක් කියන්නෙම
ඒකායන පිස්සුවක්

රසක්
මධුවිතක්
වස විසක්
ඇට නහර මස් අතර පැතිරෙන”

අනුර සහෝදරයා කියන මේ ආදරය ඇට මස් ලේ නහර දිගේ රත් වූ ලේ ගලන ඇඟ උණුසුම් කරන මේ ආදරය මිනිසෙකු ජීවයෙන් පුරවනවා. එයයි ජීවනාලිය. එයයි රසය.

ආදරයේ අනෙත් පැත්ත විරහව. ආදරය ඇති හැම තැනම විරහව පවතිනවා. විරහව ගැන කවියා කවි කිහිපයක කියනවා.

“හාදුවක් අමතකව ගොස් තිබිලා
හමුවුණා
මල් වියන් අතරේ
මල් පාවඩ අතරේ
පේරාදෙණිය උයනේ

ඈත දවසක ඇහැල ගහ යටදී
ඔබේ මුව තැබූ හාදුවද ඒ
බිම වැටී මඩ තැවරිලා

දණ නමා අහුල ගන්නට බෑ
පයට පාගා දමා යන්නත් බෑ
දෙනෙත තෙමුණා එදා වාගේ
අහස වැසිලා අන්ධකාරේ”

අතීතය ඔහුට සිහිවෙනවා. එදා ඇහැළ ගහ යට දී දුන්න හාදුව බිම වැටිලා කියන්නෙම ඇයට ඒක ඕන නෑ මඟ දාලා ගිහින්. දැන් ඒක අහුල ගන්න බැරි තරම් මඩ තැවරිලා. ඒත් කඳුළු ඇවිත් කවියාට අහස බොඳ වෙලා යනවා ඒ ආදරණීය අතීතය සිහිවෙලා. අතීතයේ මතක මිය යන්නේ නැහැ සමහර විට. විදුලි අකුණු වගේ සමහර තැන්වල ඒ මතක අපිව රිදවනවා. ඒ එතැන ඒක වුණේ. අපි ගල්වෙන මතක අපි හැමෝම ගාව තියනවා. ඒවා වෙනස් කර ගන්න අපිට බැරි වුණානේ කියලා හිතෙනවා. මේ හාද්දත් එවැනි එකක්.

මෙවැනි කවි මහ ගොඩක් මේ පුංචි පොත ඇතුලේ තියනවා. තවත් ලියන්න තවත් අපිට කතා කරලා අපේ හදවත්වල ඇති සියුම්ම තැන්වලට අමතන්න අනුර සහෝදරයාට තව තව දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් නවතින්නම්.

සංජීවනී රූපසිංහ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...