ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ට බොහෝ විට හරියට කරන්න බැරි දේ කුමුදු වගේ අයට තාමත් කරන්න පුළුවන් වීම ගැන සතුටුයි

Share post:

කුමුදු කුමාරසිංග ගේ ‘කොළඹ මතක’ (2023, විදර්ශන) කෘතිය පහුගිය දවස් දෙක තුනේදී කියෙව්වා. මම ලඟදී කියෙව්ව නිර්මාණ සාහිත්‍ය ගණයට නොවැටෙන (non-fiction) වඩාත් උනන්දුසහගත පොතක් මේක. මට හිතුනා සමාන්‍යයෙන් අපි ලියන විදියේ ශාස්ත්‍රාලයීය විවරණයක් නොලියා, කෙටි අදහස් දැක්වීමක් විතරක් ලියන්න.

පොතේ මුලදීම කුමුදු කියා තියෙනවා මෙහෙම කතාවක්: “මම පොරක් නොවන නිසා ඔබට මගේ ජීවිතය කියවන එකේ වැදගත්කමක් නැති බව මම දන්නවා. නමුත් මම හිතුවා මීට අවුරුදු හතළිහකට කලින් කොළඹ මැද්දේ ජීවත් වුණු මගේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත විවිධ විපර්යාසවලට භාජනය වෙමින්, ඉදිරියට ගිය හැටි ඔබට වැදගත් වෙයි කියලා …” (2023: iii). මේ අදහසේ පළමු කොටස මම හිතන්නේ වැරදියි, නමුත් දෙවන කොටස හරි කියලා.
මතකය සහ නාගරික අවකාශය ගැන දීර්ඝකාලීන උන්දුවක් තියෙන කෙනෙක් විදියට, මට මේ පොත වැදගත් වුනෙත්, කියවන්න රුචිකත්වයක් ඇති කළෙත් කුමුදු ඇය කියන අර්ථයෙන් ‘පොරක්’ නොවන නිසාමයි. බොහෝ වෙලාවට පොරවල් ස්වයං-චරිතාපදාන ලියන කොට, නැත්නම් ඒවා කාට හරි කියලා ලියවාගන්න කොට ඒවාට ගේන තොරතුරුමය සංස්කරණ වැඩියි. ඒගොල්ලන්ට හංගන්න දේවල් වැඩියි. ලංකාව සම්බන්ධ මේ වගේ කෘති හැටියට ගන්න පුළුවන් හමුදා නිලධාරීන්ගේ මතක සටහන් හෝ දේශපාලකයින් ගේ චරිතාපදාන. මේවා කියෙව්වම පේන්නේ මේ අය කිසිම වැරද්දක් කවදාවත් නොකළ බෝසත් ළමා ළපටීන් බවයි. මේවා බොහෝ දුරට ෆ්ලැට් ලියවිලි.

කුමුදුත් නොයෙක් දේ සටහන් නොකිරීමේ ඇය සතු අයිතිය සහ හැකියාව ඇයගේ පොතෙත් යොදාගෙන තියෙන්න පුළුවන් වුනත්, ඇය බොහෝ දෙනා නොකියන දේ පැහැදිලිව කියා ඇති බවත් පැහැදිලියි. ඒ නිසාම, චරිතාපදානයක් නැතිනම් මතක සටහනක් හැටියට මේ කෘතිය වඩාත් අවංක හා විවෘත ලියවිල්ලක් කියලා මම හිතනවා. ඉතින් පොරක් නොවීම සහ ඒ ප්‍රව්ශයෙන් ලිවීම ම මම හිතන්නේ ගැටළුවකට වඩා, මේ පොතේ වඩාත් වැදගත් සාධකය කියලයි. කුමුදු ගේ ජීවිතය ගැන කියවන්න මට උනන්දුවක් ආවේ මේ නිසයි.

අනෙක, ඒවගේ පොරක් නොවන කෙනෙක් හරහා ඇය කතාකරන සමාජ දේශපාලන හා සංස්කෘතික විපර්යාස දැකීම වඩාත් වැදගත්. මේක මට පේන්නේ කොළඹ ගැන නිර්-ප්‍රභූ ඉතිහාසකරණයකට ඉඟි කරන පොතක් කියලයි. කුමුදු කතාකරන, ඇය ජීවත්ව හිටිය ප්‍රදේශය ගැන මාත් සෑහෙන්න දැනගෙන හිටියේ ඇය තැනින් තැන සඳහන් කරන පිරිමි ඉස්කෝල දෙකක මාත් බොහෝ කාලයක් ඉගෙන ගත්ත නිසාත්, ඒ කියන සමහර තැන්වල මාත් මගේ මිතුරන් එක්ක සෑහෙන වරක් කරක් ගහල තිබුණ නිසාත් සමහර දවස්වල රෑ පහන් කරලා තිබුන නිසාත්.

නමුත් මේවා පිළිබඳ ඇයගේ මතකය මගේ මතකයට වඩා හුගක් අවදියෙන් සිටින බව පැහැදිලියි. ඒකට ප්‍රධානම හේතුව ඇයගේ පිටු අතරින්ම පැහැදිලි වෙනවා. ඇය දැක්ක සහ ඇය අත්දුටු දේ ඇයගේ ජීවිතයට වඩාත් කේන්ද්‍රීයව බලපාල තියෙන බව පැහැදිලියි.

ඇයගේ විස්තර කථන කියවන කොට මට මතක් වුනේ, එරික් කැන්ඩෙල් 2006 දී පලකළ, ‘In Search of Memory: The Emergence of a New Science of Mind’ කියන පොත. ඒකේ තැනක කැන්ඩෙල් කියා තිබුනා මෙහෙම කතාවක්: “අතීතය මතකයට ගෙන ඒම යනු සරලව අතීතයේ සිදුවීමක් සවිඥානකත්වයට නගා ගැනීම පමණක් නොවේ. එයට, එය සිදු වූ වාතාවරණය නැවත අත්විඳීමත් අයත් වේ. එනම්, එහි දී දුටු දේ, ඇහුන ශබ්ද සහ දැනුන ගඳ සුවද මෙන්ම සමාජ ජීවිතය පිළිබඳ තොරතුරු, එය සිදු වූයේ දවසේ මොන වේලාවේද, සිදු වූ කතාබහ සහ ඒ අවස්ථාවේ තිබූ චිත්තවේගීය ගුණය” මතකයට නගා ගැනීමත් සිදු වේ (කැන්ඩෙල් 2006: 3).

පොතේ පරිච්ඡේද හත පුරා කුමුදු ඉදරිපත් කර ඇති විස්තර මගින් බොහෝ වෙලාවට මගේ හිතේ මැව්වේ කැන්ඩෙල් කියාපාන මේ සරල, නමුත් වැදගත් අදහසයි. පහත කෙටියෙන් උපුටා දක්වල තියෙන උදාහරණවලින් මේ තත්ත්වය උද්දීපනය වෙන බව පැහැදිලියි: “වැස්ස කාලෙට මේ වෙල පිරෙනවා. එතකොට අපිට රජ මගුල්. අයියල අක්කල කෙසෙල් කොටන්වලින් පාරු හදනවා. පුංචි අපිත් ඒවාට නග්ගගෙන රවුමේ යනවා. අතරමගදී කෙහෙල් කොට පාරු පෙරළෙනවා. අපි වතුරේ නෑවිලා (2023: 7). තවත් තැනක ඇය කියන විදියට, “ඒ අපේ මහා ගෙදර පඩිපෙළ. ඒ පඩිපෙළ දිගට වැඩිවෙලා ඉන්න අපි … ඒ මොහොතේ එහා මෙහා ගිය කලාමැදිරි එළි. පඩිපෙළ උඩ සීරුවට තියලා තියෙන රේඩියෝව. ඒ ඝන කළුවර” (2023: 56).

යමක් “සිදු වූ වාතාවරණය නැවත අත්විඳීම” සහ එහිදී “දුටු දේ, ඇහුන ශබ්ද සහ දැනුන ගඳ සුවද මෙන්ම සමාජ ජීවිතය පිළිබඳ තොරතුරු, එය සිදු වූයේ දවසේ මොන වේලාවේද, සිදු වූ කතාබහ සහ ඒ අවස්ථාවේ තිබූ චිත්තවේගීය ගුණය” කියලා කැන්ඩෙල් විස්තර කළේ කුමුදු මේ විදියට ඉදරිපත් කරන දේටයි. වරෙක ඇයම කියා ඇත්තේ, “මගේ මනසේ ගොඩක් සිද්ධි තැන්පත්වෙලා තියෙන්නේ රූප හැටියට” කියලයි (2023: 43). ඇය මේ කරලා තියෙන්නේ ඒ රූප වචනවලට පෙරලීමයි.

මේ පොතෙන් කියවෙන ඇතැම් කරුණු ලංකාවේ මධ්‍යම පන්තියට ආවේනික පාරිශුද්ධකරණයට භාජනය වෙලා නැහැ. ඇය ඉදිරිපත්කරන තොරතුරු අතර, ගෘහත්ව ප්‍රචඩත්වය, පවුල්වල සහ කුඩා පරිස්ථානීය තැන්වල මුල්බැහැගත්ත — සහ විස්තර කිරීමට පහසු — ඊරිසියාව සහ දුපත්කම, සිහින, සිහින බිඳ වැටීම සහ ඇතැම් අවස්ථාවල ඒවා සාක්ෂාත් කරගැනීම, දේශපාලනය, සංස්කෘතික සභාගීත්වය වගේ හැම කාරණයක් ම වගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ, ඇයගේ දෘෂ්ටිකෝණයෙන්.

මේක කුමුදු ගේ කතාව ඇයගේ මතකය ඔස්සේ ඉදිරිපත් කිරීමක් වුනත් ඇය අවධානය යොමු කරන කාල පරාසය නියෝජනය කළ පුළුල් සමාජ ස්ථරයේ ඉතිහාසයක් ද වෙනවා. ඒ කියන්නේ, මෙය පුද්ගලික මතක වැලක් වගේම වඩාත් පුළුල් සාමූහික ඉතිහාසයක් ද බවයි.
මම හිතන්නේ මේක කුමුදු ගේ පළමු පොත කියලයි. වෙන පොතක් මම කියවලා නැහැ. ඒ නිසාම මේකෙ පහසුවෙන් මගහැරගන්න පුළුවන් තාක්ෂණික ප්‍රශ්න කීපයකුත් තියෙනවා. එකක් තමයි, ඇතැම් කේන්ද්‍රීය විස්තර සහ සිද්ධි පැහැදිලි හේතුවක් නැතිව නැවත නැවතත් රිපීට් වීම. තවත් එකක් තමයි, ඇතැම් ඉදිරිපත්කිරීම් පැහැදිලි කාල-නිර්ණයකක් අනුව නොයමින් එහෙ මෙහෙ දිවීම (zig zag). එලෙසම, යම් තැන්වල කුමුදු විස්තර කරන ඇතැම් දේ යම් මූලික පර්යේෂණ සන්දර්භයක යම් දුරකට හෝ ස්ථානගත කළා නම් මේ පොත වඩාත් උනන්දු සහගත කිරීමට තිබූ අවකාශ මග හැරී තිබීම. උදහාරණයක් වශයෙන් කුමුදු කීප වරක් ම කියනාකාරයට ඇය ජීවත් වූ, නැතිනම් ඇයගේ ප්‍රදෙශයේ ඇතැම් නිවාස එකම ආකෘතියකට අයත් වීම නිසාම ඒවා හැදුවේ ඇයි, කව්රු විසින්, කා සඳහාද කියන ප්‍රශ්නය. මේක යම් ලෙසකින් හෝ උත්තර දෙන්න වටිනා ප්‍රශ්නයක්. එසේ කළා නම්, කුමුදු ගොඩනගන්න උත්සාහ කරන පුද්ගලික සහ සාමූහික සමාජ ඉතිහාසය වඩාත් ගැඹුරු තැනකට ගෙනයන්න තිබ්බා.

මම හිතන්නේ මේ සියල්ලම වඩාත් දෘඩ සංස්කරණ ක්‍රියාවලියක් අනුගමනය කළා නම් විසඳා ගත හැකිව තිබුණ සරල තාක්ෂණික ප්‍රශ්න.
මේ වගේ තාක්ෂණික දේ ඇරුනම මම මේ පොත හුගක් උනන්දුවෙන් කියෙව්වා. බොහෝ බිම් මට්ටමේ තොරතුරු ඉගෙනගත්තා. මිලින වෙලා තිබ්බ මගේ මතකයේ ඇතැම් කොටස් යාවත්කාලීන කරන්න සමත් වුනා. ස්වයං-චරිතාපදාන ලිවීම ගැන මගේ හිතේ තිබුන සමහර ගැටළු ගැන නැවත හිතන්න උදව් වුනා. ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ට බොහෝ විට හරියට කරන්න බැරි දේ (උනන්දු සහගත දේ සිංහලෙන් ලිවීම වගේ දේ) එසේ නොවන කුමුදු වගේ අයට තාමත් කරන්න පුළුවන් වීම ගැන සතුටු වුනා.

සසංක පෙරේරා (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...